Logo
2019 ජූලි මස 22 වැනි සඳුදා

සභාග ආණ්ඩු කතා නිමය - මහින්ද එක්ක බෑ ශ‍්‍රීලනිප 20ක් විරුද්ද වේ



ජාතික ආණ්ඩුවෙන් ඉවත් නොවිය යුතු බවට ආණ්ඩුවේ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේම පිරිසක් පක්‍ෂ අභ්‍යන්තරයේ ඇති කරගෙන යන මතවාදයන් හේතුවෙන් සභාග ආණ්ඩු යෝජනාව බිඳ වැටෙන ලකුණු පහළ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ශ‍්‍රීලනිපයේ මැති ඇමැතිවරුන්ගෙන් කොටසක් ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට යෝජනා කරන නමුත් තවත් මැති ඇමැතිවරු 20 ක් පමණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ එකතුව සභාග ආණ්ඩු හදනවාට විරෝධය පළ කිරීම නිසා මෙම තත්ත්වය උදා වී තිබේ.

සභාග ආණ්ඩුවට එරෙහි පිරිස වත්මන් ආණ්ඩුව වසර 2020 අගෝස්තු දක්වා පවත්වාගෙන යා යුතු බවත් සඳහන් කරයි.

සභාග ආණ්ඩුවට සහාය දක්වන පිරිස සමඟ ශ‍්‍රීලනිපයෙන් විපක්‍ෂයේ අසුන්ගත් 16 දෙනා ද සිටින අතර ශ‍්‍රීලනිපය හැකි ඉක්මනින් ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ඔවුන් ජනාධිපතිවරයාට කරුණු දක්වා තිබේ.

ලබන 16 වැනිදා පැවැත්වීමට නියමිත පක්‍ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව තවදුරටත් කරුණු දැක්වීමට එම පිරිස සූදානමින් සිටින බවත් ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයකු පැවසීය.

සභාග ආණ්ඩුව සම්බන්ධයෙන් ශ‍්‍රීලනිපය තීන්දුවක් ගන්නා තෙක් ඒ පිළිබඳව සාකච්ඡා නොකිරීමට ඒකාබද්ධ විපක්‍ෂය පසුගියදා තීරණය කරනු ලැබුවත් මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ එකතු වීමට අකමැත්තක් දරන ඉහත මන්ත‍්‍රීවරුන් නිසා ශ‍්‍රීලනිපයෙන් එම යෝජනාව ඉදිරිපත් නොවනු ඇති බවත් වාර්තා වේ.

– divaina






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'