Logo

 

ගොවියාගේ අතමිට සරුකරන බුලත් වගාවක් ඔබත් අරඹන්න

- ඉන්දික කුමාර විසිණි.



පිළිගන්වන විට බුලත් අත, කටේදී බුලත් විට, ඉනේදී බුලත් පයිය, ගෙදරදී බුලත් හෙප්පුව, මඟුලකදී බුලත් තට්ටුව, අවමඟුලකදී ඉලත්තට්ටුව, ගමනක් යන විට බුලත් මඩිස්සලය, ආගමික කටයුතු වලදී දැහැත් වට්ටිය, දේවාලයේදී දළු මුර, කුඹුරේදී බුලත් පෙට්ටිය, කාන්තාවන් ලඟදී බුලත් හැඹිලිය ආදී වශයෙන් බුලත විවිධාකාරයෙන් ජන ජීවිතය හා බැඳී පවතී.

සිංහලයා අතර බුලත දෙවැනි වන්නේ බතට පමනි. ලාංකික ජීවන රටාවේ මිනිසාගේ උපතේ සිට විපත දක්වා සිදුවන ආගමික හෝ වේවා සංස්කෘතික හෝ වේවා සියලුම සිරිත් විරිත් වලට බුලත නම් නැතිවම බැරිය.

දෙහි කැපීමේදී බුලතේ උපත පිළිබඳ මෙසේ කියැවේ

මල් පිපුනා දැක මහබඹු සන්තොසිනා
පුල්මතිනා දෙවියෝ ගුවනින් වඩිනා
මුල් බැඳුනා නා උයනේ දළු ගැනුනා
වැල් උපනා දළු මුර පවසමි හොඳිනා

නා ලොව උයනේ එම පැල පැලවී තොසිනා
පුරුක් ඇදී මුල් මතු වී කොළ දී හැදුනා
නා ලොව භුපතියන නම කඳට ඇති වුනා
නාගවල්ලි කියන නමින් එවැල පැළ වුනා

නා ලොව හට ගත් බුලත මිනිස් ලොවට ආ හැටි

මහා සම්මත රජුගේ මැණික්පාලි බිසවට ඇති වූ දොළදුකක් නිසා එය සංසිඳවීමට නා රජු විසින් බුලත මිනිස් ලොවට ගෙන එන ලදී. නා රජු බුලත් කොළය දෙකොනින් අල්ලා ගෙන පැමිනි නිසා, විෂ නැති කිරීමට බුලත් කොළයේ දෙකොන කඩා කෑමට ගන්නා ලදී. අදටත් බුලත් විට කෑමට පෙර දෙකොන කඩා කෑමට මිනිසුන් අමතක නොකරයි.
පුරාවෘත්තය එසේ වුවත් දෙකොන කඩා දැමීමෙන් කොළයේ රැඳී ඇති අපවිත්‍ර දෑ ඉවත් වෙයි.

ඈත ඉතිහාසයේ බුලත් පිලිගැන්වූ අවස්ථා

සත් සතිය අවසානයේදී මහා බ්‍රහ්මයා පැමිණ බුදුරජාණන් වහන්සේට දැහැත් පිළිගන්වා ඇතැයි මහායාන පොත් වල විස්තර කෙරෙයි.
අතීතයේ ලංකාවේ ජිවත් වූ නාග ගෝත්‍රිකයන් අතර මැණික් පුටුවක් අරඹයා ඇති වූ ගැටුමක් විසඳීමට බුදුරජාණන් වහන්සේ කැළණියට වැඩම කල විට දැහැත් පිළිගන්වා ඇත.
සමාව ගෙන, තෑගි බෝග පිරිනමා අවසන් කළ නොහැකි තරහක්/වෛරයක්, බුලත් අතක් පිරිනමා අවසන් කර ගත හැක. බුලතේ අපට නොවැටහෙන සංස්කෘතික අගයක් තිබේ යැයි කියන්නේ ඒ නිසාය. රජ ඇමති, ගුරු දෙගුරු, වැඩිහිටියන්ට පිළිගැන්වීමට තරම් බුලත වැදගත් වන්නේද ඒ නිසාය.

සිංහලයා බුලත් කෑමට රැසියාය. අද ද ගමකින් බුලත් නොකන මිනිසෙකු සොයා ගැනීම අපහසුය. ”බුලත් නොකෑ කට කිරි වවුලාගේ” යනුවෙන් පැරැන්නන් පැවසුවේ ඒ නිසාය. තවද පෘතුග්‍රීසින් සිංහලයෝ හැඳින්වූයේ ”කොළ සපා කා රතු ලේ වමාරන” පිරිසක් ලෙසය. කාරණා එසේ වුවත් ”ගිලී මලෙත් ඇත දත සුද්දෝ” යනුවෙන් ද කියමනක් ඇත.

