හන්තානේ කතාවක්...ලෙටීෂියා රත්නායක....
නුඹේ අතේ එල්ලීගෙන රන් සමනලියක් ගානට
මතක නැද්ද මං ආවා හන්තානේ කන්ද උඩට
සුරංගනා කතා අහන සුරතල් දැරියක් වාගේ
තොඳොල් වුණේ මම ද කියල හිතෙන කොටත් ලජ්ජයි මට
ඇහළ මලින් පාවඩ ලූ පෙම්වතුන්ගෙ මාවත දිග
දෑතෙ ඇඟිලි පටලාගෙන හෙමින් හෙමින් පිය මැන මැන
රන් හිරු රැස් දෝරෙ ගැලුව තුරු වදුලෙදි කනට කරල
අනාගතේ ගැන දොඩමලු වුණේ මම ද නුඹම නේද
ළපැටි වියේ සිට දුක සැප එක හිතින් ම බෙදා ගත්තු
අප්පච්චී - අම්ම - අක්ක - අයිය - මල්ලි මේ හැමෝම
තරාදියේ එක පැත්තක අනික් පැත්තෙ නුඹ පමණයි
ඒත් මගේ හිත කිරුවේ බර ඒ පැත්තට තියාල
සුබ නැකතට රන් නූලෙන් ගැට නොගැසූ ඇඟිලි බැඳන්
අප නැංගේ ජීවන කඳු පාමුල සිට හෙමින් උඩට
දුක් කරදර ඔලොගු අරන් දරු පැටවුන් තල්ලු කරන්
එහෙම යද්දි මං හිටියෙත් හන්තානෙදි වගෙම සතුටෙ
කවදාදෝ අතර මගදි නුඹේ අතේ උණුහුම මට
නොලැබ ගියේ මොන කරුමෙද හිතා ගන්නවත් බෑ මට
ඒ වුණාට දරු පැටවුන් එක් කරගෙන කන්ද මුදුනෙ
මං ජය කොඩි දැම්ම දාට නම් නුඹටත් දුක හිතේවි...
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'