Logo
2019 දෙසැම්බර් මස 8 වැනි ඉරිදා

නව ජනපතිගේ පාස්කු කොමිසමට කාදිනල් හිමිගේ නියෝජිතයෙක්



පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා ක්‍රියාමාර්ග ගන්නා ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අද ඉල්ලීමක් කළේය.

ඒ, ජනාධිපතිවරයා අද උන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදීයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුවක් අද පස්වරුවේ කොළඹ අගරදගුරු නිල නිවසේදී පැවැත්වුණි.

එහිදී කාදිනල් හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට ගෙන ඇති මූලික පියවරයන් අගය කර සිටියේය.

පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය ජනතාවට මේ වන තෙක් සාධාරණයක් ඉටු නොවු බවත් සිද්ධියට සම්බන්ධ බවට පැවසෙන අය පිළිබඳ විමර්ශන නිසි ආකාරයෙන් සිදු නොවන බවත් කාදිනල් හිමියන් එහිදී ප්‍රකාශ කළේය.

කුමන තරාතිරමක කුමන ආගමක කෙනෙකුට වුවද මිනිස් ජීවිතවලට හානියක් කළ නොහැකි බවත් ඔවුන්ට නිදහසේ සිටීමට ඉඩ දිය නොහැකි බවක් කාදිනල් හිමියන් ජනපති හමුවේ වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මේ පිළිබඳ විමර්ශනයට ස්වාධීන කමිටුවක් පත්කර ඉක්මනින්ම විමර්ශන කටයුතු සිදු කරන බවයි.

එමෙන්ම තමා දැනටමත් මෙවැනි සිද්ධියක් නැවත ඇති නොවීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඒ මහතා පැවසීය.

ආරක්ෂක ලේකම්වරයාට නැවත බිඳ වැටුණු බුද්ධි අංශ නඟා සිටුවීමට උපදෙස් ලබා දී ඇති බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

තමන් ආරක්ෂක ලේකම්වරයාව සිටියදී තිබුණු වැඩපිළිවෙළ නැවතත් වහාම ආරම්භ කිරීමට නව ආරක්ෂක ලේකම්වරයාට උපදෙස් දුන් බවයි ඒ මහතා තවදුරටත් පැවසුවේ.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'