Logo
2020 ජනවාරි මස 24 වැනි සිකුරාදා
Loading...

නාලක සිල්වාට අඩ වැටුප් ගෙවිය හැකිදැයි පවසන්න පොළිස් කොමිසමට නියෝගයක්



ත්‍රස්ත මර්ධන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ හා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට විමර්ශනය අවසන් වනතුරු අඩ වැටුපක් ගෙවීමට ඇති හැකියාව පිළිබඳව ලබන පෙබරවාරි මස 17 වනදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා වෙත නොතීසි නිකුත් කළ බව වාර්තා වේ.

බුවනෙක අලුවිහාරේ, මුර්දු ප්‍රනාන්දු සහ එස්.තුරෙයිරාජා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය කළ බව වාර්තා වෙයි.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය කළේ ප්‍රභූ ඝාතනයක් සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කළේ යැයි සැකපිට රහස් පොලිසිය විසින් තමන්  අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමට ගත් තීරණය නීති විරෝධී යයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද(09) කැඳවූ අවස්ථාවේදීය.

එහිදී හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දීර්ග කාලයක් රිමාන්ඩ් භාරයට පත්ව මේ වනවිට වැඩ තහනමකට ලක්ව සිටින තම සේවාදායකයා දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින හෙයින් විමර්ශන කටයුතු අවසන් වන තෙක් ඔහුට ඔහු ලැබූ වැටුපෙන් අඩක් ගෙවීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වැඩ තහනමකට ලක්ව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයාට අඩ වැටුපක් ගෙවීමට ඇති හැකියාව පිළිබඳව පෙබරවාරි මස 17 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා වෙත නොතීසි නිකුත් කළේය.

 

 

 

 





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'