Logo
2020 ජනවාරි මස 20 වැනි සඳුදා
Loading...

පිරිමි අධිකරණ වෛද්‍ය නිලධාරියා ප්‍රතික්ෂේප කල ස්විස් තානාපති නිලධාරිනියට උසාවියෙන් දොස්



පැහැරගැනීමට ලක්වූ බව කියන , ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය අද(09) පස්වරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කෙරුණි.

ඉන් පසු ඇය යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන එනු ලැබූ අතර ඇය මේ වනවිටත් ප්‍රකාශයක් ලබාදෙමින් සිටින බව අද දෙරණ වාර්තාකරු පවසයි.

පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය ඊයේ පස්වරු 2.20 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පැය නවයකට ආසන්න කාලයක් රැඳී සිටිමින් ප්‍රකාශයක් ලබාදුන්නේය.

ඒ ඇයට අද දිනට පෙර පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබූ පසුබිමකයි.

එසේම ඇයට විදෙස්ගතවීම වළක්වාලමින් වාරණ නියෝගයක්ද අධිකරණය විසින් පනවා තිබුණි.

මෙහිදී ඇයගේ නියෝජිතයෙකු බව පවසමින් මාධ්‍ය ඉදිරියට පැමිණි මංජුල පෙරේරා නමැත්තෙකු මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළේය.‍

ඔහු විසින් ලබාදුන් තොරතුරු අනුව කොළඹ බාන්ස් පෙදෙසේ පිහිටි අදාළ මහල් නිවාස සංකීර්ණය වෙතට මාධ්‍යවේදීන් රැසක් අද පැමිණ සිටියද එවැනි මාධ්‍ය හමුවක් එම ස්ථානයේ සංවිධාන කර තිබුණේ නැහැ.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළ වැඩිදුර වාර්තාවක් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදී පැහැරගැනීමට ලක්වූ බවට පැවසෙන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය වෙනුවෙන් නීතීඥ මණ්ඩලයක්ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ජනක බණ්ඩාර මහතා පැවසුවේ ඊයේ දින ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට පෙර ඇයව අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කළද ඇය කායික වෛද්‍ය පරීක්ෂණයකට යොමුවීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

එහි කාන්තා වෛද්‍ය නිලධාරිනියක් නොසිටීමේ හේතුව මත ඇය වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කළ බවත් තමාට කාන්තා වෛද්‍ය නිලධාරිනියකගේ සේවය ලබාදෙන ලෙස ඇය ඉල්ලීමක් කර ඇති බවත් රජයේ නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

එම නිසා අද පස්වරුවේ ඇයව කාන්තා වෛද්‍ය නිලධාරිනියක් හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට සඳහන් කළාය.

එම අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සඳහන් කළේ ලිංගික අපයෝජනයන්ට ලක්වන කාන්තාවන් පවා සාමාන්‍ය තත්වය යටතේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයට භාජනය කරන්නේ පිරිමි වෛද්‍යවරුන් විසින් බවයි.

එමෙන්ම ඇතැම් පළාත්වල සේවයේ නියුතුව සිටින්නේ එක් පිරිමි අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් පමණක් වන බවද මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නෝය.

මහේස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියේ මෙවැනි දේ ඉදිරියට සිදුනොවිය යුතු බවයි.

මෙහිදී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියගෙන් ප්‍රකාශ සටහන් කිරීම අවසන් වී නොමැති බැවින් ඇයගේ විදෙස් ගමන් තහනම් කරමින් ලබාදුන් නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඊට විරුද්ධත්වය දැක්වූ ගානියා ෆ්‍රැන්සිස් මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ පැවසුවේ මෙම නඩුවේ අගතියට පත් පාර්ශ්වය වන්නේ තම සේවාදායිකාව වන බැවින් ඇයට එරෙහිව විදෙස් ගමන් තහනම පැනවීම අසාධාරණ වන බවයි.

අධිකරණ නියෝගයක් ලබාදී තිබියදී ඊයේ පස්වරු 2.30 වන තෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීම සඳහා ඉදිරිපත් නොවීම පැහැරගැනීමට ලක්වූ බව පැවසෙන තැනැත්තියගේ පාර්ශ්වයෙන් සිදුවූ ප්‍රමාදයක් වන බව මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය පෙන්වාදුන් බව වාර්තා වෙයි.

එබැවින් ඇයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මූලීක ප්‍රකාශ ලබාගෙන අවසන් කරන තෙක් ඇය ශ්‍රී ලංකාවේ රැදී සිටිය යුතු බවයි මහේස්ත්‍රාත්වරිය පැවසුවේය.

එබැවින් පැහැරගැනීමට ලක්වූ තැනැත්තිය අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත අද දිනයේදී යොමුකිරීමෙන් අනතුරුව ඇය ලිංගික අපයෝජනයකට හෝ පහරදීමකට ලක්ව ඇත්දැයි පරීක්ෂා කොට ඊළඟ නඩු දිනයේදී හෝ ඊට පෙර අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළාය.

එමෙන්ම පැහැරගැනීමට ලක්වූ බව පැවසෙන කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් දේශීය වෛද්‍යවරයෙක්ගෙන් සහ විදෙස් වෛද්‍යවරියකගෙන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ලබාගත් වෛද්‍ය වාර්තාවල පිටපත්ද මෙහිදී මහේස්ත්‍රාත්වරියගේ අවධානයට ලක්වුණි.

එම වෛද්‍ය වාර්තාවලට අනුව එම තැනැත්තිය සිද්ධියෙන් අනතුරුව මානසික පීඩාකාරී තත්වයක සිටින බවට වාර්තා වීම නිසා ඇයගේ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන්ද පරීක්ෂා කොට අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝගයක් නිකුත් කළාය.

එමෙන්ම පැහැරගැනීමට ලක්වූ බව පැවසෙන තැනැත්තියට විදෙස් ගමන් තහනමක් පනවා ඇති නිසා හැකි ඉක්මනින් ඇයගෙන් ප්‍රකාශ ලබාගෙන අවසන් කරන ලෙස අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් අතර ඇය සම්බන්ධයෙන් පනවා ඇති විදෙස් ගමන් තහනම දෙසැම්බර් මස 12වනදා තෙක් දීර්ඝ කිරීමටද නියෝග කළාය.

මේ අතර සිදුකර තිබූ කැඳවීමකට අනුව ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය අද පස්වරු 1.00ට පමණ යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇයව අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට ඉදිරිපත් කරනු ලැබුවේය.

වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව යලිත් ඇයව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යනු ලැබුවේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'