Logo
2019 දෙසැම්බර් මස 16 වැනි සඳුදා

සුපිරිසිදු රාජ්‍ය පාලනයක් යන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අර්ථවත් කළේ වත්මන් ජනපති



රාජ්‍ය සේවයෙන් දුෂණය, වංචාව සහ අක්‍රමිකතාව පිටුදැකීමට ඝෘජු තීන්දු තීරණ රැසක් ගනිමින් සහ පැවති රජයේ මෙන්ම පවතින රජයේ ද වංචා දූෂණ සොයා බැලීමට  ජනාධිපති කොමිෂන් සභා පත් කරමින් සුපිරිසිදු රාජ්‍ය පාලනයක් යන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අර්ථවත් කළේ වත්මන් ජනාධිපතිවරයා බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා පවසයි.

පස් වසරක ජනපති මෙහෙවර වෙනුවෙන් ජනාධිපති කාර්ය මණ්ඩලයේ උපහාරය ජනාධිපතිවරයා වෙත පිළිගන්වමින් අද(14) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ පැවති වැඩසටහන අමතමින් ජනාධිපති ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

මහජන සුබසෙත උදෙසා වැඩිම ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කළ ජනාධිපතිවරයා වත්මන් ජනාධිපතිවරයා බව මෙහි දී පෙන්වා දුන් උදය ආර්. සෙනෙවිරත්න මහතා එහි ප්‍රතිලාභ අද මේ රටේ ගම් දනව් සිසාරා අහිංසක ජනතාව භූක්ති විඳිමින් සිටින බව ද කියා සිටියේ ය.

උපේක්ෂාව සහ නිහතමානිත්වය ප්‍රගුණ කළ  වත්මන් ජනාධිපතිවරයා තමා වෙත එල්ල වූ සියලු නින්දා අපහාස සහ චෝදනා උපේක්ෂාවෙන් විද දරා ගත් අතර තමන්ගේ බල තල අඩු කර ගනිමින් පමණක් නොව තම ධූර කාලය ද අඩුකර ගනිමින් එතුමා ලොව කිසිඳු රාජ්‍ය නායකයෙකු ලබා නොදුන් ආදර්ශයක් රටටත්, ලෝකයටත් ලබා දුන් බව ද පෙන්වා දුන්නේය.

ඉකුත් පස් වසර තුළ රටේ භෞතික සංවර්ධනය සේම අධ්‍යාත්මික සංවර්ධන වෙනුවෙන්  සුවිශේෂී වැඩකොටසක් ඉටුවී තිබෙන බව පෙන්වා දුන්  උදය ආර්. සෙනෙවිරත්න මහතා එහි ප්‍රතිලාභ අද දිනට වඩා මතු පරපුර වෙනුවෙන් බව ද සඳහන්  කළ අතර මෑත යුගයේ කිසිදු රාජ්‍ය නායකයෙකු සමත් නොවූ අයුරින් රටට හිතකර අන්දමින් ජාත්‍යන්තර දිනා ගැනීමට ද වත්මන් ජනාධිපතිවරයා සමත් වු බවත් එහි ප්‍රතිලාභ හෙට දිනයේ දී රට නව ඉසව්වකට රැගෙන යාමට සමත් වනු ඇති බවත් සඳහන් කළේය. 

මහජන සුබසිද්ධිය වෙනුවෙන් සුවිශේෂි සහ සාර්ථක ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවීම ඇතුළු  රට සහ ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා ඉකුත් පස් වසර පුරා ඉටු කළ කාර්යභාරය අගයමින් ජනාධිපතිවරයා වෙත උපහාර තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා අතින් සිදු විය.
 
ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'