Logo

රසැති කෝලිකුට්‌ටු අග්‍රා සොයාගත් කෘෂි විද්වතිය - ආචාර්ය සුජාතා වීරසිංහ



උප්පැන්නය නොලද ගජබා දිවුල් - රටේ කෙසෙල් ගහණය තුන් ගුණයකින් ඉහළට
 
 - අන්නාසි, කෙසෙල් කෘමි උවදුරු වලට පරිසර හිතකාමී විසඳුම්
 
 තනිරූල් එක්‌සයිස්‌ පොතේ පිටුවක්‌ පිරෙන්නට පහළ බාලාංශයේදී පොල්ගස පිළිබඳ රචනා ලියූ සුන්දර මතකයන් තවමත් ඉඳහිට අවදිවේ. පොල්ගස වනාහී තාල වර්ගයට අයත් ගසකි යනුවෙන් ඇරඹි රචනාව අවසන් වනවිට පොළොවෙන් ඉහළට ඇති ගසේ සියලු කොටස්‌වලින් අප ලබන ප්‍රයෝජන ඉතා අපූරුවට පෙළගැස්‌වී තිබිණ. එය තරම් මිනිස්‌ ජීවිතය හා බද්ධවූ තවත් ගසක්‌ ගැන කියන්නට අප එදා දැන සිටියේ නැත. පොළොවෙන් ඉහළට ඇති කොටස්‌ පමණක්‌ නොව පසේ ගිලී ඇති කඳ කොටසෙන් පවා වැඩක්‌ ගත හැකි ගසකට, නව අරුතක්‌ දුන් කෘෂි විද්‍යාඥවරියකි ආචාර්ය සුජාතා ස්‌වර්ණලතා වීරසිංහ. දැනට කොළඹ විශ්වවිද්‍යාලීය කෘෂි තාක්‍ෂණික හා ග්‍රාමීය විද්‍යායතනයේ (හම්බන්තොට) ජ්‍යෙෂ්ඨ කථීකාචාර්යවරියක ලෙස සේවය කරන ඇය හා කෙරුණු සංවාදය තවදුරටත් ඉදිරියට ඇදී යන්නේ කෙසෙල් ගසට පමණක්‌ නොව දේශීය පලතුරු වගාවේ උන්නතිය උදෙසා සිදුකළ ඇගේ කාර්යභාරය ජනගත කිරීම මහඟු සමාජ සත්කාරයක්‌ වන බැවිනි. 
 
n7 6 කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ පිටිසර ගමක්‌වූ ගොඩපල දී, ගුරුවරයකු හා හෙදියකගේ පවුලේ එකම ගැහැණු දරුවා වූ සුජාතා ලොකු ලොකු පාසල්වලට ගොස්‌ අකුරු කරවූයේ නැත. ඉස්‌කෝල කීපයකට මාරුවූ ඇගේ පාසල් දිවිය කෙලවරවූයේ පින්නවල මහා විද්‍යාලයෙනි. 1978 දී පේරාදෙණිය සරසවියෙන් කෘෂිකර්ම උපාධියත්, තම ජීවන සහකරුත් (ගන්නොරුව උද්‍යාන බෝග ආයතනයේ වර්තමාන අධ්‍යක්‍ෂ ආචාර්ය ප්‍රියන්ත වීරසිංහ) යන දෙකම ලැබූ ඇය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ නිලධාරිනියක්‌ ලෙස අරලගන්විල පර්යේෂණ ස්‌ථානයට පත්වී ගියාය. එක්‌සත් රාජධානියේ වයි කොලේ- වෙතින් උද්‍යාන විද්‍යාව පිළිබඳව එම්.එස්‌.සී. උපාධියත්, 1994 දී ඒ වෙතින්ම ආචාර්ය උපාධියත් ලබා ඇය තම අධ්‍යාපන චාරිකාවට විරාමයක්‌ තැබුවාය.
 
