Logo

 

රස වගේම වස වෙන්නත් පුලුවන් බිත්තරේ...

- ඉන්දුනී වැලිවිට විසිණි.
මෙවැනි තවත් රසවත් කෑම වට්ටෝරු සඳහා මෙම ලේඛිකාවගේ ෆේස්බුක් පිටුව සමග එක් වන්න.



මේ බිත්තර කතාව කියන්න හිතුනේ අපේ යාලුවෙක් ප්‍රශ්ණයක් අහලා දාපු පෝස්ට් එකක් දැකලා.....

ගෙදර මස් මාලු නැති වෙලාවට වේල ෂේප් කර ගන්නත් තව කෑම බීම හදන්නත් නැතුවම බැරි බිත්තරේ ගැන ඔයාලා හොඳට දන්නවනේ. ඒ නිසා මේ කියන්න යන්නේ නම් ඒ ගැන නෙවෙයි. ලස්සනට හුරුබුහුටියට හිටියට බිත්තරේ නපුරු කතාවකුත් තියෙනවා....

අපි අපේ පවුලේ අයට හිතවතුන්ට රසවත් කෑම හදලා දෙන්නේ හරි ආසාවෙන්. ඒත් අපි දෙන කැමකින් ඒ අයට ලෙඩක් හැදුනෛාත් ඒක හරිම දුකක් නේද? මේ කියන්නේ රස බිත්තරේ වස වෙන හැටි...

බිත්තරේ එන්නේ කිකිලිගෙන් කියලා දන්නවනේ. ඔන්න මගෙන් අහන්න ඒපා කිකිලි එන්නේ බිත්තරෙන් නේද කියලා... :D

කුකුලන්ගේ ඇඟේ සැල්මොනෙල්ලා කියන බැක්ටීරියාව අඩංගු වෙනවා. ඒවා බිත්තරය ඇතුලටත් සුලු වශයෙන් යනවා. ඒවා උන්ගේ මල පහ වල බහුලව තියෙන නිසා වැඩි ප්‍රමාණයක් බිත්තර කටුව මතුපිට තැවරිලා තියෙනවා. මේ බැක්ටීරියාව නිසා පාචනය, බඩේ වේදනාව, උණ වගේ තත්වයන් ඇති වෙනවා. මේක ගල් ගිල්ලත් මැරෙන්නේ නැති අපි වගේ අයට කරදරයක් නොවෙන්න පුලුවනි. ඒත් මේ ආසාදනය අවදානම් කාණ්ඩයේ අයට, ඒ කියන්නේ කුඩා ළමයින්ට, ගර්භණී මව්වරුන්ට, වයස්ගත අයට, ප්‍රතිශක්තිය අඩු අයට සහ අසනීප වලින් පෙලෙන අයට.කුඩා ළමයින්ට, ගර්භණී මව්වරුන්ට, වයස්ගත අයට සහ ප්‍රතිශක්තිය අඩු අයට බරපතල තත්වයන් (සමහර විට මරණය පවා) ඇති කරවනවා. දැක්කා නේද ඒකේ බයානක කම?

ඉතින් මේ බැක්ටීරියා ආසාදනයෙන් බේරෙන්නේ කොහොමද කියලා බලමු....

බිත්තරයක් අපි ආහාරයට ගත්තට කිකිලි ඒක දාන්නේ පැටියෙක් බිහි කරන්නනේ. ඉතින් සොබා දහමෙන් මේ බිත්තරය ආරක්ෂා කරන්න හොඳ ක්‍රමයක් හදලා තියෙනවා. බිත්තර කටුව සිදුරු සහිතයි. ඒත් ඒකට පිටින් විනිවිද පේන ආරක්ෂිත ආවරණයක් තියෙනවා. ඒක නිසා පිටත තියෙන බැක්ටීරියා වලට බිත්තරය ඇතුලට යන්න බෑ. ඉතින් බිත්තරය ගොඩක් දුරට ආරක්ෂිතයි.

