Logo

මැදගොඩ අභයතිස්ස හිමි ආප්ප කෑවාද?- රත්තනදෙණියේ මේධානන්ද හිමි



මැදගොඩ අභයතිස්ස හිමියනුත් ආප්ප කෑවාද? ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි වෙනත් බොහෝ අය අහපු දෙයක්. ඒ පසුගිය දා මෛත්‍රීපාල සිරිසේන අරඹයා කළ ප්‍රකාශයක් නිමිතිකොට ගනිමින්. ඒ පිලිබඳ සංවාදය උවමනාවටත් වඩා කරළියට ඇවිත් තිබුණා. සමහර ප්‍රතිචාර අඥානයි,සමහර ඒවා ද්වේෂ සහගතයි. සමහර ඒවා විවේචනාත්මකයි. ඒ මොනාවා වුණත් එදා ඒ කඨින පිංකමට සහභාගී වූ කෙනෙක් හැටියටත් අභයතිස්ස හිමියන්ගේ සම්පුර්ණ අනුශාසනාව කරන අවස්ථාව ඇසින් දැක කනින් ඇසු කෙනෙකු ලෙස එදා ඒ මොහොතේ එතැන සිටි සාක්ෂ්‍යකාරයෙක් හැටියටයි මේ පැහැදිලි කිරීම කරන්නේ.

මුලින්ම කියන්න ඕන භික්ෂුවකගේ දේශපාලනය කියන්නේ ජාතික දේශපාලනයක් මිස පක්ෂ දේශපාලනයක් නොවෙන බව. එහාට මෙහාට පනින දේශපාලඥයන් මනින මිම්මෙන් අරවගේ කතාවක් කිව්වට භික්ෂුවක් මනින්න එපා. භික්ෂුවකට රකින්න අවම වසර දෙදාස් පන්සීයක උරුමයක් තියෙනවා. යුග යුග ගණන් නඩත්තු කරපු මතවාදයක් තියෙනවා. රකින්න බුදු දහම හා බැදුණු සංස්කෘතියක් තියෙනවා. ඒවා දේශපාලකයින්ට නම් බලයට එන්න ඉනිමගක් විතරක් වුණාට භික්ෂුවකට එහෙම නෑ. රට ජාතිය ආගම කෙරෙහි ඇති වග වීමෙන් මිදෙන්න ලෙහෙසියෙන් භික්ෂුවකට බෑ . අභයතිස්ස හිමියන් ඒක මල්වතු මහනාහිමියන්ටත් වඩා හොඳින් තේරුම් අරං ඉන්න කෙනෙක්. අභයතිස්ස හිමියනුත් ආප්ප කෑවාද වැනි සරල නිගමනවලට එන්න අපි ඉක්මන් වියයුතු නෑ. උන්වහන්සේට යහපාලනයට ගිහිං අමුතුවෙන් ලබා ගන්න දෙයක් නෑ රටට යමක් ශේෂ කර දෙනවා ඇරෙන්න.

අභයතිස්ස හාමුදුරුවෝ ව්‍යවස්ථා විරෝධී සටනේ මුල ඉදලම ඉන්න හිමි නමක්. ඒ කෙටි වීඩියෝවෙන් මතු නොවුණු කතාවේ සමස්ත අදහස මේකයි. මේ ව්‍යවස්ථාව පිළිබඳව මෛත්‍රී සමග පැයකුත් විනාඩි 45ක් සාකච්ඡා කරපු වෙලාවක ඔහු ඒ සියල්ල අසා සිට හරිම සංවේදී ප්‍රකාශයක් කරාලු. නිදහස ලැබුණු දා ඉදන්ම මේ රටේ මහ ජාතිය එක්ක සුළු ජනවර්ග සමගියෙන් ඉදලා නෑ. හැමදාම කිසියම් ඝට්ටනයක් ඇතිවෙලා තියෙනවා. ඒක දේශපාලන උවමනාව මත හෝ අවුලුවන්න පුළුවන් වෙන්නේ කිසියම් මුල බීජයක් මේක ඇතුලේ තියෙන නිසා. මේ සම්පුර්ණ ප්‍රශ්නයම ඉවර කළ යුතුයි කියලා මගේ හිත හැම වෙලේම කියනවා. ඒක මම ඡන්ද බලාගෙන මට ඡන්දය දුන්න නිසා කියනවා නෙමෙයි කියලා එදා මෛත්‍රී කිව්වලු.