 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇයට කුඩම්මාගේ හැන්දෙන් බෙදන්නට පටන් ගත්තේ, ලොකු ලූනු සම්බන්ධයෙන් වූ ආචාර්ය උපාධියකුත් කරපින්නාගෙන දිවයිනට ගොඩබැසීමත් සමගය. ලබාගත් නැවුම් දැනීම සහ අත්දැකීම් ලක්‌ පොළොවේ උරගා බැලීමට කිතිකැවෙමින් සිටි ඇයව වහාම මහඉලුප්පල්ලම පර්යේෂණායතනයේ පලතුරු වගා අංශයට අනුයුක්‌ත කෙරිණ. තම දැනීම අපතේ යනවායයි අධ්‍යක්‍ෂවරුන් ඉදිරියේ කරුණු දැක්‌වූවත් එහි යථාර්ථයට සංවේදී චරිතයක්‌ දෙපාර්තමේන්තුව තුළ සිටියේ නැත. ලොකු ලූනු ගැන ආචාර්ය උපාධියක්‌ ලබා, පලතුරු වත්තක වැඩට ගියත් එය තමාගේ රාජකාරි දිවියේ හැරවුම් ලක්‌ෂ්‍යයක්‌ වනු ඇති බවට එදා ඇය නොසිතුවා විය හැකියි. 
 
n8 2 -අඹ, අන්නාසි, දිවුල්, කෙසෙල් වගේ බෝග රැසක්‌ම මගේ පර්යේෂණවලට එහිදී ඇතුළත් වුණා. ඒත් මට එතන සේවය කරන්න ලැබුණේ අවුරුදු හතරයි." 
 
 එතැනින් අඟුණකොළපැළැස්‌සටත් අනතුරුව තෙලිඡ්ජවිලටත් ස්‌ථාන මාරුවීම් ලැබූ ඇයට ඒ කිසිදු ස්‌ථානයක්‌ තාවකාලික නැවතුම්පළක්‌ වූයේ නැත. නව සේවා ස්‌ථානයේ පරිසරයට ක්‌ෂණිකව අනුගතවන ඇය වැඩිකල් නොගොස්‌ ඒ හැම තැනකදීම අලුත් යමක්‌ රටට හඳුන්වා දුන්නාය. කෘෂිකාර්මික පර්යේෂණ වැනි දිගු කලක්‌ ගතවෙන ක්‍රියාදාමයන් තුළදී මෙය විස්‌මය දනවන කාර්ය සාධනයකි. වත්මන් තරුණ පර්යේෂකයින්ට, නව සේවා ස්‌ථානයක්‌ ලැබුණු විට එහි වසර කීපයක්‌ සේවය කළත් දැනෙන යමක්‌ එළිදැක්‌වීමට අසමත් වන්නේ, තම දැනුමේ පන්නරය තැනට සුදුසු අයුරින් සීරුමාරු කිරීමට ඔවුන් දක්‌වන නොහැකියාවයි. සුජාතාවන් නව පරපුරට ආදර්ශවත් චරිතයක්‌ වන්නේ ඒ නිසාය. 
 
 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නමැති චපල පෙම්වතා සමග අරලගංවිල සිට එංගලන්තයටත්, ආපසු පැමිණ මහඉලුප්පල්ලමටත්, එතැනින් අඟුණකොළපැලැස්‌සටත් අවසානයට තෙලිඡ්ජවිලටත් ගොස්‌ අවසන් කළ චාරිකාව ඇය සිහිපත් කරන්නේ තවමත් භක්‌ත්‍යාදරයෙනි.
 
 n8 1"මට කොහොම සැලකුවත් ඒ මගේ මහගෙදර. පළමු පත්වීම් ස්‌ථානයේ අපි හිටියේ කොටි සද්දෙට බයේ. රෑ එළිවනතුරු වෙඩි හඬ. සමහරදාට මුළු රෑම පහන්වෙන්නේ කෙසෙල් පඳුරක්‌ යට." 
 
 ගර්භණී තත්ත්වයේ සිටි තවත් පර්යේෂණ නිලධාරිනියකටත් ආරක්‍ෂාව සලසමින් අරලගංවිල පර්යේෂණ ස්‌ථානයේ කෙසෙල් පඳුරක්‌ යට රැය පහන් කළ ඇය, කෙසෙල් පඳුරට දැක්‌වූ කළගුණ සැලකීම නම් හරිම අපූරුය. ආචාර්ය උපාධිය අවසන පලතුරු බෝගවලට අනුයුක්‌තව මහඉලුප්පල්ලමට යන ඇයට නැවතත් කෙසෙල් පඳුර මුණගැසේ. එහිදී ඇය නිදහස්‌ කරන්නේ අලු කෙසෙල් වර්ගයකි. එය ප්‍රසාද් සේ නම් කෙරුවේ ඊට පෙර කෙසෙල් ගැන කටයුතු කළ පර්යේෂණ නිලධාරියාගේ දරුවාගේ නම එය බැවින් යයි ඇය පවසන්නීය. අනුන් සෑදූ බෝක්‌කුවක්‌ හෝ තමන්ගේ නම යොදා විවෘත කරනා සමාජයක ඈ උඩුගං බලා පිහිනයි.
 
