Logo

රටේ ආර්ථිකය ගසාගෙන කෑම-අජිත් නිවාඩ් කබ්රාල්



විවිධාකාරයෙන් මතුවූ දේශපාලන කතිකාවත් නිසා රටේ ආර්ථික කාරණා යටපත් වුණි. එහෙත් රටේ වැදගත්ම අංශය වන ආර්ථිකය නොයෙක් තර්ජනවලට මුහුණ දෙමින් පවතින ආකාරය පැහැදිලිවම පෙනෙන්නට තිබේ.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ජනතාවට ජීවත්වීමට අපහසු ආර්ථික වටපිටාවක් නිර්මාණය වී තිබේ. ආර්ථිකයේ වර්ධනය සම්බන්ධයෙන් පසුගිය කාලයේ නොයෙක් කරුණු ඉදිරිපත් කළද මේ වනවිට ඒවා එකින් එක බිඳ වැටෙමින් පවතින ආකාරයක්ද දැකගත හැකිය.

ආර්ථිකයේ වර්ධන වේගය අඩාල වන බව මා ප්‍රකාශ කළේ මීට වසර දෙකකට පෙරදීය. ඒ කාලය වනවිට එකී ලක්ෂණ පැහැදිලිව පෙන්නුම් කළේය. ආයෝජන අඩුවුණි. උද්ධමනය වැඩිවීමේ ලකුණු තිබුණි. පොලී අනුපාත වැඩිකර ගත්තේය. ආයෝජකයන්ට දොස් පවරා ඔවුන් අධෛර්යමත් කළේය. දේශීය ආයෝජකයන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඔවුන් අපහසුතාවට පත් කළේය. විදේශීය ආයෝජකයන්ද අධෛර්යමත් වන ආකාරයේ වැඩපිළිවෙළක් දියත් කෙරුණි.

මහා පරිමාණ ව්‍යාපෘති නතර කළේය. පැහැදිලිවම ආර්ථිකය අඩාල වන බව මේ ලක්ෂණවලින් පෙන්නුම් කළේය. අද වනවිට එය සිදුව තිබේ. මේ ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙත දෙස බලන විට මෙය පුදුමයට කාරණයක් ද නොවේ. තවත් ටික කලකින් තවත් අමාරුවේ වැටෙන බවද පැහැදිලිය.

වත්මන් පාලකයන්ට ආර්ථිකය දියුණු කිරීමට නොහැකි බව පෙන්නුම් කර තිබේ. ඒ සමඟම සෑම අංශයකින්ම කළ හැකි සෑම වැරැද්දක්ම කරන ආකාරයක්ද හඳුනා ගන්නට පුළුවන. හොරකම, වංචාව, දූෂණය ආදියේද සීමාවක් නැත. මෙලෙසම ඉදිරියට ගියහොත් ආර්ථිකයට එල්ල වන්නේ බරපතළ පහරකි. යළි ගොඩනැගීමට නොහැකි තත්ත්වයට පත්වීමටද පුළුවන.

මෙවන් තැනකට ආර්ථිකය තල්ලු වීමට බලපා ඇත්තේ කුමන කරුණුද? ආර්ථිකයට දරාගත නොහැකි ආකාරයට රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමුවේය. ආයෝජකයන් එලවා ගත්තේය. කෘත්‍රිම ලෙස පොලී අනුපාත ඉහළ නංවා ගත්තේ හොරකම් කිරීමටය. බැඳුම්කර මගඩිය එයට එක් උදාහරණයකි. රුපියලේ අගය වේගයෙන් අවප්‍රමාණය වනවිට රටේ තිබූ සංචිත විනාශ කර ගත්තේය.