සිංහලුන් අතර පමනක් නොව, ලෝකයේ බොහෝ රටවල් අතර බුලත් ඉතා ජනප්‍රිය කෑමකි. මෙරට ප්‍රධාන අපනයන බෝගයක් වන බුලත් වල ප්‍රධාන ගැනුම්කරුවා පකිස්ථානය වේ.

බුලත් කෑමෙන් වා, පිත්, සෙම යන තුන් දොස් සමනය කරන බව අයුර්වේදයේ සඳහන් වන අතර, හුනු දුම්කොළ වැඩියෙන් බුලත් විටට එක් කිරීමෙන් සහ හපය බොහෝ වේලා කටහි තබා ගැනීම මුඛ පිළිකා සඳහා අත වැනීමකි.

ශ්‍රී ලාංකීය සංස්කෘතියේ අනන්‍ය සංකේතයක් වූ බුලත් අපගේ ජන ජීවිතය සමඟ සමීපව බැඳී පවතින අතර,බුලත් සඳහා දේශීය මෙන්ම විදේශීය වෙළඳපොලක් ද පවතී.

ප්‍රධානව වගා කරන ප්‍රදේශ

අපනයනය සඳහා කුරුණෑගල ,ගම්පහ සහ කෑගල්ල යන දිස්ත්‍රික්කද , තෙත්  සහ අතරමැදි කලාපවල මෙන්ම වියළිකලාපයේද වගාකරන අතර ගෙවතු ආශ්‍රිතව ද වගාකළ හැකි හොඳ ආර්ථික භෝගයකි.

වගාව ආරම්භ කළ යුතු කාලය-

වර්ෂා කාලය අවසානයේ නිරෝගී වගාවකින් ලබාගත් බුලත් දඬු සිටුවීම හෝ බඳුන් කළ පැළ සිටුවීම සුදුසු වේ.

සිටුවන ක්‍රමය හා පරතර-

පාත්ති ක්‍රමයට සිටුවිමේදී පළල අඩි 4 සහ දිග අඩි 25 පාත්තිවල හෝ අඩි 6X6 පරතරයට සිටුවා ආධාරක කණුවලට සිටුවීම.

පාත්තියේ සිටුවීම-

පැළ අතර අඩි 1ක් සහ පේළි අතර අඩි 1ක් සිටින සේ සිටුවිම.

දඬු කැබලි පැළ අවශ්‍යතාවය -

අඩි 4X 25 පාත්තියකට බුලත් දඬු 100 පමණ අවශ්‍ය වේ.

ආධාරක සිටුවීම සහ පන්දලම් බැඳීම

සති 4 – 6 අතර පමණ ගතවූ අඩි 7ක් පමණ උස කැලෑ ලී හෝ කිතුල් රීප්ප අඩියක් ගැඹුරින් බුලත් දඬු දෙකකට මැදිවන සේ සිටුවීම.

 පොහොර යෙදීම-

ඉනි 100ක වගාවක් සඳහා සති 3කට වරක්

රසායනික පොහොර

යුරියා                                               ග්‍රෑම් 195

ත්‍රිත්ව සුපර් පොස්පේට්                             ග්‍රෑම්65

මියුරියේට් ඔෆ් පොටෑෂ්                           ග්‍රෑම්100

කීසරයිට්                                               ග්‍රෑම්60

 

කාබනික  පොහොර

දිරෑ ගොම පොහොර අඟල් 4ක තට්ටුවක්  මාස 2කට වරක් යෙදීම සහ කොළ පොහොර යොදන්න.

අස්වැන්න-

මාස 4සිට කොළ නෙලීමට හැකිවෙයි. වයස අවු.1-5 දක්වා ආධාරකයකින් (එක් ඉන්නකින් / කොවුලකින් බුලත් කොළ 150-350 ක අස්වැන්නක් ලබා ගත හැකිය.

 

ඉනි 100 ක බුලත් වගාවකින් ලබාගත හැකි අස්වැන්න

  • වරකට කොළ 6000-8000 ක් පමණ
  • බුලත් සඳහා ගොවිපල මිල-රු1.50(කොළයකට)
  • බුලත් කොල 8000 ක ආදායම රු.12000
  • වසරකට 24 වතාවක් අස්වනු නෙලීමෙන් ලැබෙන ආදායම රු28,800
  • බුලත් වගාවේඉනි 100කට දළ නිෂ්පාදන වියදම( පවුලේ ශ්‍රමය යොදාගත් විට)වගාවේ පළමු සහ දෙවන වසර සඳහා රු4,350)

දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- අරුණ කාන්ත බණ්ඩාර
2014-06-18 17:22:53 - 1600715
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1447533
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1458640
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1453082
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1462419
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'