Logo
2019 ජූලි මස 16 වැනි අඟහරුවාදා

ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත්ට ඇප- සියළුදෙනාගෙන් සමාව ඉල්ලයි



බොරැල්ල පොලිස් වසම තුළ සිදු වූ රිය අනතුරක්  සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර සිටි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මහතා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එමෙන්ම සැකකාර කරුණාරත්න මහතාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

එමෙන්ම සැකකරු ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කර සිටියේය.

මෙම පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේදී  බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ නිලධාරියා අධිකරණයට දන්වා සිටියේ බොරැල්ල පොලිස් වසම තුළ සිදු වූ  රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවත් පසුව ඔහු සම්බන්ධයෙන් සිදුකළ ස්වසන පරීක්ෂණයේ දී ඔහු බීමත්ව සිටි බවට තොරතුරු අනාවරණය වූ බවත් කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම පැමිණිල්ල ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍යතාවක් නොමැති බව පැමිණිලිකරු විසින් පොලිසියට ප්‍රකාශයක් ලබාදී ඇති බවද බොරැල්ල පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඉදිරියේ දී කරුණු වාර්තා කරන බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

අනතුරට පත් පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුනිල් වටගල මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම පැමිණිල්ල සමථයට පත්කර ගැනීමට තම සේවාදායකයා කැමැත්ත පළ කරන බවයි.

සැකකාර කරුණාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කරුණු දක්වමින් මෙම අනතුර සිදුවූ අවස්ථාවේදී ම සැකකරු විසින් ගිලන් රථයකින් තුවාලකරු රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් කළේය.

මෙම වරද සම්බන්ධයෙන් ඔහු පශ්චාත්තාප වන බවත් පැමිණිලිකරුගේ ත්‍රිරෝද රථයට යම් අලාභයක් සිදුවී තිබේ නම් ඒ වෙනුවට අලුතින් ත්‍රිරෝද රථයක් ලබාදීමට සැකකරු එකඟ බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

කෙසේ වෙතත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සමථයකට පත් කරගැනීමට සැකකරු අපේක්ෂා කරන බවයි.

අනතුරුව පැමිණිල්ල මැයි මස 02 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට මෙම කටයුතු වල ඉදිරියේ ප්‍රගතිය වාර්තා කරන මෙන් බොරැල්ල පොලීසියට නියම කළේය.

 

 







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'