එසේ කරද්දීත් වසරකදී රුපියලේ අගය දැවැන්ත ලෙස සියයට දහයකින් පමණ අවප්‍රමාණය වුණි. මේ සමඟම මුදල් ඇමැතිත්, අගමැතිත් ලෝකයට කීවේ කුමක්ද? මුදල් අමාත්‍යාංශයේත්, මහ බැංකුවේත් හොරු සිටින බවය. මෙවන් ප්‍රකාශ කරන විට ලෝකයේ සිටින ආයෝජකයන් පැමිණෙන්නේ නැත. මෙරට බැඳුම්කරවල ඇමෙරිකන් ඩොලර් බිලියන 3.4ක් ආයෝජනය කර තිබුණි. එය ඇමෙරිකන් ඩොලර් බිලියන 1.7ට අඩුවුණි. එසේ අඩුවූයේ විදෙස් ආයෝජකයන් මුදල් ආපසු රැගෙන යාම නිසාය. ආයෝජන නතර කෙරෙන පියවර රාශියකට ආණ්ඩුව යොමුවුණි. මේ සියලු කාරණාවල ප්‍රතිඵල අද වනවිට තදින් දැනෙමින් තිබේ.

දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් රටේ ණය තිබුණේ සියයට 70ටය. මේ වනවිට එය සියයට 90 දක්වා වැඩි වෙමින් තිබේ. සීමාවකින් තොරව පිටරටවලින් ණය ලබාගෙන තිබේ. එම මුදල්වලින් කරපු දෙයක් දක්නට නැත. මේ ආණ්ඩුව පමණක් බිලියන 3000ක ණය ලබාගෙන තිබේ. ඒ අනුව 2015දී බිලියන 7400 ක්වූ ණය මේ වනවිට බිලියන 10,400 ක් වී තිබේ. රටේ ණය ගෙවූ බව ආණ්ඩු කරන ප්‍රසිද්ධ ප්‍රකාශයකි. එසේ ගෙව්වා නම් රටේ ණය අඩුවිය යුතුය. එහෙත් එවැනි අඩුවීමක් නම් පෙනෙන්නට නැත.

ලබන අප්‍රේල් මාසයේ සිට දැවැන්ත ලෙස බදු වැඩි කිරීමට නියමිතය. එවිට ආයෝජන තවත් අඩුවනු ඇත. සාමාන්‍ය ජනතාව පිට පැටවෙන බර කිහිප ගුණයකින් ඉහළ යාමට එය හේතුවන බවද ඉතාම පැහැදිලිය. මේ ආකාරයට රටත් ආර්ථිකයත් ගෙන යන්නේ කොතැනට දැයි සිතාගත නොහැක.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශීඝ්‍රයෙන් පිරිහීම ආර්ථිකය තුළ මෑතක සිදුවූ සුවිශේෂම සිද්ධියයි. ඉතිහාසගත ලෙස මේ පිරිහීම සිදුව තිබේ. රටට ගලා එන මුදල් ප්‍රමාණය සහ රටින් පිටවන මුදල් ප්‍රමාණය මෙයට බලපාන ප්‍රධාන හේතු දෙකය. රටට ගලා එන්නේ ණය පමණක්ම නම් හෝ වැඩි කොටස ණය පමණක්ම නම් රුපියලේ පැවැත්ම කෘත්‍රිම වනු ඇත. රුපියල ශක්තිමත්ව තබා ගැනීමට තිබූ සාධක සියල්ල විනාශකර දමා තිබේ.

විදෙස් ලැබීම්ද මේ වනවිට අඩුවී ගොසිනි. විදෙස් ලැබීම් අඩුවීමේ ලකුණු අපේ කාලයේද තිබුණි. එහෙත් එසේ අඩු නොවීමට අපි කටයුතු කළෙමු. අද මේ අය කරන්නේ විවිධ හේතු ජනතාවට කීමය. ජනතාවට එම හේතුවලින් වැඩක් නැත. ජනතාවට අවශ්‍ය පවතින ප්‍රශ්නවලට විසඳුම්ය. රුපියලේ අගය රැකගැනීමටද කිසිදු ස්ථාවර ප්‍රතිපත්තියක් නැත. ප්‍රකාශ වන්නේද එකිනෙකට පරස්පර අදහස්ය. මේ පසුබිම යටතේ කිසිවකුටත් පැහැදිලි පදනමක් නැත. සෑම දෙයකටම දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවෙමින් තිබේ. මෙවන් තත්ත්වයක් යටතේ රටේ පාලන තන්ත්‍රය නාය යාමකට ලක්ව තිබේ. රුපියලේ අගය කඩා වැටීම එහි එක් ලක්ෂණයකි. මේ තත්ත්වයෙන්  ගැලවීමේ මඟක් වත්මන් පාලන රටාව තුළ දකින්නට ලැබෙන්නේ නැත.