 "ඒ විතරක්‌ නෙමෙයි. මම අරලගංවිල ඉන්න කාලේදී පටන්ගත්ත කෙසෙල් පර්යේෂණවල ප්‍රතිපලයක්‌ වශයෙන් තෝරාගත් ප්‍රභේදයට ඒ පළාත මතක්‌ වෙන්න පුලතිසි කියල නම දැම්ම. එය ව්‍යංජන කෙසෙල් වර්ගයක්‌. අඟුණකොළපැලැස්‌සෙදි නිදහස්‌ කළ වර්ගයට ඒ පැත්තේ හිටිය කියන හස්‌තියා සිහිවෙන්න කණ්‌ඩුල වශයෙන් නම් කළා. ඊට අමතරව ඒ කෙසෙල් ගෙඩිත් ඇතෙකුගේ දල හැඩයට ලොකුවට හැදෙනවා. කණ්‌ඩුල ද්විකාර්ය වර්ගයක්‌, ව්‍යංජන වගේම ඉදවල කන්නත් පුළුවන්" 
 
 මැයනම් අතීත සුජාතාව සේම පරහිතකාමී ගුණයෙන් සපිරි චරිතයක්‌ විය යුතුය. පාසල් අධ්‍යාපනය පවා හමාර කළ දියණියන් දෙදෙනකු හා පුතෙකුගේ මවක වන ඇය තම සොයාගැනීම් ජනගත කිරීමේදී ඒවාට නම් තබා ඇත්තේ ඊට අදාළ පුද්ගලයන් සම්බන්ධ වන අයුරින් මිස තම ඥාති මිත්‍රාදීන්ගේ නම්ගම් ලේඛනගත කිරීමේ අරමුණින් නොවීම, දුලබ සිදුවීමක්‌ සේ පෙනේ.
 
 -හිටපු අගමැතිවරයකු වන විජයානන්ද දහනායක මහතාගේ ඥාති පුත්‍රයකුට අයත් ඉඩමක තිබූ සීනි කෙසෙල් විශේෂයක්‌ මගේ ගවේෂණයට අහුවුණා. ඒ ගෙඩි ලොකුයි. ඇතුලේ ලා රෝස පැහැයකුත් තියෙනවා. අපිට සීනි කෙසෙල්වල පුරුදු රබර් ගතියත් නැති තරම්. ඒ වර්ගය අධ්‍යයනය කරලා මම නිදහස්‌ කළා පැරකුම් කියන නමින්. ඉඩමේ අයිතිකරුවා පරාක්‍රම දහනායක මහතා නිසා."
 
 අද අංක එකේ කෙසෙල් වර්ගය වන කෝලිකුට්‌ටුවල කලක සිට හඳුනාගෙන තිබූ දුර්වලතාවයක්‌ වන්නේ තදට හැපෙන කොටස්‌ ඉදුණු ගෙඩි තුළ හමුවීමයි. මෙය වර්තමානයේ දකින්නේ අල්ප වශයෙනි. ඊට හේතුව නම් කෝලිකුට්‌ටු වගාව මුළුමනින්ම පාහේ ආචාර්ය සුජාතා විසින් නිර්දේශ කරන ලද අග්‍රා නම් වර්ගයෙන් විස්‌ථාපනය වී ඇති බැවිනි. අද වෙළෙඳපොළේ ඇති මනා පෙනුමැති කෝලිකුට්‌ටු වර්ගය එයයි. එය අග්‍රගන්‍ය කෙසෙල් වර්ගයක්‌ නිසා එසේ නම් කළ බව ඇය පවසයි. 2007 වසරේදී ජාතික විද්‍යා පදනම තම වාර්ෂික සම්මානය ආචාර්ය සුජාතා වෙත පිරිනමනු ලැබුවේ දිවයිනේ කෙසෙල් අස්‌වැන්න හිටිහැටියේ තුන් ගුණයකටත් වඩා ඉහළ දමන්නට සමත් විස්‌මිත සොයා ගැනීමක්‌ ඇය ඉදිරිපත් කළ බැවිනි. වැඩි ඝනත්ව පරතර රටාවක්‌ වූ මෙය තුළින් එකල හෙක්‌ටයාරයකට සිටුවන පැළ දහස, තෙගුණයක්‌ එනම් තුන්දහසක්‌ දක්‌වා වැඩි කෙරිණි. වගාව පවත්වාගත යුත්තේ වසරක්‌ පමණ නිසා කෝලිකුට්‌ටුවලට දෙවැනි, තුන්වැනි වසර වලදී වැළඳෙන පැනමා රෝගයෙන් අත්මිදීමටද මෙයින් මග සැලසුනි. එපමණක්‌ද නොව එම වසරේදීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික සමුළුවේදීද හොඳම පර්යේෂකයාට සහ හොඳම විද්‍යාඥයාට හිමිවෙන රන් පදක්‌කමද ඇයගේ ගෙලවට පැළඳුනේ මෙය නම් අසිරිමත් කාර්ය සාධනයක්‌ නිසාමය. බොහෝ තැන්වලදී අහක බැලූ දෙපාර්තමේන්තුව එදින නම් තමාට හිසනමා ආචාර කළ බව කෘතවේදීව ඇය පවසයි.
 
