Logo
2020 ජනවාරි මස 19 වැනි ඉරිදා
Loading...

නව අගමැතිගෙන් දෙමළ ජනතාවට ස්තුතිය



ශ්‍රී ලංකාව පිළිබඳ මතභේදාත්මක ප්‍රකාශයක් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කළ කොන්සර්වේටිව් පක්ෂ නායක බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විශේෂ වීඩියෝ පටයක් නිකුත් කරමින් එරට දෙමළ ජනතාවට සිය ස්තුතිය පළ කර ඇත.

ඒ තම පක්ෂයේ විශිෂ්ට ජයග්‍රහණයට ලබා දුන් සහාය වෙනුවෙන්.

දෙමළ භාෂාවේ වනක්කම් යන වචනයෙන් සිය කථාව ඇරඹූ අගමැතිවරයා පැවසුවේ ප්‍රතිසන්ධාන සහ වගවීමේ ක්‍රියාවලිය නිසි ලෙස ක්‍රියාත්මක කරමින් රට තුළ දිගුකාලීන සාමයක් පවත්වාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බවයි.

බ්‍රිතාන්‍ය මහ මැතිවරණය සඳහා පාලක කොන්සර්වේටිව් පක්ෂය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ශ්‍රී ලංකාව පිළිබඳ මතභේදාත්මක අදහසක් ඉදිරිපත් කර තිබුණි.

එහි සඳහන්ව තිබුණේ ශ්‍රී ලංකාව සඳහා රාජ්‍ය දෙකක විසඳුමකට සහාය ලබා දෙන බවයි.

ඊට මෙරට පාර්ශ්ව රැසක දැඩි විරෝධය එල්ල වුණි.

මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කොන්සර්වේටිව් පක්ෂයෙන් විමසීමක් කළේ, එවැනි ප්‍රතිපත්තියක් බ්‍රිතාන්‍ය මැතිවරණ ඉතිහාසය තුළ කිසිදු පක්ෂයක් ඉදිරිපත් කර නැති බවට චෝදනා කරමින්. 

ඊට ප්‍රතිචාර දැක්වූ කොන්සර්වේටිව් පක්ෂය, රාජ්‍ය දෙකක විසඳුම ඇතුළත් කෙරුණේ ඊශ්‍රායලය සහ පලස්තීනය සම්බන්ධයෙන් පමණක් බවත් එය ශ්‍රී ලංකාවට අදාළ නොවන බවත් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් කොන්සර්වේටිව්  පක්ෂයේ රාජ්‍ය දෙකක ප්‍රතිපත්තියට එරෙහිව ලංඩන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයින් මෙලෙස විරෝධතාවල නිරත වූයේ අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශනය හෙළා දකිමින්.

කෙසේ වෙතත් එම ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් බ්‍රිතාන්‍ය මහ මැතිවරණය විශිෂ්ට ලෙස ජයගත් කොන්සර්වේටි පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා එරට වෙසෙන ද්‍රවිඩ ජනතාවට සිය ස්තුතිය පල කළේය.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සිය කතාව ආරම්භ කළේ, දෙමළ භාෂාවේ ආයුබෝවන් ලෙස හඳුන්වන වනක්කම් නැමැති වචනය භාවිත කරමින්.  

 "වනක්කම්, මම ස්තූතිවන්ත විය යුතුයි අපේ රටේ වෙසෙන දෙමළ ප්‍රජාවට ඔවුන් මේ රට වෙනුවෙන් සිදුකළ සියලු දේට. ඒ නිසා බොහොම ස්තූතියි. 

ඒ වගේම මම කියන්න ඕන මම බලාපොරොත්තු වෙනවා අතීතයේ සිදුවූ සිදුවීම් එක්ක ශ්‍රී ලංකාව තුළ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සහ වගවීමේ ක්‍රියාවලිය නිසියාකාරව ක්‍රියාත්මක කිරීම ඔස්සේ දිගුකාලීන සාමයක් පවත්වාගැනීමට හැකිවේවි කියලා."ඔහු පැවසීය.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'