Logo
2019 නොවැම්බර් මස 14 වැනි බ්‍රහස්පතින්දා

දෑත් පිරිසිදුයි කියන සජිත්ගේ පැටිකිරිය ජනපතිගේ අතේ-එළියට දමන ලෙස ගම්මන්පිල ඉල්ලයි



ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාව වැරදිකරුවෙකු ලෙස නම්කර ඇති , වත්මන් ආණ්ඩුවේ දුෂණ විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමුකරමින්.

වත්මන් ආණ්ඩුවේ වංචා සහ දූෂණ සෙවිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරනු ලැබුවේය.

එහි වාර්තාව පසුගිය සැප්තැම්බර් 27 වැනිදා ජනාධිපතිවරයා වෙත භාර දී ඇතැයි සඳහන් කරන පාර්ලිමේන්තු උදය ගම්මන්පිල මහතා සිය ලිපිය මගින් අනාවරණ කර ඇත්තේ එහි පිටපතක් තමාටද ලැබී ඇති බවයි.

එම ලිපියේ මෙසේ සඳහන්ව ඇත.

"එකී වාර්තාවේ අවසන් වෙළුමේ පළමු කාණ්ඩයේ පිටු 186 සිට203 දක්වා දැක්වෙන පරිදි සජිත් ප්‍රේමදාස ඇමතිතුමා විසින් නීති විරෝධීව පුද්ගලයින් 1,117 දෙනෙකු නිවාස සංවර්ධන අධිකාරියට බඳවා ගැනීමෙන් ද , වසය අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් 30 දෙනෙකුට සේවා දිගු ලබා දීමෙන්ද මහජන මුදල් රුපියල් කෝටි 65 ක් හෙවත් රු. 641,870,136 ක් (හැටහතර කෝටි දහඅට ලක්ෂ හැත්තෑ දහස් එකසිය තිස් හයක) අවභාවිතා කර ඇති බව කොම්සමේ නිගමනයයි. 

එසේ බඳවා ගත් පුද්ගලයින්ගෙන් 95% ක්ම එතුමාගේ මැතිවරණ දිස්ත්‍රික්කය වන හම්බන්තොටින් බඳවාගෙන ඇති බවද කොමිසම නිරික්ෂණය කර ඇත. එබැවින් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමාට එරෙහිව 1954 අංක 11 දරණ අල්ලස් පනතේ 70 වන වගන්තිය නඩු පැවරිය යුතු බව කොමිසම නිර්දේශ කර  ඇත."

උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා සිය ලිපියෙන් වැඩිදුරටත් පවසන්නේ ජනාධිපති කොමිසෂන් සභාවේ තීරණයට අනුව සජිත් ප්‍රේමදාස මහතා ද දුෂිතයෙකු බවයි.

එබැවින් ජනාධිපතිවරණයට පෙර ජනාධිපති කොමිසම විසින් සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් දක්වා ඇති නිරික්ෂණ , නිගමන සහ නිර්දේශ දැන ගැනීම ජනාධිපතිවරණයේ දි ජනතාවට තීරණාත්මක වනු ඇති බවත් ගම්මන්පිල මහතා පෙන්වා දෙයි.

ඒ අනුව දූෂණ වංචා පිළිබඳව සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ වාර්තාව ප්‍රසිද්ධ කරන මෙන් ඒ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'