Logo
2019 දෙසැම්බර් මස 7 වැනි සෙනසුරාදා

තනි වූ ගුරු තරුව - එස් විතාරණ,මිද්දෙනිය



සිප් කිරි පොවා ජීවිත මග එලිය කල

දහසක් දූ පුතුන් ඇත ලොකු අසුන් වල

ගත වෙර සිඳී පසුවන ලෙඩ ඇඳක් තුළ

සිත දිව ගියා මගෙ ඒ ගුරු දිවිය තුළ

 

මගෙ දූ පුතුන් ලෙස මම සිප් කිරි පෙව්වේ

උස් මිටි භේදයක් නැත කිසි දින සෙව්වේ

ඇතමෙක් ගියා ජය ලැබ ජීවන පව්වේ

තවකෙක් කෙසේවත් නැත සිප් කිරි බිව්වේ

 

පාමොක් දිසාලා වෙදැදුරු තුමාලා

ගොවි රජ තුමාලා සිටුවර තුමාලා

මගෙ සිප්හලෙන් ගිය මගෙ දූ පුතාල

වේගෙන් ඇදී යයි කහවණු සොයාලා

 

මගෙ සිසු දරුවනේ නන් විකුමන් පාන

මම ගුරුතුමා අද ඔබෙ මතකයෙ නොවුණ

සිටියත් ලෙඩ ඇදේ මරණය පේන

හද තුළ ඔබ සිටියි ලෙස මතකෙන් නොයන

 

සිත දිව යද්දි ජීවිතයේ දුර ඈත

හුරු කටහඩක් ඇසුනයි ඇඳ ලඟ මෑත

නෙත් දෙක විවර කර බැලුවෙමි ළඟ පාත

සුපුරුදු රුවක් වෙයි ලෙඩ ඇඳ ළඟ මෑත

 

මගෙ සිප් හලේ සිටි හරි හිතුවක් කාර

නිතරම මගෙන් ලැබු තද වේවැල් පාර

පෙර මම දුටුවෙ ඔහු දරුවකු ලෙස මාර

ඔහු මම සොයා විත් ඇත අහගෙන පාර

 

මම පෙර දුටුවෙ නුඹ සිප්කිරි නොබිව් ලෙස

නුඹ බී ඇත්තෙ හොඳ මිනිසත්කමේ රස

මම යෙදු මිම්ම සෙව් කහවණු ගොඩක උස

ඔහු දෙස බැලුවෙ මට වැරදී තිබෙන ලෙස

 

කණ කොක් රුවක් පෙනෙනව ඈතින් නිතර

උළමගෙ හූව ගෙන එයි පාළුව පැතිර

පළවා හැරිය අපෙ නොදැනීමෙහි අඳුර

අඳුරේ ගිලී ඇත අද අපෙ ගුරු ගෙදර

 

- එස් විතාරණ, මිද්දෙනිය -

 

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'