 ප්‍රංශයේ මූලස්‌ථානගතව ඇති කෙසෙල් වැඩිදියුණු කිරීම වෙනුවෙන් වූ ජාත්‍යන්තර ජාලයේ (ෂභෂඊAඡ) ඇස අප විද්වතිය වෙත යොමුවීම හේතුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා කීපවරක්‌ විදෙස්‌ රටවල පැවති සමුළුවලට සහභාගිවීමට ඇයට අවස්‌ථාව සැලසුනි. ඇය ඒ වනවිට ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක ලෙස අදාළ ආයතනය විසින් පත්කර තිබීම ඊට හේතුවයි. 2001 වසරේදී ආසියා - ශාන්තිකර සමුළුව පැවතියේ ශ්‍රී ලංකාවේදීය. වසරකට වරක්‌ රට රාජ්‍යයන්හි පැවැත්වෙන වාර්ෂික සමුළුවට සහභාගි වීමේ කෑදරකමින් පෙළුණු ප්‍රධානියකු මෙම සම්බන්ධිකාරකත්වය ඇය වෙතින් ඩැහැගන්නා ලදී. එතැන් සිට කෙසෙල් ගැන කතාකරන්නට පිටරට ගොස්‌ ඇත්තේ ඔහුය. 2008 දී එම ආයතනය විසින් ආසියා - ශාන්තිකර කලාපයේ කෙසෙල් වීරයා වෙනුවෙන් පිදෙන සම්මානය සඳහා අපගේ කතානායිකාව තෝරාගත් අතර එය පිළිගැනීමට සමුළුව පැවැත්වෙන වියට්‌නාමයට එන ලෙස ආරාධනයක්‌ද කෙරුණි. මම එය රැගෙන එමියි පවසා එවරද ගොස්‌ ඇත්තේ මහ පුටුව හොබවන්නෙකි. මෙරට තුළ එවැනි බඩපිණුම් වලංගු වුවත් විදෙස්‌ ඇත්තන්ට එවැනි දේ නොදිරවයි. අදාළ කුසලානය නොව කඩදාසියේ මුද්‍රිත සහතිකයවත් නොදුන් පිටරැටියෝ ඔහුව හිස්‌ අතින් ආපසු ඒවා තිබේ. පසු අවස්‌ථාවක එහි නියෝජිතයෙක්‌ මෙහි පැමිණ මැය හමුවී අදාළ සහතිකය පමණක්‌ ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇත. එම ආයතනය මගින් එතෙක්‌ ලාංකීය කෙසෙල් වගාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ලබාදුන් ප්‍රතිපාදනයන් ක්‍රමයෙන් දියවී, බොඳවී, වියෑකී ගියේ අපේ නඩයේ කල්ක්‍රියාවන් විදෙස්‌ ඇත්තන් මනාව තේරුම්ගත් නිසා විය හැකිය. දේශීය පර්යේෂණයන් උදෙසා අවැසි රසායන ද්‍රව්‍ය, පුහුණුවීම් ආදිය මේ අනුව අහිමිව ගිය සම්පත් කීපයකි.
 