එහෙත් උද්ධමනය ආදී කාරණා පාලනය වී තිබේ යැයි යම් කෙනකු කියන්නට පුළුවන. උද්ධමනය මේ වනවිට සියයට පහක පමණ අගයක පැවතියත් පසුගිය මාස දෙක තුනේදී සියයට අට දක්වා වැඩිවූ බවද අමතක නොකළ යුතුය. 2014 වන තෙක් උද්ධමනය පැවැතියේ සියයට 1, 2, 3 ආදී අගයකය. සියයට තුනට තිබූ උද්ධමනය සියයට අටට වැඩි වී තිබේ. තනි ඉලක්කමක උද්ධමනයක් ඇති බව කිව්වද තිබූ තත්ත්වය සමඟ සසඳන විට විශාල වෙනසක් දැකගන්නට පුළුවන. ජනතාවට ජීවන බර දැඩිව දැනෙන්නේ ඒ නිසාය. ජීවත්වීමට අපහසු යැයි කියන්නේ මේ කාරණය නිසාය. උද්ධමනය යම් ආකාරයකට පාලනය වී තිබෙන ස්වභාවයක් ඉලක්කම්වලින් පෙන්නුම් කළද සිදුව තිබෙන්නේ එයට හාත්පසින්ම වෙනස් දෙයකි.

වසර 2014 අග වනවිට තිබූ සියලු පොලී අනුපාත තිබුණේ තනි ඉලක්කමකය. සියලු පොලී අනුපාත සෑහෙන අඩු මට්ටමකට පැමිණ තිබුණි. ණය පොලී අනුපාත පැවතියේ සියයට 10, 11, 12 ආදී ප්‍රතිශතවලය. අද ඒ ප්‍රතිශතවලට ණය ලබාගත නොහැක. මෙය බරපතළ කාරණයක් වී තිබේ. නව ව්‍යාපාර ආරම්භ කිරීමට හෝ වෙනත් කටයුත්තකට ණය ගැනීම අද ප්‍රශ්නයකි. එය ආර්ථික දියුණුවට බාධකයකි. ආර්ථික වශයෙන් අමාරු යුගයකට පිවිස එහි හිරවී සිටින බව මේවායෙන් පෙන්නුම් කරනු ඇත.

ආර්ථිකයට දැවැන්ත ශක්තියක් වන ආයෝජන බරපතළ කඩා වැටීමකට ලක්ව තිබේ. 2015 මුල දී මහ බැංකුවේ ඉදිරි දැක්ම දෙස බලන විට 2018 වනවිට ආයෝජන ඉලක්කය වූයේ ඇමෙරිකන් ඩොලර් මිලියන 4000කි. 2014 දී මේ අගය පැවතියේ ඩොලර් මිලියන 1700ක් පමණය. මෙය වසරින් වසර වැඩිකර ගනිමින් ඩොලර් මිලියන 4000ක් කරගැනීමට ඇස්තමේන්තු කර තිබුණි. එහෙත් සිදුවූයේ කුමක්ද? වසර 2015දී ඇමෙරිකන් ඩොලර් මිලියන 1700ක් වූ ආයෝජන ඩොලර් මිලියන හය සියයකට පමණ කඩා වැටුණි.

ඉන්පසු මෙය වසරින් වසර අඩුවුණි. මේ වසරේදී ඩොලර් මිලියන 1600 ක විදෙස් ආයෝජන ලැබෙන බව රජයේ තක්සේරුව වී තිබේ. එහෙත් දැනට තිබෙන තොරතුරු අනුව අලුත් ආයෝජන වශයෙන් ඇත්තේ මෙයින් ඩොලර් මිලියන 17කි. අනෙක් ඒවා පැරැණි ව්‍යාපෘතිවලට ගලා එන මුදල්ය.

