Logo
2020 නොවැම්බර් මස 24 වැනි අඟහරුවාදා

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය (Manin Market) ජනතා අයිතියට





පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය (Manin Market) නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට විය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්, කෝකිලා ගුණවර්ධන, නලීන් ප්‍රනාන්දු, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ

වෙළඳසැල් 1,192 ක්, වාහන විශාල ප්‍රමාණයක් නැවැත්වීමේ පහසුකම් සහිත රථගාලක්, සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, අධිශීත ගබඩා (Cool Room), හොටෙල් ඇතුළු පහසුකම් රැසකින් මෙම නව මැනිං වෙළඳ සංකීර්ණය සමන්විත වීම විශේෂත්වයකි.

පෑලියගොඩ හුවමාරුව සමඟ දිවයිනේ සෑම ප්‍රදේශයකටම ගමන් කරන අධිවේගී මාර්ග සම්බන්ධ වන නිසා ඉතා පහසුවෙන් මෙම තොග බඩු කොළඹට ගෙනඒම සහ කොළඹින් පිට ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම සඳහා ද අවස්ථාව හිමිවේ.

ගුවන් තොටුපළ අධිවේගී මාර්ගය, වරාය අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය, උතුරු අධිවේගී මාර්ගය ඇතුළු අධිවේගී මාර්ග සමඟ පෑලියගොඩ හුවමාරුව සම්බන්ධ වන නිසා තොග බඩු ප්‍රවාහනය පහසුවෙන් රට පුරා සිදුකළ හැකිවේ.

මහල් හතරකින් සමන්විත පැලියගොඩ මැනිං වෙළද සංකීර්ණයේ 03 වෙනි මහල දක්වා පිහිටි සෑම වෙළඳ සැලකටම එළවළු ප්‍රවාහන ලොරි ගෙන ඒමට හැකිවන සේ මෙම නව වෙළඳ සංකීර්ණය සකසා තිබීම විශේෂත්වයකි.

මෙම වෙළඳ සංකීර්ණය යටතේ අක්කර 2 කට සීමා වී තිබුණු මැනිං වෙළඳ සංකීර්ණය අක්කර 13.5 ක් පුරා විහිදෙන අංග සම්පූර්ණ තොග වෙළඳ සංකීර්ණයක් බවට පත්වතිබේ. මේ සඳහා වැය වු මුළු මුදල රුපියල් බිලියන 6.9 කි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'