Logo
2019 නොවැම්බර් මස 22 වැනි සිකුරාදා

රසායනික පොහොර නිකං දෙනවට මම විරුද්ධයි



රසායනික පොහොර නොමිලේ ලබාදෙන බවට ජනාධිපතිධුර අපේකෂකයින් පොරොන්දු ලබාදුන්නද රටේ ප්‍රතිපත්තිය වියයුත්තේ රසායනික පොහොර භාවිතයෙන් ඉවත්වීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අඹන නව නගරය ජනතා අයිතියට පවරාදීමේ උත්සවයට අද(07) එක්වෙමින් ජනාධිපතිවරයා මේබව සඳහන් කළේය.

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ කළු ගඟ ජලාශයේ සංචිත දිය දහර මුදා හැරිම සහ අඹන නව නගරය ජනතා අයිතියට පවරාදිම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු කෙරුණි.

මාතලේ දිස්ත්‍රික්කයට අයත් දුම්බර මිටියාවතේ, නකල්ස් කඳු වැටියේ කළුපහන ප්‍රදේශයෙන් ආරම්භ වන කළු ගඟ, ලග්ගල, පලේගම ප්‍රදේශයේදී හරස් කරමින් කළු ගඟ ජලාශය ඉදිකර තිබේ.

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ කළු ගඟ ජලාශයේ සංචිත දිය දහර මුදා හැරීමෙන් පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අඹන නව නගරයේ ඉදි වූ අඹන ප්‍රාදේශිය රෝහල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්විය.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා පවසා සිටියේ, මේ දිනවල රටේ මැතිවරණයක් පවතින වේලාවක් බවයි.

මැතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන පක්ෂ දෙකේම අපේක්ෂකයින් ජනතාවට රසායානික පොහොර නොමිලේ දෙන බවට පොරොන්දු ලබා දෙන බව තමාට ඇසුන බවද මෙහිදී ජනාධිපතිවරයා පැවසීය.

රසායනික පොහොරවලින් බැහැර වී කාබනික පොහොර කෘෂිකර්මාන්තයට පාවිච්චි කිරීමේ ප්‍රතිපත්තියකට යා යුතු බව තමාගේ දර්ශනය වන බවත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

රසායනික පොහොර භාවිතා කරන ලෝකයේ රටවල් මොනවාදැයි ප්‍රශ්න කර සිටි ජනාධිපතිවරයා, ගොවීන්ට නොමිලේ ලබා දීමට රසායානික පොහොර පිටරටින් ගෙන්වන්නේ නම් ඒ එක්කම වකුගඩු නැව්වලින් ගෙන්විය යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය, විශ්වවිද්‍යාල හා පර්යේෂණ අංශ සිදුකල පර්යේෂණවල අවසන් ප්‍රතිඵලය වන්නේ රසායනික ද්‍රව්‍ය වකුගඩු රෝගීන්ගේ ගැටළුවට බලපාන මුලික සාධකයක් බව සොයා ගෙන ඇතැයි ද පැවසු ජනපතිවරයා, ගොවියාට සහනාධාර නොමිලේ ලබා දිය යුතු වුවත් රසායානික පොහොර නොමිලේ ලබා දීමෙන් රටේ වකුගඩු රෝගීන් වැඩි වන බවත් පැවසීය.

එය කිසිසේත් සුදුසු නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

අනතුරුව ජනාධිපතිවරයා අඹන ප්‍රාදේශිය රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සමග සුහද කථා බහකද නිරත විය.

 







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'