මේ ආකාරයට රටක ආර්ථිකයක් දුවන්නේ කෙසේද? ආර්ථික වර්ධනයක් ඇතිවන්නේ කෙසේද? රටේ ඉදිරි දැක්ම සුබදායීවන්නේ කෙසේදැයි ප්‍රශ්නයකි. මෙතරම් බරපතළ ආර්ථික ප්‍රශ්නයක් රටේ තිබෙන විට ආණ්ඩුවේ වගකීමවන්නේ ඒවාට විසඳුම් ලබාදීමය. ජනතාව රජයට වගකීමක් ලබාදී තිබේ. එහෙත් එම වගකීම පසෙක තබා ආණ්ඩුව කරන්නේ කිසිඳු ඵලක් නැති කතා ජනතාවට කීමය. විවිධ පාර්ශ්වවලට චෝදනා අවලාද නැඟීමය. මෙයින් රටේ ප්‍රශ්නය විසඳෙන්නේ නැත.

ආයෝජන නැති නම් කළ යුත්තේ ආයෝජන සොයා ගැනීමය. සිංගප්පූරුවට ගොස් සමුළු පැවැත්වීමෙන් ආයෝජන ලැබෙන්නේ නැත. මහ බැංකුවේ මහා කොල්ලය ලෝකයම දන්නා කරුණකි. එහි ප්‍රධානියකු සිටින්නේද සිංගප්පූරුවේය. ඒ රටට ගොස් ආයෝජකයන්ට ආරාධනා කළවිට ඔවුන් මේ රටට පැමිණේවි දැයි ප්‍රශ්නයකි. සිංගප්පූරුවේ පැවැති ආයෝජක සමුළුවෙන් පසු මෙරට කොටස් වෙළෙඳපොළ එක් ඒකකයකින්වත් වැඩිවූයේ නැත. මේවායේ සාර්ථකත්වය කොතරම්ද යන්න එයින්ම පැහැදිලි වනු ඇත.

ආයෝජන දිරි ගැන්වීමට විවිධාකාර වැඩසටහන්, සහන අපි එදා ක්‍රියාත්මක කළෙමු. ඒවායේ ප්‍රතිඵල නොඅඩුව රටට ලැබුණි. අදත් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු පෙනේ. එහෙත් ආයෝජකයන් එන්නේ නැත. කුණු කොල්ලයට රාජ්‍ය සම්පත් විකුණනවා යැයි කීවද ඒවා ගන්නටද කිසිවකු නැත. චීන සමාගමක් හම්බන්තොට වරාය ගත් බව සැබෑවකි. එහෙත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට තවමත් ආයෝජකයකු සොයා ගැනීමට නොහැකි වී තිබේ. ඒ මේ රට පිළිබඳ ආයෝජකයන්ට විශ්වාසයක් නැතිවීම නිසාය. මගඩි, වංචා, දූෂණ සංඛ්‍යා දත්ත සමඟම හෙළිවෙමින් තිබේ. මේවා දකින කිසිවකු ආයෝජනයට එන්නේ නැත. ඇස්බැන්දුම් දැමීමෙන් වන්නේ තිබෙන තුට්ටු දෙකත් නැතිවීම පමණි.

ලංකාවේ පවත්නා ආර්ථික වාතාවරණය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් හරහාද අවබෝධ කරගත හැකිය. ජාත්‍යන්තරව කෙරෙන ශ්‍රේණිගත කිරීම් රාශියකි. නීතියේ ආධිපත්‍යය, ව්‍යාපාර කිරීමේ පහසුතාව, තරගකාරීත්වය, මානව සම්පත් සංවර්ධනය, දූෂණය යනාදී අංශවලින් රටවල් ජාත්‍යන්තරව ශ්‍රේණිගත කරනු ඇත. මේවාට බලපෑම් කිරීමට කිසිවකුට නොහැක. සමස්තයක් වශයෙන් ගෙන බලන විට මේ සෑම ශ්‍රේණිගත කිරීමකින්ම පසුගිය වසර තුනේදී ලංකාව දැවැන්ත ලෙස පසුබැස තිබේ.