 දකුණු පුරවරයේ පලතුරු වර්ගවල ගුණාගුණ සොයමින් යන මැයගේ ඇස ගැටුණු දිවුල් ගසක්‌ බෙලිඅත්ත ප්‍රදේශයේ ගෙවත්තක තිබිණ. එයට හිත ගිය ඇය එහි ගෙඩි ගුණාත්මකව විශ්ලේෂණය කරමින් සොයා ගත්තේ, විශාල මදයක්‌ සහ ආකර්ෂණීය වර්ණයක්‌ සහිත එය, ප්‍රභේදයක්‌ ලෙස නිදහස්‌ කිරීමට සුදුසුකම් දරන බවයි. ඇය දිවුල් ගෙඩිත් රැගෙන ප්‍රභේද නිදහස්‌ කිරීමේ කමිටු රැස්‌වීමට ගියාය. ඇයගේ ඉදිරිපත් කිරීම අවසන එහි සිටියෙකු නැගූ ප්‍රශ්නයක්‌ සුනාමියක්‌ වී සියල්ල සෝදාහැරි බව ඇය පවසයි.
 
 ඔහු ඇසුවෙ මේ ගුණාත්මක ගෙඩි ඉදිරි අවුරුදුවලත් මේ විධියටම හැදෙයිද කියලයි. ඒ අනුව කමිටුව තීරණය කළා තව වසර දෙක තුනකින් තත්ත්වය බලල තීරණයක්‌ දීමට. පස්‌සේ ඔහු මට කනගාටුව පළකළා. මොනවා හරි අහන්න ඕනෑ කියලා හිතුන නිසාලු එහෙම ඇහුවේ.
 
 කෙසේ නමුත් ඇය අභියෝගය භාරගත්තාය. වසර තුනකට පසු අදාළ දත්තයන් එකතු කරගෙන කමිටුව හමුවට යැමට සැරසුණි. එවිට සිටි කමිටු ප්‍රධානියා පවසා තිබුණේ දිවුල් ගෙඩිත් රැගෙන රැස්‌වීමට පැමිණෙන ලෙසයි. අවාසනාවක මහත¾ එය දිවුල් අවාරය විය. කෝඳුරු තෙල් හත්පට්‌ටයකටත් වඩා තවත් ටිකක්‌ ඉල්ලන බලධාරීන් හමුවේ කළ කිරීමෙන් නිහඬවූ සුජාතාවන් කටයුතු සියල්ල අත්හැර දැමුවාය. ඇය රැස්‌වීමට ගියේවත් නැත. ගජබා යන නමින් නිර්දේශ කිරීමට කටයුතු සූදානම් කර තිබූ එය ජාතික ධාරාවට නිල වශයෙන් එදා ඇතුළත් කර ගත්තානම් එහි අංකුර යොදා බිහිකරන දිවුල් පැළ මේ වන විටත් ජනතාව අතරය. උප්පැන්නය නොලත් ගජබා, අදටත් බෙලිඅත්තේ පිහිටි තම හුදකලා නිකේතනයේ සශ්‍රීකව පලදරයි.
 
 විද්‍යාඥයන්ට පරිපාලනය අකැප නැත. ගැටලුව ඇතිවන්නේ විද්‍යාත්මක ක්‍රමයට අනුගතව වඩාත් සාධාරණව කරන්නට යැමෙනි. කම්කරු තනතුරක්‌ ලැබුවකු තම සුදුසුකම් කෙසේ වුවත් තනතුරට අදාළ රාජකාරියෙහි යෙදිය යුතුවේ. අප කතානායිකාව දේශපාලනඥයන්ට හිසරදයක්‌ වූයේ ඇය අනුගමනය කළ මෙම විද්‍යාත්මක විවරණයයි. රටට වැඩදායී ලෙස පලතුරු බෝග ප්‍රවර්ධනයටත්, ශාක කොටස්‌ උපයෝගී කරගත හැකි දේශීය කර්මාන්ත ජනිත කිරීමටත් කටයුතු කරමින් සිටි ඇයව තෙලි-ජවිල පර්යේෂණ ස්‌ථානයෙන් ඉවත්කර මාතර දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම අධ්‍යක්‍ෂවරිය ලෙස පත්කර හැරියේ බලධාරීන්ගේ ගැටබෙර තාලයට අනුව පාද නොතැබූ හේතුව මතයි. දේශපාලන ප්‍රභූන්ට හීලෑවී සිටි කෘෂිකර්මයේ ලොක්‌කන් ඇය වෙනුවෙන් මුනිවත රකිද්දී නව තනතුරට අනුගතවූ ඇය 2012 වසර තෙක්‌ ගත සිත පිරෙන්නට තැන්පත් කරගෙන තිබූ විද්‍යාත්මක අනාවරණයන්ගේ රශ්මි සමුදාය දිස්‌ත්‍රික්‌කයේ ප්‍රගතිය වෙනුවෙන් මුදාහැරියාය.
 
