Logo
2020 නොවැම්බර් මස 24 වැනි අඟහරුවාදා

ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට සිල්රෙදි නඩුවෙන් නිදොස් කොට නිදහස්





සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිර දඬුවම් හා දඩ මුදල් නියම වී ඇප මත මුදාහැර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු කුමුදුනි වික්‍රමසිංහ මහත්මිය මෙම පෙත්සම්කාර පාර්ශ්වය සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු පුළුල් ලෙස විග්‍රහ කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළ බව සඳහන් කළාය.

මෙම නඩුවේ විත්තිකාර අභියාචකයින් දෙදෙනා රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බව සඳහන් කළ විනිසුරුවරිය ඔවුන් තමන්ට පැවරී තිබෙන නීතිමය රාමුව තුළ සිට ක්‍රියාකර ඇති බව පෙනීයන්නේ යැයි විනිසුරුවරිය සිය තීන්දුවෙන් සඳහන් කළාය.

ඉදිරිපත්වන සාක්ෂි හා ලේඛන විශ්ලේෂණය කිරීමේදී  ඔවුන් රජයේ අරමුදල් වංක ලෙස සාවද්‍ය පරිහරණය කිරීමක් සිදුකළ බවට තහවුරු කළ හැකි සාක්ෂි අනාවරණය නොවන බව විනිසුරුවරිය සඳහන් කර තිබේ.

ඒ අනුව සාවද්‍ය මුදල් පරිහරණය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනුකර තිබුණු අධිචෝදනා තුන සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බව  පෙන්වා දුන් විනිසුරුවරිය විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස ද නියෝග කළාය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'