යුද්ධයෙන් ආබාධිත වූ යුද හමුදා සෙබළුන්ට විශ්‍රාම වැටුප් හිමි වන තෙක් මෙතෙක් අත්හිටුවා තිබු ඔවුන්ගේ මාසික වේතනය යළි ගෙවීමට ශ්‍රී ලංකා යුද හමුදා බලධාරීහු අභියාචනාධිකරණය හමුවේ එකඟතාවය පළකොට ඇත.
තමන්ට හිමි විය යුතු මාසික වේතනය ගෙවීම යුද හමුදාව මගින් අත් හිටවා ඇති බව පවසමින් ආබාධිත සෙබළුන් දෙසිය අනූ දෙදෙනකු විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගය සඳහා කැඳවනු ලැබුණ අවස්ථාවේ එම එකඟතාවය පළකල බව ආබාධිත රණවිරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරසිටී.
මෙම පෙත්සම ඉදිරිපත් කල සෙබළු දෙසිය අනූ දෙදෙනාම වෙනත් හේතුවක් නිසා නොව යුද්ධය නිසාම ආබාධිත වූ අය බවත් පෙනුමෙන් නිරෝගී පුද්ගලයින් වශයෙන් පෙනී ගියත් ඔවුන්ගේ ශරීරය අභ්‍යන්තරයේ දරුණු තුවාල තිබෙන බවත් වෙනත් රැකියාවක් කිරීමට හැකියාවක් ද නොමැති හෙයින් ඒ නිසා විශ්‍රාම වැටුප හිමි වනතුරු මාසික වැටුප ගෙවීම වැදගත් මෙන්ම එය ඔවුන්ට නීතිය අනුව හිමි අයිතියක් බව ආබාධිත රණවිරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ඩබ්ලිව්.එම්.එස්.ඩි. වික්‍රමසිංහ මහතා සදහන් කරසිටී.
පෙත්සම කැඳ වූ අවස්ථාවේ යුද හමුදාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා කියා සිටියේ එම පෙත්සම සමථයකට පත් කිරීමට හැකියාවක් පවතින හෙයින් ඒ සඳහා කාලය ලබා දෙන මෙන් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.ඒ අනුව පෙත්සම ලබන විසිඅට වෙනි දින යළි කැඳවීමට නියම වු අතර අදාළ කටයුතුවල ප්‍රගතිය එදින වාර්තා කරන ලෙස ශ්‍රී ලංකා අභියාචනාධිකරණය රජයේ නීතිඥවරයාට නියෝග කර සිටියහ.