සංසාරේ අපි -පියසීලි විජේනායක-
හිසට සෙවණ වෙයි මහ තුරු වැඩුණාම
ගතට සිසිල දෙයි මඳනල හැමුවාම
පයට බුමුතුරුණ පොළොවේ ඇවිදීම
නෙතට පිය දසුන විය ඔබ හැමදාම
කඳු පාමුල මිටියාවත පැහැබරය
දෙඩූ බහක් ඇත්නම් එය හරබරය
දරා සිටිය පොත් අප දෝතට බරය
හසරැලි නඟයි හන්තානේ කඳු ගැටය
බන්දා සත්මාල හැඩකර කර වටට
රන්දා රන්හුයෙන් දෑඟිලි බැඳ යසට
අන්දා සළු පිළි බැහැරින් ඉහ වටට
කැන්දා ගියේ සෙංකඩගල පුරවරට
මල් යායක් දුටිමු ඉහළින් තණ පිටිය
මන නඳ කෙරෙයි එය මය අප සිතු සැටිය
ආ දුර බොහෝ වෙයි යා යුතු මඟ කෙටිය
දෝතට සවිය දෙමු අතහැර හැරමිටිය
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'