ඒත් සමහර ෆාම් වල බිත්තර සෝදනවා අපිරිසිදු ගතිය නැති වෙන්න. සුපර්මාකට් වල ලස්සනට බැබලි බැබලි තියෙන බිත්තරත් සෝදපුවා. හැබැයි මේකෙන් වෙන්නේ අර කිව්ව ආරක්ෂිත ආවරණය සේදිලා ගිහින් සවිවර බිත්තර කටුව මතුවෙනවා. එතකොට සැල්මොනෙල්ලා විතරක් නෙවෙයි අනිත් බැක්ටීරියා වලටත් බිත්තරය ඇතුලට යන්න පුලුවනි ටිකට් නැතිව. අනේ ඉතින් එයාලට බනින්න එපා. අපිට කුකුලු පිහාටුයි, මලපහයි, කුකුලු කෑමයි කැවෙන එක නතර කරන්නනේ හොදන්නේ.. හැබැයි ඒක වලක්වන්න ඇමරිකාව සහ සමහර යුරෝපා රටවල හෝදපු බිත්තර මත තෙල් ආලේපයක් ගානවා. අපේ රටේත් එහෙම කරනවාද කියලා මගෙන් අහන්න නම් එපා... (ඇමරිකාවෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.....) :D

අනුන්ට වගකීම දෙන්නේ නැතුව අපේ වැඩේ හරියට කරන්නේ කොහොමද බලමුකො...
බිත්තර ගන්න කඩේ ගියාම පොඩ්ඩක් බලන්න ඒවා හෝදලා වගේද නැතිනම් පිදුරුයි කුකුලු පිහාටුයි ඇලිලාද කියලා. හෝදපු ගතියක් පේන්න නැතිනම් ප්‍රිජ් එකේ නැතුව එලියේ තිබුණත් ගෙන්න. පොඩ්ඩක් ඉන්න කියලා ඉවර නෑ. හොයලා බලන්න අලුත් බිත්තරද තියලා. (මුදලාලිගෙන් බැණුම් අහන්නේ නැතුව). ෂුවර් නැති නම් ගන්න එපා.
ලස්සනට තියෙනවා නම් එ් කියන්නේ හොදලානේ. එහෙනම් අනිවාර්යෙන්ම ප්‍රිජ් එකක දාලා තියෙනවා නම් විතරයි ගන්න ඕන. මොකද, හොදලා අර කිව්ව ආරක්ෂිත ආවරණය සේදිලා ගිහින් තියෙන වෙලේ එළියේ තිබුණාම හැම බැක්ටීරියාවක් බිත්තරය ඇතුලට යන්න ඉඩ තියෙනවා. ප්‍රිජ් එකක දාලා තියෙනවා නම් ඒක ටිකක් පාලනය වෙනවා. ඒ විතරක් නෙවෙයි කාලය ඉකුත් වෙන දිනය පැනලද කියලත් බලන්න.

දැන් බිත්තර අරන් ගෙදර ගිහින් ???
අර කුණු ඇලිලා තියෙන ඒත් අලුත් බිත්තර ගෙනාවා නම් ප්‍රිජ් එකේ දාන්න එපා. සිසිල් තැනක බිඳෙන්නේ නැති වෙන්න අසුරලා තියන්න. පරණ කර කර තියා ගන්නේ නැතුව අලුත් පිටම කැමට ගන්නවා නම් හොඳයි. හෝදපු බිත්තර ගෙනාව නම් ප්‍රිජ් එකේ දාලා තියන්න. ඒකෙන් වෙන්නේ බැක්ටීරියාවට ඕන උෂ්ණත්වය නොලැබී වර්ධනය නතර වීම. ඒත් බිත්තර අසුරන්න ඕන අනිත් කැම වර්ගත් එක්ක නෙවෙයි. බිත්තර අසුරන්න වෙනම කොටසක් ශීතකරණයේ තියෙන්නේ ඒකයි. මේවත් පිළියෙල කරන්න කලින් හෝදලා ගන්න.

බිත්තරය කාලය ඉකුත් වෙන දිනය පහුවෙලා ආහාරයට ගන්න එක හොඳ නෑ. සමහර තැන් වල බිත්තර වල කාලය ඉකුත් වෙන දිනය සඳහන් කරලා නෑ. එහෙම වෙලාවට බිත්තරය කඩලා බාජනයකට දාලා බලන්න ගඳක් හරි, පාටෙ වෙනසක් හරි තියෙනවද කියලා. කහමදය සුදුමදය මිශ්‍ර වෙන්නෙත් නරක් වීගෙන එනකොට තමයි. එහෙම නරක් වේගෙන එන ගතියක් පේනවා නම් ආයෙ දෙපාරක් හිතන්නේ නැතුව විසි කරන්න. බිත්තරය වතුර එකක දැම්මාම උඩ පාවෙන්නෙත් ගොඩක් වෙලාවට නරක් වුණමයි.

