Logo

 

හොර යෝගියෝ, ව්‍යාජ මානව පිටපත් හා දේශපාලන රූකඩ නැටවිලි

- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ විසිණි.



ශ්‍රී ලංකාවේ දේශපාලනය කරනවිට බොහෝවිට වෙනත් රටවල්වල නොකරන දේ කිරීම සිරිතකි. වෙනත් රටවල දේශපාලනය ශ්‍රී ලංකාවේ කරන දේශපාලනයට වඩා වෙනස්ය. ශ්‍රී ලංකාවේ දේශපාලනය මෝඩයා හත්පොළේ ගාගත්තාක් බඳුය. යන එන තැන දේශපාලනයයි. අවශ්‍ය තැනද අනවශ්‍ය තැනද දේශපාලනයයි. මහාමන්දිරයේ මෙන්ම පෙට්ටි කඩයේද දේශපාලනයයි. ශ්‍රී ලංකාවේ දේශපාලනයට තැනක් නොතැනක් නැත.කොටින්ම මෙරට වැසිකිලියකට යතත් එතැන එකී කාර්ය කිරීමටද දේශපාලන අත්‍යවශ්‍ය සාධකයක්ව තිබෙන මට්ටමට ශ්‍රී ලංකාවේ දේශපාලනය මෝඩයා හත්පොලේ ගාගත්තක් බඳුව තිබේ. වෙනත් රටවලදී දේශපාලනය කිරීමට ප්‍රතිපත්තිය මූලික අත්‍යවශ්‍ය සාධකයක් වුවද මෙරට දේශපාලනයට එය අවශ්‍ය නැත. ඒ වෙනුවට විවිධ අංශ සඳහා විවිධ පුද්ගල චරිත ආදේශකොට මෙරට ජන මනස තමන්ට අභිමත දිශාවටම වෙනස් කිරීම පමණක් සෑහෙනබව මෙරට දේශපාලකයෝ හොඳින් දැන හඳුනාගෙන සිටිති. අපේ එකා,ගමේ එකා, කැපී පෙනෙන හාදයා ආදී වශයෙන් නොයෙකුත් විලාසිතාවල ජනප්‍රජාවගේ පහළ මට්ටමේ මානසික හා කායික අවශ්‍යතා පොළඹවාලීම පමණක් මෙරට දේශපාලනයට සෑහෙයි. ඊට අමතරම නක්ෂත්‍ර,ජෝතිෂ්‍ය ෆෙන්ෂුයි තව නොයෙකුත් මිථ්‍යා අභිචාරවිධිවලින් ජනප්‍රජාවගේ මනස අන්ධබවට පත්කිරීමද අතවශ්‍ය බවට මෙරට දේශපාලකයෝ වටහාගෙන සිටිති.මේ සඳහා දේශපාලන පොරපිටියට විවිධ පුද්ගල චරිත ආදේශකර ඔවුන්ව පුම්බා උඩ ඇරීමට විවිධ ක්‍රියාමාර්ග ගනිති. මේ සඳහා අවශ්‍ය පරිදි රජයේ ජනමාධ්‍ය පමණක් නොව බලයේ සිටින අයට ආවාඩා සිය පුද්ගලික න්‍යායපත්‍ර දියත්කොට වැඩි ලාභයක් ඉපයීමට එබඳු කාලවල සිහින දකින පුද්ගලික ජනසන්නිවේදන මාධ්‍ය පවා මෙරටේ කූඨ දේශපාලකයන්ගේ එබඳු විවිධ උප්පරවැට්ටිවලට අවශ්‍ය දරදිය ඉතා නිර්ලජ්ජිත ලෙස සපයනු ලබන ආකාරය සුලබව දැකගත හැකිය. මෙරට ජනතාවගේ හිස නොයෙකුත් මිථ්‍යා විශ්වාස ආදියෙන් පිරවී ළිංමැඬි දූපත් මානසිකත්වයක ඇතිබව දන්නා දේශපාලනඥයෝ තව තවත් ජනතාව මිථ්‍යා විශ්වාස ආදියටම යොමුකරවා එහිම ඇලීගැලී සිටිනු දැකීමට කැමැති වන්නෝය.