 එතෙක්‌ මාතර දිස්‌ත්‍රික්‌කයේ අන්නාසි වගාව පැවතියේ ගෙවතු ආශ්‍රිතව ඉතා සුළු පරිමාණයෙනි. වගාව ප්‍රචාරණයට අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය නොමැතිකම විශාල බාධකයක්‌ විය. අන්නාසි පැල නිපදවීමේ කඩිනම් ක්‍රමවේදයක්‌ ඒ වන විටත් ඇය සතුව තිබුණෙන් එම කඩඉම සරලවම පසුවුණි.
 
 අන්නාසි කඳ පැළ කිරීම සඳහා එහි පත්‍ර පාද ගලවා පිහියකින් හොඳට පිරිමැද පිරිසිදු කරනවිට, කඳ ටිකක්‌ තුවාල වෙන අවස්‌ථා තිබුණ. ඒ තුවාල ළඟින් පුංචි පැළ පොකුරු පොකුරු එන්න පටන් ගත්ත. මෙය මම දුටුවේ අහම්බෙන්. මේ විධියටම තවත් කඳක්‌ මීයෙක්‌ විසින් තැන තැන කාදමා තිබුණ. ඒ තැන් වලිනුත් පැළ පොකුරු ආවා. මේ අනුව කඳක්‌ වැලි තවානක තැන්පත් කරනවිට, එහි මතුපිට රළු යමකින් කඩතොළු කිරීමෙන් ඉතා විශාල පැළ සංඛ්‍යාවක්‌ ලැබෙන බවත්, ඒවා විච්ඡේදනයකින් වෙන්කර ගෙන බඳුන්ගත කිරීමෙන් කෙටි කාලයක්‌ තුළ ලොකු පැළ ගහනයකට හිමිකම් කිවහැකි බවත් මම පෙන්වා දුන්නා.
 
 එසේ ඇරඹූ අධිවේගී පැළ නිෂ්පාදනය හමුවේ මාතර දිස්‌ත්‍රික්‌කය පුරා අන්නාසි වගාවන් බිහිවීමට වැඩි කලක්‌ ගතවූයේ නැත. අන්නාසි වගාවේ වල් මර්දනයටද පරිසර හිතකාමී විසඳුමක්‌ ඇය සතුව තිබිණ.
 
 ඩයියුරෝන් තමයි අන්නාසිවලට යොදන එකම වල් නාශකය. එය මාතර පැත්තේ වැඩිපුර ගන්නත් නෑ. මේ නිසා මම අන්නාසි පේලි අතර මුකුණුවැන්න වවන්න යෝජනා කළා. වර්ග මීටරයකින් සති තුනකට වරක්‌ පලා කිලෝවක්‌ කපන්න පුළුවන්.
 
 කෘෂි රසායනයන් පරිසරගත වීම අවම කිරීම උදෙසා ඇය මහත් පරිශ්‍රමයකින් තොරතුරු සම්පාදනය කරයි. අන්නාසි කඳන් සිටුවීමේදී පිටිමකුණා මර්දනයට ඒවා අංශක 50 උණුවතුරේ විනාඩි පහක්‌ ගිල්වා තැබීමට ඇය යෝජනා කරයි. එසේම කෙසෙල් අල කැබලි සිටුවීමේදී පෙරදී අනුගමනය කළ කාබොµsයුරාන් යෙදීම වෙනුවට එම කැබලි නටන වතුරේ තත්පර තිහක්‌ ගිල්වා තැබීමෙන් අලගුල්ලා මර්දනය කළ හැකි බව ඇය පවසා සිටී. 
 
 විශ්ව විද්‍යාලයෙන් වර්තමානයේ ලැබෙන දිරිගැන්වීමෙන් ඇය හොඳටම තෘප්තිමත් බව පෙනේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සිටියදී ඇයගේ කටයුතුවලට පර්යේෂණ සහකාරවරයකුව එදා සිටි රුවන්පතිරණ මහතා දුන් සහාය ඇය කෘතවේදීව සිහිපත් කරයි.
 
 "අනේ මන්ද මට මේ මොනවා කළත් හිතෙනව රට වෙනුවෙන් මං කළ දේ මදිවත්ද කියල" සුජාතාවන් තනිවම මුමුණනු ඇසුනේ මා ආපසු හැරී එත්දීය. 
 
 සනත් එම්. බණ්‌ඩාර

 

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12073155
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12084735
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9570056
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9473129
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9300246
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'