දැන් තියෙන්නේ උයන කොටස....
පිළියෙල කරන්න සූදානම් වුණාම මතක ඇතිව හොඳින් විනාකිරි මිශ්‍ර උණුසුම් වතුරෙන් සොදන්න. තම්බනවා නම් හොදලා විනාකිරි ටිකක් වතුරට දාලා තම්බන්න. ඒකෙන් ගොඩක් දුරට බැක්ටීරියා විනාශ වෙනවා. කවදාවත් කටුව පිටින් බිත්තරයත් බත් හට්ටියේ හරි ව්‍යංජන හට්ටි වල හරි දාලා තම්බන්න එපා.

බිත්තරයක් කැඩුවට පස්සේ ඉක්මනින්ම පාවිච්චි කරන්න ඕන. ඒත් බිත්තරය කඩන කොට හරි, කැඩිලා හරි කටුවේ පිට පැත්ත බිත්තරයේ (සුදු මදය, කහ මදය) ගෑවිලා නම් හොඳම දේ බිත්තරෙම විසි කරලා දාන එකයි. කඩෙන් ගේන කොට හොඳට බලන්න කටුව පුපුරලාද කියලා. විශේෂයෙන්ම පැක් වල තියෙන ඒවා කැඩිලද බලලා ගේන්න. මම දන්නවා ඔයාලා කියාවි “අපෝ අපි එහෙම ඕන තරම් කාලා තියෙනවා” කියලා. ඒත් ඒවා අර කලින් කියපු අවදානම් කාණ්ඩයේ අයට නම් දෙන්න එපා.

මතක නේද උඩ හරියේ මම කිව්වා සැල්මොනෙල්ලා කියන බැක්ටීරියාව බිත්තරය ඇතුලටත් සුලු වශයෙන් යනවා කියලා. බිත්තරයක් හොඳින් තැම්බුවාම මේ බැක්ටීරියා විනාශ වෙනවා. ඒ නිසා වැදගත්ම දේ තමයි අමු හෝ බාගෙට තම්බපු බිත්තර අවදානම් කාණ්ඩයේ අයට දෙන්න හොඳ නෑ. අමු හරි බාගෙට පිසූ බිත්තර අඩංගු කෑම වර්ග වලින් සමහරක් තමයි මූස් වර්ග, අයිස් ක්‍රිම් වර්ග, සමහර අයිසින් වර්ග, ටිරාමිසූ වගේ සමහර පුඩින් වර්ග, මෙයොනේස් (ගෙදර සාදන). මේ කෑම වර්ග ආරක්ෂිතව හදන්න ඕන නම් පැස්චරීකරණය කරපු බිත්තර ගන්න ඕන. මේවා ලංකාවේ තියෙනවාද කියලා නම් දන්නේ නෑ.

අනිත් එක තමයි තම්බපු බිත්තර වුණත් දවස් 4 කට වඩා තියා ගන්න එපා. බිත්තර දාපු කෑම වර්ග වුණත් වැඩිකල් තියා ගන්න හොඳ නෑ. ඒතකොට වෙනත් බැක්ටීරියා දිලීර ඒකේ හැදිලා ආයෙ අපට ලෙඩ හදනවා. අන්තිමට මේකත් මතක තියා ගන්නකො. බිත්තර කඩලා මොනවා හරි හදනාවා නම් අත් දෙක, බිත්තර දාපු බාජන, බිත්තර සාරු ඉහිරිච්ච තැන් හොඳින් පිරිසිදු කරන්න. නැති නම් අනිත් කෑම වලටත් මිශ්‍ර වෙලා ලෙඩ එක දෙක වෙනවා.... ටිකක් දිග වැඩි වුණත් ඔක්කොම ටික කිව්වා හොඳේ.....

(ඡායාරූපය අන්තර්ජාලයෙනි)

Image may contain: food

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12106287
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12117730
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9606170
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9512345
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9340906
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'