Logo
2020 ඔක්තෝම්බර් මස 26 වැනි සඳුදා

අනාගත ලොවට වැඩදායී, ආර්ථිකයට සහ සංවර්ධනයට දායක විය හැකි පුරවැසියෙකු බිහි කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය් අවශ්‍යයයි





අනාගත ලොවට වැඩදායී, ආර්ථිකයට සහ සංවර්ධනයට දායක විය හැකි පුරවැසියෙකු බිහි කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

විශ්වවිද්‍යාලය හුදෙක් උපාධි ප්‍රදානය කරන ආයතනයක් නොවිය යුතු බවත් රටට, ආර්ථිකයට මෙන්ම උපාධිලාභීයාට ද ඉන් ප්‍රතිලාභ අත්විය යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.  

ප්‍රායෝගික අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය දෙමින් නව විෂය නිර්දේශ කඩිනමින් හඳුන්වා දෙන්නැයි ජනාධිපතිවරයා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුනි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (24) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

රටට ගැළපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වසර ගණනාවකින් සිදුනොවීම වත්මන් රැකියා වෙළෙඳපොළ ගැටළුවලට හේතු වී ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

රට තුළ සහ අන්තර්ජාතිකව විවිධ ක්ෂේත්‍රවල රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් පුරප්පාඩුව පවතින බවත් එහෙත් ඊට අවශ්‍ය ශ්‍රම බලකාය අධ්‍යාපන ක්‍රමය විසින් බිහිකර නැත බවත් මෙහිදී ජනාධිපතිවරයා පැවසීය.

“රටේ අනාගත පරපුර ඵලදායී පුරවැසියන් බවට පත් කිරීමට නම් ඔවුන් නව දැනුමෙන්, කුසලතාවෙන් සහ නිපුණතාවෙන් පෝෂණය කිරීම අවශ්‍යයෙන්ම කළ යුත්තක්. තරුණ තරුණියන්ට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අතරමං වීමට ඉඩ නොතබා පෙර පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරන තෙක් පැහැදිළි මාර්ග සැලැස්මක් සකස් කළ යුතුය. එමගින් තාක්ෂණික අධ්‍යාපන අවස්ථා වැඩි කිරීමටත්, අධ්‍යාපන ක්‍රියාවලිය තුළ තාක්ෂණ  භාවිතය පුළුල් කිරීමටත් හැකියි. අධ්‍යාපනයට අදාළ සියලු ආයතන එක අමාත්‍යාංශයක් යටතට ගත්තේ මේ අරමුණ සපුරා ගැනීමට,” බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජාති, ආගම් බේදයකින් තොරව සෑම දරුවෙකුටම සමාන අධ්‍යාපන අවස්ථාවක් දීම අනිවාර්යය වන අතර, රටට ඔබින ඵලදායී පුරවැසියෙකු බිහි කිරීම  රජයේ වගකීමකැයි ජනාධිපතිවරයා පැවසීය.

“අධ්‍යාපනය මඟ හැරුණු දරුවාට, වයස් සීමාවකින් තොරව නැවත අපේක්ෂිත අධ්‍යාපන ඉලක්ක වෙත ළඟාවීමට නව ප්‍රතිසංස්කරණයෙන් පසුබිම සකස් විය යුතුය. විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය යුතුයි“ යනුවෙන් ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළේය.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන සියලු සිසුන්ට උපාධිය දක්වා යාමට අවශ්‍ය වැඩපිළිවෙළක් සේම උපාධිධාරියා රැකියාවක් ඉල්ලා පාරට නොබසින, රැකියා වෙළෙඳපොළ උපාධිධාරියා සොයා එන අධ්‍යාපන ක්‍රමයක කඩිනම් අවශ්‍යතාව මෙහිදී සාකච්ඡාවට ලක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශ සඳහන් කළේය.

දැනටමත් කෙටුම්පත් කර ඇති ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය කඩිනමින්  සංවාදයට යොමු කර ක්‍රියාවට නැංවීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන් බවද ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'