ඉහත සඳහන් කළ අංශවලින් දෙකක් හැරුණු විට දකුණු ආසියාවේදී අනෙක් ඒවායෙන් ලංකාව තිබුණේ පළමු තැනය. ඉතිරි අංශ දෙකේ දෙවැනි තැනට පත්ව තිබුණි. එහෙත් දැන් මේ බොහෝ දර්ශකවලින් දෙවැනි තෙවැනි හෝ හතරවැනි තැනට පත්ව තිබේ. ලෝක මට්ටමේදී සෑහෙන පසුබැස්මකට ලක්ව තිබේ.

ණය ශ්‍රේණිගත කිරීම මෙහිදී විශේෂිත කරුණකි. ජාත්‍යන්තරව කෙරෙන ණය ශ්‍රේණිගත කිරීම් තුනෙන්ම ලංකාව ඍණ මට්ටමට වැටී තිබේ. ඒ වගේම ලංකාවේ ශ්‍රේණිය එක් ඒකකයකින් හෝ අඩුවී තිබේ. අද ලංකාවේ තිබෙන ශ්‍රේණිය ශ්‍රී ලංකාව ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනය කරනවිට එරට පැවැති ශ්‍රේණියට වඩා ශ්‍රේණි හතරක් පහළින් ලංකාව සිටින බවද පෙන්නා දිය යුතුය. අද අප සිටින්නේ එවැනි තත්ත්වයකය.

මේ පිරිහීම තව තවත් වර්ධනය වනු ඇත. රට ආර්ථික වශයෙන් මුහුණදී සිටින්නේ ඛේදවාචකයකටය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතනද එම අදහස ඉදිරිපත් කර තිබේ. එහෙත් ඒවා අවධානයට ගෙන කටයුතු කරන්නට කෙනෙක් නැත.

කළු සල්ලි සුදු කිරීම සම්බන්ධයෙන් ලංකාව අසාදු ලේඛන ගතකර තිබේ. ඒ අනුව ලංකාව සමඟ සිටින අනෙක් සගයන් වන්නේ ඉරාකය, උතුරු කොරියාව ආදී රටවල්ය. මේ ආකාරයට රටක් සංවර්ධනය කරන්නේ කෙසේ දැයි බරපතළ ප්‍රශ්නයකි.

අති දැවැන්ත කළමනාකරණ ප්‍රශ්නයක් රටේ තිබේ. ඉහත කරුණු සියල්ලෙන් පෙන්නුම් කරන්නේ එයයි. අද මේ ආණ්ඩුවේ නැත්තේ කවුද? රාජපක්ෂවරුන් සහ නිලධාරීන් කීපදෙනෙකු පමණි. සියලුදෙනා ආණ්ඩුවේ සිටින්නේ නම් මේ තත්ත්වය ඇතිකර තිබෙන්නේ ඒ අයම බව පැහැදිලිය. එදා රට ඉදිරියට ගෙනයාමට රට සංවර්ධනය කිරීමට වගකිව යුත්තේ කවුරුන්ද යන්නත් මෙයින් අනාවරණය වනු ඇත.

සමාජජාල නවත්වා ජනතාවගේ කට වසා ප්‍රශ්න විසඳිය නොහැකි බව ආණ්ඩුව වටහාගත යුතුය. ඒවායෙන් රටට වූයේ දැවැන්ත පාඩුවක් බව අමතක නොකළ යුතුය.

විශාල ගංවතුරක් පැමිණි විට විශාල විනාශයක් වන බව අපි දනිමු. එහෙත් එම ගංවතුර නවතින්නේ කොතැනකින් දැයි කීමට නොහැක. අද මෙරට ආර්ථිකයට සිදුව ඇත්තේද එවැනි දෙයකි. එහි ප්‍රතිඵල තවත් කෙටි කලකින් අත්විඳීමට සිදුවනු ඇත.

සටහන
චමින්ද මුණසිංහ

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 98856
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 100792
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 102599
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 141386

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 228386
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14697386
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14537010
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12112743
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11984219
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11800779
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'