Logo
2020 ඔක්තෝම්බර් මස 26 වැනි සඳුදා

නීත්‍යානුකූල නොවූ කරුණක් රනිල් පිළිගනී





පොලිස් ආඥා පනත අනුව පොලිස්පතිවරයාට අලුතින් පොලිස් කොට්ඨාසයක් පිහිටුවීමට බලයක් නොමැතිනම් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හෙවත් FCIDය පිහිටුවීමේ ගැසට් නිවේදනය ද නීත්‍යානුකූල නොවන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) පිළිගත්තේය.

ඒ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමිනි. 

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් වත්මන් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා කළ පැමිණිල්ලකට අදාළව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ඊයේ පස්වරුවේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය පිහිටුවීමට අදාළ කැබිනට් පත්‍රිකාව හිටපු අගමැතිවරයාගේ අවධානයට යොමු කරමින් පැමිණිල්ලේ නීතීඥවරයා සඳහන් කළේ, පොලිස් ඒකකයක් පිහිටුවීමට කැබිනට් පත්‍රිකාවෙන් මගපෙන්වීම ලබාදී තිබෙන්නේ අමාත්‍යාංශ ලේකම්වරයාට බවය.

එහෙත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිටුවීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ අමාත්‍යාංශ ලේකම් විසින් නොව පොලිස්පතිවරයා විසින් බව නීතිඥවරයා පෙන්වා දුනි.

ඊට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ එම බලය තිබෙන්නේ පොලිස්පතිවරයාට බවය.

අනතුරුව පැමිණිල්ලේ නීතීඥවරයා හිටපු අග්‍රාමාත්‍යවරයාට පොලිස් ආඥා පනතේ 55වන වගන්තිය උපුටා දක්වමින් අදාළ වගන්තිය යටතේ පොලිස්පතිට වෙනත් ඒකකයක් පිහිටුවීමේ බලයක් ලබාදී නොමැති බව පෙන්වා දුන්නේය.

"ඒගොල්ලො කියන්නේ පොලිස්පතිවරයාට පොලිස් කොට්ඨාස පිහිටුවන්න පුළුවන් කියලයි. නමුත් අපේ කැබිනට් පත්‍රිකාවේ කොට්ඨාශ පිහිටුවීම ගැන කියලා නැහැ, දූෂණ සම්බන්ධයෙන් ලේකම් කාර්යාලයක් පිහිටුවීම ගැන පමණයි සඳහන් වෙන්නේ," රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

කොමිසමේ සභාපති විනිසුරුවරයා අවධාරණය කළේ පොලිස්පතිවරයා තමාට නැති බලයක් යටතේ ඒකකයක් පිහිටුවීම සිදු කර ඇති බවය.

"ඒක මම දන්නේ නැහැ. මට මතකයි මේගොල්ලො වාර්තා කළා ලේකම්තුමාට මේක කරන්න බලයක් නෑ, පොලිස්පතිතුමාට පමණයි මේක කරන්න බලයක් තිබ්බේ කියලා." හිටපු අගමැතිවරයා සඳහන් කළේය.

පොලිස් ආඥා පනතේ 55වන වගන්තිය යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිට වූ බවට ගැසට් නිවේදනයේ සඳහන් වන නමුත් එම වගන්තියෙන් එවැනි බලයක් ලබා දී නොමැති බව පැමිණිල්ලේ නීතීඥවරයාද පෙන්වා දුනි.

"බලයක් නැත්නම් නැහැ" යනුවෙන් හිටපු අගමැතිවරයා එවිට පිළිතුරු දෙමින් පැවසීය.
 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'