Logo
2019 සැප්තැම්බර් මස 16 වැනි සඳුදා

හම්බන්තොට සියලූම පෝස්ටර් ඉවත් කරන්න පොහොට්ටුවෙන් තීරණයක්



පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයක් සිදුකිරීමේ අරමුණින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදර්ශනය කර ඇති සියලූම දේශපාලන පක්ෂවලට අයත් පොලිතින් සහ ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත කටවුට් සහ පෝස්ටර් ඉවත් කිරීම අද(19) ආරම්භ කෙරිණි. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ බව ඊයේ(18) තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී දැනුම් දුන්නේය.

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක, දකුණු පළාත් සභාවේ පොදුජන පෙරමුණෙහි හිටපු මන්ත්‍රීවරු සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලූම සභාවල පොදුජන පෙරමුණෙහි කණ්ඩායම් නායකවරු මෙම සාකච්ඡාවට එක්වූහ.

පරිසරයට හානියක් සිදුනොවන ආකාරයට මැතිවරණය සිදුකළ යුතු බවද රජයේ මුදල් කෝටි ගණන් මැතිවරණ ව්‍යාපාරවලදී පෝස්ටර් සහ කටවුට්වලට වියදම් කර ඇති බවද ඉදිරියේදී එසේ සිදු නොකළ යුතු බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණට බලය හිමි සියලුම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශව ප්‍රදර්ශනය කර ඇති සියලූම දේශපාලන පක්ෂවලට අයත් පොලිතින් සහ ප්ලාස්ටික්වලින් නිශ්පාදිත කටවුට්, පෝස්ටර් ඉවත් කිරීමට කටයුතු කරන බව සභාපතිවරු එහිදී පැවසූහ. 

ඒ අනුව බෙලිඅත්ත, අම්බලන්තොට සහ වීරකැටිය නගරවල අද දිනයේදී එම කටවුට් සහ පෝස්ටර ඉවත් කිරීමට නියමිතව තිබිණි. 

අනෙකුත් ප්‍රදේශවලත් ප්‍රදර්ශනය කර ඇති කටවුට් පෝස්ටර ඉවත් කරන ලෙස නාමල් රාජපක්ෂ මහතා අනෙක් දේශපාලන පක්ෂවලින්ද ඉල්ලීමක් කර ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'