මැදගොඩ හාමුදුරුවෝ කිව්වේ ඒ කතාවේ සත්‍යක් තිබෙනවා නම් සියලු ජාතින්ට සමගියෙන් ජිවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කිරීමේ කටයුත්තට අපි එකගයි. මේ වෙලාවේ ඒක කරන්න පුළුවන් කෙනෙකුට ඉන්නේ ඔබතුමා විතරයි. හැබැයි ඒක කරන්න ඕන බෙදුම්වාදීන්ගේ න්‍යාය පත්‍රයට නෙමෙයි. එන්ජිඕ කාරයන්ගේ උවමනාවට නෙමෙයි කියන එක. එහි සමස්ත අදහස වුණේ උතුරේ දෙමළ ජනයාගේ ප්‍රශ්නයට විසදුම් සෙවිය යුත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියේ පරම සතුරන්ගෙන් නොව මහා සංඝයා ඇතුළු ජාතිකවාදී නායකයන්ගේද පිළිගැනීමට ලක්වෙන ක්‍රමයකින් බවයි. මෛත්‍රීපාල සර්වපාක්ෂික කමිටුවක් ගැන කියන්න ගත්තෙත් ඊට පස්සේ. "ඒක කරන්න පුළුවන් කෙනෙකුට ඉන්නේ ඔබතුමා විතරයි" කිව්වේ පඹයකු වුණත් මේ වෙලාවේ විධායක බලය තියෙන්නේ මෛත්‍රී අතේ නිසා. ඒ බලය සිංහල බෞද්ධ සංස්කෘතියේ හොදට මෙන්ම නරකට භාවිතා කරන්නත් ඔහුට පුළුවන්. වෙසක් පෝය දෙකක් කිව්වාට යළි ජනාධිපතිවරණයක් එනකම් ඔහු බලයේ ඉන්න එකත් අනිවාර්ය අංගයක්. කවුරු පිළිගත්තත් නැතත් ඒක තමයි ඇත්ත.

ප්‍රවෘත්තිවල කෙටි වෙලාවක වීඩියෝවෙන් එළියට ආවේ සමස්ත කතාවේ බරින් නොව මෛත්‍රී වර්ණනා කරපු කොටස පමණයි. ඒකට මාධ්‍යටත් දොස් කියන්නත් බෑ. ඒ කොටසේ තමයි ප්‍රවෘත්තිමය වටිනාකම තියෙන්නේ. බල්ලෙක් මිනිසෙකුගේ කකුල හැපුවා කිව්වොත් එතැන ප්‍රවෘත්තියක් නෑ. නමුත් මිනිසෙක් විසින් බල්ලෙකුගේ කකුල හැපුවා කිව්වොත් ඒක ප්‍රවෘත්තියක්. වැස්සක් ප්‍රවෘත්තියක් වෙන්න නම් ඒ වැස්සෙන් ගංවතුරක් ගලන තරම් ජන ජිවිතයට බලපාපු එකක් වෙන්න ඕන. නැත්නම් ඒ වැස්ස අවුරුදු 100 කට පස්සේ වැටුන වැස්සක් වෙන්න ඕන. ඒවගේ තමයි එදා ප්‍රවෘත්තිය වෙන්නේ වෙනත් මතවාදයක් නඩත්තු කරන කදවුරක භික්ෂුන් වහන්සේ නමක් මෛත්‍රී අගය කිරීමයි. අබේතිස්ස හිමියන් මහින්ද රාජපක්ෂ අගය කරානම් ඒක සාමාන්‍යයක් මිස ප්‍රවෘත්තියක් නෙමෙයි. දඹර අමිල හිමි මෛත්‍රී අගය කිරීම සාමාන්‍යක්. හැබැයි අමිල හිමි මහින්ද රාජපක්ෂ අගය කළා නම් ඒක ප්‍රවෘත්තියක්. සාමාන්‍ය ඉක්මවන තැන තමයි ප්‍රවෘත්තිමය වටිනාකම තියෙන්නේ. ඒ නිල තමයි එදා මාධ්‍යත් ඇල්ලුවේ. ඒක මාධ්‍ය ගහපු ගේමකුත් නෙමෙයි.

මම එදාම පිංකම අවසන් වුණාම අභයතිස්ස හාමුදුරුවන්ට එවලේම කිව්වා අද රාත්‍රියේ ප්‍රවෘත්තිවලට යන්නේ ඔය කොටස කියලා. ඒ වෙලාවේ අභයතිස්ස හාමුදුරුවන්ගේ තක්සේරුව වුනේ රාජ්‍ය මාධ්‍යවල එහෙම ගියත් අනෙක් මාධ්‍යවල වෙනස් විදිහට යයි කියන එක. උන්වහන්සේගේ තක්සේරුව වැරදිලා මගේ අනුමානය හරි ගියා. එහෙම වුණේ මමත් ගේමක හිටි නිසා නොව ප්‍රවෘත්තියක වටිනාකම මාධ්‍ය මනින විදිහ ගැන මටත් පොඩි ඉවක් තිබුණ නිසා. එදා උන්වහන්සේ කිව්වා මේ ආණ්ඩුව බුදු දහමට ප්‍රමුඛත්වය දෙනවා කිව්වට පහුගිය කාලේ ගෙනාපු කතිකාවත් සංඝ භේද කතිකාවත් බව. එය මාධ්‍යයෙන් වාර්තා වුණේ නෑ. එන්ජිඕ කාරයන්ට ඕන දේ කරන්න ගියොත් කවදාවත් රටට සුගතියක් නොවෙන බවත් කිව්වා.එය හිරු නාලිකාවෙන් පමණක් වාර්තා වුණා.(බලන්න: 03 කමෙන්ටුව එම ප්‍රවෘත්තිය අමුණා ඇත )

