Logo
2019 ඔක්තෝම්බර් මස 19 වැනි සෙනසුරාදා

ගොවි ණය සියල්ල කපා හරිනවා-ගෝඨාභය



සියලු ගොවි ජනතාවට තම රජයක් යටතේ නොමිලේ පොහොර සහනාධාරය ලබා දෙන බවත්, සියලු වගා ණය කපා හරින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද අනුරාධපුරයේ දී සිය මංගල ජනරැලිය අමතමින් සඳහන් කළේය.

එසේම අසාධාරණ අයුරින් සිරගත කර සිටින සියලු රණවිරුවන්ට තමා ජනාධිපති ධුරයට පත් වූ දිනම නිදහස ලබා දෙන බවද ඒ මහතා අවධාරණය කර සිටියේය.

‘‘සාර්ථක දැක්මක් වැඩකරන රටක්‘‘  යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය සඳහා පවත්වනු ලබන ජන රැළි මාලාවේ සමාරම්භක ජනරැළිය අද පස්වරුවේදී පැවැත්වුණේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදීයි.

ඊට විශාල ජනකායක් මෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්ද එක්ව සිටියේය.

රැළිය පැවැත්වෙන අතරතුරදී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සල්ගාදු පිටිය වෙත පැමිණි අතර එහිදී ඔහුට පැමිණ සිටි පිරිසගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමක්.

ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක හා වීරකුමාර දිසානායක යන මහත්වරුන්ද වේදිකාවට එක්වුණි. 

ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ආමි කාරයා, මිලිටරි කාරයා, නේවි කාරයා ලෙස ත්‍රිවිධ හමුදාව ඇමතු යුගය අවසන් කර 2015 දී රණවිරුවාට අභිමානයක් ඇති කර දීමට හැකියාව ලැබුණු බවයි.

එසේ අභිමානයක් ලබා දුන් රණවිරුවා යුධ අධිකරණයට ගෙනයාමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ බවත් ගෝඨාභය මහතා පවසයි.

නිදහසින් පසු මේ රටේ ගොවියාට ඉහළම වටිනාකමක් හා ආදායමක් ලබා දුන් යුගය මහින්ද රාජපක්ෂ යුගය බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'