Logo
2020 දෙසැම්බර් මස 1 වැනි අඟහරුවාදා

මද්‍රාසා පාසල් ගැන අධ්‍යාපන ඇමති පාර්ලිමේන්තුවේ දී පැවසු දේ





 විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණ මද්‍රාසා පාසල්වල ඉගැන්වීමට වීසා ඉල්ලන අය පිළිබඳ දැඩිව අධීක්ෂණය කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් අද පාර්ලිමේන්තුවේ දී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, පුද්ගලයන්ගේ පසුබිම, අතීත හැසිරීම සොයා නොබලා පාසල්වල ඉගැන්වීමට යෙදවීම වගකීම් විරහිත ක්‍රියාවක් බවත් සඳහන් කළේය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ සමීප සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් අදාළ පුද්ගලයන්ගේ තොරතුරු සහ පසුබිම සොයා බැලීමට ක්‍රියා කළ යුතු බවත් පැවසු අමාත්‍යවරයා, මද්‍රාසා පාසල්වල ඉගැන්වීමට අවසර ලබාදෙන පුද්ගලයන් සම්බන්ධව මෙන්ම, උගන්වනු ලබන පාඨමාලා, සිසුන් බඳවා ගන්නා ආකාරය, ඇතුළු සියළු කරුණු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අධීක්ෂණය කරන බව ද පැවසීය.

මද්‍රාසා පාසල් අධික්ෂණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යුතුකමක් පැවරී ඇති බවත් එම යුතුකම් ඉටුකිරීම වෙනුවෙන් තමා පෙනී සිටින බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ සමයේ සිට මද්‍රාසා පාසල් සඳහා සිසුන්, ගුරුවරුන් ඇතුළත් කරගැනීම සහ එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධ විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවී තිබුණු බවත්, යහපාලන රජය බලයට පැමිණි පසු එම යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම අඩාල කර දැමූ බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'