එම කතාවෙන් උන්වහන්සේ මෙතෙක් නියැලී මතවාදී කදවුර මාරුකිරීමක් ගැන අදහසක් මට නෑ. නමුත් එම අනුශාසනාවේ පොඩි අඩුවක් මම දකිනවා. ඒ තමයි ව්‍යවස්ථා වෙනසකින් විසදන්න පුළුවන් ප්‍රශ්නයක් දෙමළ ජනයාට නැති බව. ඒක මෛත්‍රී ඉස්සරහ කියන්නම ඕන දෙයක්. උතුරේ දෙමළ ජනයාට තියෙන්නේත් වතුකරේ දෙමළ ජනයාට තියෙන ප්‍රශ්නමයි. ඒ අයට රැකියා ප්‍රශ්න,අධ්‍යාපන ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න, නිවාස ප්‍රශ්න යටිතල පහසුකම්, සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රශ්න ඇති. වසර 30 ක් යුද්ධයකට මැදිවූ මිනිස්සු හැටියට එහෙම ප්‍රශ්න නැති බව අපි කියන් නෑ. ඒ එකක් වත් ව්‍යවස්ථා වෙනසකින් විසදන ප්‍රශ්න නෙමෙයි. තිබෙන ව්‍යවස්ථාවට අනුව දෙමළාට දෙමළවීම නිසාම විශේෂයෙන් බලපාන කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ නිසා ව්‍යවස්ථා වෙනසකින් බෙදුම්වාදය ශක්තිමත් කරනවා හැර දෙමළ ජනයාගේ විසදන්න පුළුවන් ප්‍රශ්නයක් නැති බව අපි පැහැදිලිව කියන්න ඕන.

ඊළගට මැදගොඩ හාමුදුරුවන්ට මෛත්‍රීපාල සමග සාකච්ඡා කරන්න තරම් පෙළඹවීමක් ඇති කරපු පසුබිමත් සලකා බලන්න ඕන. උන්වහන්සේ ව්‍යවස්ථා විරෝධී සටනේ යටින් සහ උඩින් විශාල වැඩ කොටසක් කරපු හිමි නමක්. අස්ගිරි ප්‍රකාශය එළියට ගන්න ජාතික ව්‍යාපාරවලට සම්බන්ධ අනෙකුත් ගිහි පැවිදි පිරිස් සමග පෙරමුණ ගත්තා. ඒ වෙනුවෙන් සාකච්ඡා පැවැත්වුවා. සිවිල් බලයක් ඇති අනෙකුත් සංඝයා දැනුවත් කළා. අවසානයේ මහා සංඝයා ව්‍යවස්ථාවට එරෙහිව පෙළ ගැසුණා. ඒක ඉබේ සිදුවූවක් නොවෙයි. මුලින්ම මල්වතු අස්ගිරි කාරක සංඝ සභා විරුද්ධ වුණා.පසුව අමරපුර, රාමඤ්ඤ, නිකාය දෙකේ මහනායක හිමිවරුත් විරුද්ධ වුණා. කෝට්ටේ පාර්ශවය, රෝහණ පාර්ශව ආදියත් විරුද්ධ වුණා. විටින් විට දක්වපු මේ විරෝධය කලින් සකස් කරගත් න්‍යාය පත්‍රයට අනුව සිදු වුවක්. ඒවා ඒ තැනට යොමු කරන,කළමනාකරණය කරන වැඩපිළිවෙලක් න්‍යාය පත්‍රයක් මේ ව්‍යවස්ථාවේ බරපතලකම තේරුම් ගත්ත අභයතිස්ස හිමියන් ඇතුළු හිමිවරුන්ට තිබුණා. අභයතිස්ස හිමියන්ගේ එකී භූමිකාව බාහිරට නොපෙනුන විශිෂ්ට එකක්. අභයතිස්ස හිමි, ඉදුරාගාරේ ධම්මරතන හිමි මාදුරුඔයේ ධම්මිස්සර හිමි, ඇතුළුව අනෙක් භික්ෂූන් වහන්සේලාත් හිතුවේ තමන් නියෝජනය කරන දේශපාලන අධිකාරිය මේ ආරම්භයක් අරන් දීපු ව්‍යවස්ථා සටන අතට ගනියි කියලා. අවාසනාවට ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයට ඒක එහෙම වුනේ නැහැ. විමල් වීරවංශ, විතරයි ඒක අතට ගත්තේ. ඒත් ඔහුටත් ඔහු ඉන්න දේශපාලන ධාරාවෙන් ප්‍රමාණවත් සහයක් ලැබුණේ නැහැ. මේ නිසා ඒකාබද්ධයේ ඇල්මැරුණු ව්‍යවස්ථා විරෝධය ගැන කළ කිරුණු සංඝයා වහන්සේලාට සිදු වුණා මෛත්‍රීව හමුවෙලා එන්ජිඕ කාරයන්ගේ න්‍යායපත්‍රයට වැඩ කරන්න එපා කියලා ඉල්ලන්න.

