Logo
2019 අගොස්තු මස 19 වැනි සඳුදා

දකුණේ පාතාලයට පාකිස්තානයේ සිට මුහුදු මාර්ගයෙන් ආයුධ තොගයක් ඇවිත්



දකුණේ පාතාල කිරුළ කොස්ගොඩ සුජීට ලබා ගැනීම සඳහා සිදු කිරීමට නියමිත ඝාතන රැල්ලක් වෙනුවෙන් යොදා ගැනීමට ආර්. පී. ජී. අවි 2ක්, ටී 56 ගිනි අවි 10 ක් සහ රිවෝල්වර 10 ක් පසුගිය දිනවල පාකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ දකුණේ පාතාලය අතට පත්ව තිබේ.
 
 මේ වන විට ඩුබායිහි රැඳී සිටින කොස්ගොඩ සුජී, මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන කිරුළපනේ මොරිල්ගේ සහායෙන් මෙම අවි තොගය පාකිස්තානු කුඩු ඒජන්තයන්ගේ මාර්ගයෙන් මෙරටට එවා තිබෙන බවද බුද්ධි අංශ වෙත වාර්තා වී ඇත.
 
 මෙම ඝාතන රැල්ලේ ප‍්‍රධාන ඉලක්කය බවට පත්ව සිටින්නේ දැනට කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායක කොස්ගොඩ තාරක බවද අනාවරණය වී ඇත.
 
 මොරිල් සහ කොස්ගොඩ සුජී සමග පාකිස්තානයේ රැඳී සිටි මයිකල් නමැති පාතාල සාමාජිකයකු මීට සති කිහිපයකට පෙර හදිසියේම මෙරටට පැමිණ ඇති අතර අදාළ අවි තොගය මුලින්ම ලැබී ඇත්තේ මයිකල් වෙත බවද සඳහන් වේ.
 
 කොස්ගොඩ තාරක ඇතුළු ගෝලබාලයන් ඝාතනය කිරීමෙන් පසුව දකුණේ පාතාලයේ ගෝඞ් ෆාදර් වීම කොස්ගොඩ සුජීගේ ඉලක්කය වී තිබේ. එම මෙහෙයුම වෙනුවෙන් මේ වන විට රත්ගම පොඩි ලැසී, සනා, රාජු, සුද්දා, සහ මතුගම ෂාන් ඇතුළු පාතාල ප‍්‍රබලයන් මෙහෙයවන පාතාල කල්ලි හතක සහාය කොස්ගොඩ සුජීට ලැබී තිබෙන බවද පැවසේ.
 
 කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට හෝමාගම අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා කොස්ගොඩ තාරක රැගෙන ඒමේදී කොට්ටාව ගුවන් පාලම මතදී බන්ධනාගාර රථයට ප‍්‍රහාරයක් එල්ල කර තාරක ඝාතනය කිරීමට මීට දෙසතියකට පෙර මොවුන් උත්සාහ ගෙන ඇතත් පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්‍ෂක අංශ සීරුවෙන් සිටීම නිසා එම ඝාතන තැත වැළකී ගොස් ඇත.
 
 පාකිස්තානයේ සිට දකුණේ පාතාලය අතට පත්ව ඇති අවි ආයුධ අතර ආර්. පී. ජී. ගිනි අවි දෙකක් තිබෙනු ඇත්තේ යම් අවස්ථාවක බන්ධනාගාර රථයකට මොවුන් එල්ල කිරීමට සැලසුම් කර ඇති බිහිසුණු ප‍්‍රහාරයක් සඳහා බවද ආරක්‍ෂක අංශ සැක කරයි.
 
 මෙම ගිනි අවි තොගය සොයා ගැනීම සඳහා මේ වන විට පුළුල් මෙහෙයුමක් දියත්ව තිබේ.
  






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'