Logo
2019 නොවැම්බර් මස 18 වැනි සඳුදා

නලින්ද සිල්වා 75 සමරයි



නිදහස් ශ්‍රී ලංකාවේ පැවැත්ම අභියෝගයට ලක්වූ සෑම අවස්ථාවකම පාහේ මේ රටට,සමාජයට, මග පෙන්වීමට අකුටිලව පෙරට ආ ප්‍රමුඛතම ප්‍රාඥයා ආචාර්ය නලින් ද සිල්වා මහතායි. එතුමා මේ රටට අවශ්‍ය ගමන් මග නිවැරදිව තීරණය කළා සේම අනාගතය කල්තියා දැක ලියා තැබූවා. 1944 ඔක්තෝම්බර් 20 වන දින පානදුර, කෝවිල ගොඩැල්ලහි දී උපත ලැබූ නලින් ද සිල්වා මහතාගේ 75 වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.

ආචාර්ය නලින් ද සිල්වා මහතා ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වෙයි. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වු අතර විද්‍යා පීඨයේ පීඨාදිපති ධූරය ද ඉසුලුවේය. සිය ප්‍රාථමික අධ්‍යාපනය පානදුර වෑකඩ බෞද්ධාලෝක මහා විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය යන විද්‍යාලවලින් ලබා ගත් අතර ද්විතියික අධාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය. ඔහු 1962 දී ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර 1967 දී ගණිතය පළමු පන්තියේ ‍ගෞරව උපාධියක් සමග සමත් විය. 1970 දී සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් සෛද්ධාන්තික විශ්ව න්‍යාය විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය. එතුමා සාපේක්ෂතාවාදයෙහි සාමාන්‍ය සිද්ධාන්ත ඇසුරින්, භ්‍රමණය වන අංශුවකට ප්‍රතිවිරුද්ධව ප්‍රක්ෂේපණය කරන ලද අංශුවක්, අවසානයේදී භ්‍රමණය වන අංශුවට සමානව භ්‍රමණය වන බවට ගණිතමය වශයෙන් අනාවැකි පල කළේය. මෙය පසු කාලීනව බ්‍රිතාන්‍ය-ඇමරිකානු ගවේෂණ කණ්ඩායමක් විසින් 1980 දී සොයාගනු ලැබීය.

නලින් ද සිල්වා මහතා මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදී ලංකා සම සමාජ පක්ෂයේ සහ නව සම සමාජ පක්ෂයෙහි හිටපු සාමාජිකයෙක් වූ අතර මාක්ස්වාදියෙක් සහ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකු වශයෙන් එම දෙකෙහිම නීති හදාරමින් මාක්ස්වාදයේ සහ බටහිර විද්‍යාවෙහි පදනම පිළිබඳ දැඩිලෙස ප්‍රශ්න කිරීමට පෙළඹිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සංස්ථාපිත බටහිර දැනුමෙහි පදනම සහ ලොවපුරා එහි ආධිපත්‍යය විවේචනය කරමින් 1986 දී "මගේ ලෝකය" නමින් කෘතියක් පළ කළේය. එතුළින් තව දුරටත් ඥාන විභාගය සහ සත්භාව විචාරය පිළිබඳ හැදෑරීමකට යොමු වූ අතර එහිදී ඔහු විසින්, සංවේදන ඉන්ද්‍රියයන්ට, සංස්කෘතියට සහ මනසට සාපේක්ෂව මිනිසා විසින් දැනුම ගොඩනැගීමේ පදනම ලෙස චින්තනය නමැති සංකල්පය හඳුන්වා දී එය වැඩි දියුණූ කළේය. ගුණදාස අමරසේකර මහතා විසින් යෝජනා කළ ජාතික චින්තනයෙහි න්‍යායාත්මක සහ දාර්ශනික පදනම ඇත්තේ ආචාර්ය නලින්ද සිල්වා මහතාගේ කෘති හා ලිපි ලේඛනවලයි. බටහිර චින්තනයෙන් ඔද්දල් වුණු පඩියන්ගේ පුගුප්සාජනක ගැරහුම් හා විවේචන වලින් නොසැලි ජාතික ව්‍යාපාරයට කිසිවෙකුත් නොකළ න්‍යායික පදනමක් සකස් කරදෙනු ලැබුවේ එතුමායි. ජාතික මතවාදය වෙනුවෙන් පුවත්පත් ලිපි දහස් ගණනක් ලියමින් ශ්‍රී ලාංකීය සමාජය වෙත නිසැක බලපෑමක් එල්ල කළ ඓන්ද්‍රිය බුද්දීමතා ඔහු බවට විවාදයක් නැත. නමුත් ජාතික ව්‍යාපාරයේම සමහරු එතුමාට වැදගත් තැනක් නොදී මගහැර යාමට දරන උත්සහයක් ද පෙනෙන්නට තිබේ. ඒ තම තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රවලට අදාළව නලින් ද සිල්වා මහතා කිසිවෙකුට මෙහෙයවිය නොහැකි නිසා සහ එතුමා හමුවේ කදෝපැණියන් වීමට ඇති අකමැත්ත නිසාය. දැනට අවුරුදු 35 ක් තිස්සේ නලින්ද සිල්වා මහතා හාරා පාදා දුන් මාවත නිසි බරින් අධ්‍යනය නොකරපු කිසිවකුට එතුමා ගැන හරිහමන් තක්සේරුවක් තිබිය නොහැකි වුවත් ධර්මපාලතුමාගේ අහිමිවීමත් සමග අභාවයට ගිය බොදු පුනරුදය යළි පුනර්ජන්මයක් ලෙස ඉදිරියට ගෙනා පුරෝගාමියා වන්නේද නලින්ද සිල්වා මහතායි. එතුමාට තවත් දිගු කාලක් රැදී සිටීමට අවශ්‍ය ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබේවා..!

lරත්තනදෙණියේ මේධානන්ද හිමි

(මුලාශ්‍රය- lවිකිපීඩියා )

  •  





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'