මොකද මේ වෙලාවේ බලය තියෙන්නේ මෛත්‍රී අතේ. ඔහු සිංහල බෞද්ධ සංස්කෘතියේ සතුරෙක් ලෙස කොන්කර සිංහල විරෝධීන් අතරට තව තවත් තල්ලු කර දමන විට ඔවුන් සමග එකතු වී ජාතියට හානි කිරීමට අපි ඔහුට ලබා දෙන ඉඩ වැඩියි. කිසි බැදීමක් නැතුවම ඔහුට ඒක එවිට කරන්න පුළුවන්. ඇරත් මැයි දිනය සැමරීමට හෝ ඡන්දයක් කිට්ටු වෙනවිට මහ රැලි සංවිධානය කරන උනන්දුව රටේ තීරණාත්මක ව්‍යවස්ථා ප්‍රශ්නය වෙනුවෙන් පෙනෙන්නට නැති කොට රටේ බලය හිමි පුරවැසියාගෙන් හෝ උන්වහන්සේලා සාධාරණයක් අපේක්ෂා කිරීම නොවැලක්විය හැකි දෙයක්. ඉදුරාගාරේ ධම්මරතන හාමුදුරුවෝ බොහොම පැහැදිලිව කිව්වා මේ ව්‍යවස්ථා ප්‍රශ්නයේ දී ජවිපෙ ක්‍රියාකරන්නේ භාර්යාවගේ කාර්යබාර්ය නම් ඒකාබද්ධය කරන්නේ අනියම් භාර්යගේ කාර්ය බව. අතරමැද සමාදානයකින් නොවන ඕනෑම සටනක් ජයග්‍රහණය කළ හැක්කේ එය බිම්මට්ටමේ මහජන ව්‍යාපාරයක් බවට පත් කිරීමෙන්. ව්‍යවස්ථාව පරද්දන්න අවශ්‍යම නම් ව්‍යවස්ථාවට වඩා අඩු වටිනාකමක් තිබෙන සයිටම් විරෝධී අරගලයෙන්වත් පාඩම් ඉගෙන ගත යුතුව තිබුණා. භික්ෂු විරෝධය හමුවේ අද ව්‍යවස්ථාව ක්‍රියාවලිය අඩියකින් හෝ ආපස්සට ගැනීමට ආණ්ඩුවට සිදු වී තිබෙනවා. එය පැහැදිලිවම ජාතික ව්‍යාපාරවලට සම්බන්ධ ගිහි පැවිදි සිවිල් ක්‍රියාකාරීන්ගේ කැපවීමෙන් ලද ජයක්.මහ සගරුවනට ඇරෙන්න ඒකට දේශපාලකයන්ට උරුමකම් කියන්න බෑ. එහෙත් අවශ්‍යම මොහොතවල රටපවා හැර ගිය දේශපාලකයන් පාමුළ ආතුරව , නිදහස් මනස අහිමිකරගෙන ඇදහිල්ලක වෙසෙන මහින්ද පතිරණ පවා අභයතිස්ස හිමියන්ගේ මහන්සිය අර දේශපාලකයාට බැර කරන්න නිර්ලජ්ජිත පොස්ට් ලියනු දුටුවා පමණක් නොව මහින්ද කදවුරේ දේශපාලනයට මෙතුවක් දරදිය ඇදපු අභයතිස්ස හිමියන්ට සියුම් විවේචනයක් ද එල්ල කරනු දුටුවා. මහින්ද පතිරණ තේරුම් ගන්න ඕන දේ තමයි අභයතිස්ස හාමුදුරුවෝ සහ තමන් වෘත්තීයෙන් විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ වුණාට උන්වහන්සේගේ ජාතික දේශපාලනය හැමවිටම ඇත්තේ ඔය වගේ අන්තේවාසික වන්දිබට්ට දේශපාලනයට වඩා උඩින් බව.

රත්තනදෙණියේ මේධානන්ද හිමි

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12339595
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12363656
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9838618
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9744030
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9570855
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'