ඒ සඳහා ඡන්ද කාලසීමාව ළංවත්ම ජනමනස තමන්ට අවශ්‍ය දිසාවට වෙනස් කිරීම සඳහා මිථ්‍යා විශ්වාස ආදී දේ සමාජයේ වපුරවිය හැකි පුද්ගල චරිත තමන්ට ළංකර ගැනීමට ශූර සටපකට දේශපාලඥයෝ දක්ෂතා පෙන්වති. මෙබඳු පුද්ගල චරිතවලට මහජනතාවගේ බදුමුදල් වලින් අත්මිට දිගහැර වියපැහැදම්කර තමාගේ පාලනකාලසීමාව දිගුකර ගැනීම පිණිස ඔවුන්ලවා නොයෙකුත් වන්දිභට්ටකම් ඉටුකර ගනිති.තමන්ට චන්දය අහිංසක ප්‍රජාව මිථ්‍යාව පෙන්වා රැවටීමට වන්දිභට්ටයින් ලවා සමාජය පුරා බොරුව වපුරවති.මේ සඳහා විවිධ ක්‍රියාමාර්ගවලට අවශ්‍ය අරමුදල් රැස් කරගැනීම සඳහා භාණ්ඩ හා සේවාවලට අයකරන බද්ද වැඩිකරති. ඉන් භාණ්ඩාගාරයේ ගොඩගැසෙන අතිරික්ත ධනය වන මහජන බදුමුදල් තමන්ට අවශ්‍ය ප්‍රචාරය ලබා ගැනීමට මෙබඳු විකාරරූපී කාර්යන්වලට ඉතා නිර්ලෝභීව වියපැහැදම් කරති. නිදහසින් පසු මෙරට පාලනයකළ සෑම පාලකයෙකු සතුව මෙබඳු ගතිලක්ෂණ අඩුවැඩි වශයෙන් තිබිණ. ඒවායින් අනිසි ප්‍රයෝජන ගත්තේ එබඳුඅය හට ළංවී සිටි සුළුතරයයි. අහිංසක අසරණ මහජනතාව සැමදා රැවටුනහ. තමන්ට අවශ්‍ය පුද්ගලයින් ළංකර ගෙන ඔවුන්හට රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තුවල විවිධ තනතුරු ප්‍රදානයකර එම තනතුරුවලට අදාළවූ   වැටුප් හා වේතන ලබාදෙමින් ඒ අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවල කිසිදු කාර්යක ඔවුන්ව නොයොදා හුදෙක් තමාගේ මැතිවරණ ප්‍රචාරණ කාර්යන්වලම පමණක් ඔවුන්ව යෙදවීමට තරම් මෙරට දේශපාලකයෝ කෛරාටික වූහ.සමහර අවස්ථාවලදී රජයේ වියදමින් වෙබ් අඩවි සකස්කර දී තමන්ගේ දේශපාලන ප්‍රචාරණ යාන්ත්‍රණයෙහි යෙදවීමට තරම් දේශපාලඥයින් නිර්ලජ්ජිතවී තිබේ. මෙරට සිට මෙන්ම විදේශවල සිට පවා මෙබඳු වෙඩ් අඩවි ක්‍රියාත්මක වන අතර එදා මෙදාතුර බලයට පත්වූ සෑම රජයකටම පක්ෂපාතීව මහජනතා මතය වෙනස් කිරීමට ක්‍රියාකිරීම මෙහි ඒවායේ ඒකායන අරමුණ විය.පූජ්‍ය,පූජක පක්ෂය මෙන්ම විවිධ ගිහි ජ්‍යොතිෂ්‍යෙව්දීන්,මන්ත්‍රාචාර්යවරු,කට්ටඩීන්,හොර වෙදුන් හා නොයෙකුත් තරාතිරම්වල මිථ්‍යා විශ්වාසවල ගැලී පුද්ගල චරිත යොදවා සමාජ මතය තමන්ට අවශ්‍ය ආකාරයට ප්‍රතිනිර්මාණය කරවීමට තරම් දේශපාලන බලාධිකාරය සූක්ෂම විය. පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයතුළ අවසාන භාගයෙහි සුජිත් නිශාන්ත නැමැති හොර ජෝගියා කරළියට පැමිණෙනුයේ එබඳු වාතාවරණයක ජනමනස පවතිද්දීය.

මේ සුජිත් නිශාන්ත නැමැති පුද්ගලයාගේ නියම නම එය නොවිය හැකි වුවද ඔහු කරළියට පැමිණෙනුයේ ඒ නමිනි. ඇතැම්විට ඒ නමින් සිටින සැබෑ පුද්ගලයෙකුව අපහසුතාවයට පත් කිරීමේ වුවමනාවක්ද ඒතුළ තිබිය හැකිය.පවතින රජයට හෝ කිසිදු රජයකට කඩේ නොයන අපක්ෂපාතී ස්වාධීන බුද්ධිමතෙකු හෝ විද්වතකු අපහසුතාවයටපත්කරවීමේ වුවමනාවක්ද මේ සුජිත් නිශාන්ත නාමය යොදාගැනීමතුළ සැඟවී පැවතියහැකිය. වයස අවුරුදු 25 පමණ පෙනුමකින් යුතු මේ පුද්ගලයා ආචාර්ය උපාධියක් ලැබූවෙකු බවට ඇඟවෙන පරිදි ජනමාධ්‍යතුළ පෙනී සිටියි.ශ්‍රී ලංකාදීප පුවත්පතේ අසංක ආටිගල මේ සුජිත් නිශාන්ත ඔසවා තැබීමට විශාල මෙහෙවරක් ඉටු කරනු ලැබීය.විවිධ කාන්තා පුවත්පත්ද විවිධ වෙබ් අඩවිද මේ පුද්ගලයා හැකිතාක් ඉහළටම ඔසවා තැබීමට ඉකුත් ජනාධිපතිවරයාගේ පාලන සමයතුළ විශාල කාර්යභාරයක් ඉටුකරන ලදී.ජ්‍යොතිෂය, නක්ෂත්‍රය,කාන්තා,ළමා,පවුල් හා විවාහ උපදේශනය,බෝධිපූජා,දරුඵල ලබාදීම වත්පිළිවෙත්,බුදුදහම සබැඳි මිථ්‍යාමත සමාජයේ වැපිරවීම ආදී අතිවිශාල විෂය ක්ෂේත්‍රයක් පිළිබඳ හැකියාවක් තිබූ බවට සුජිත් නිශාන්ත නැමැත්තා මෙකී ජනමාධ්‍ය,සමාජ මාධ්‍ය හරහා පුම්බා තිබිණ.ඔහු සකලාකලා වල්ලභ වැනිවිය.චන්දකාලය පැමිණෙන තෙක් ඔහු සකලකලා වල්ලභ ලෙස පෙනී සිට උපදෙස් සපයන අතර චන්ද සමය ළංවෙත්ම ඔහුට සුවිශේෂයෙන්ම සැපයුනු කාර්යභාරයවී තිබුණේ මහින්ද රාජපක්ෂ ජනපතිවරයාට හා එම රජයට පක්ෂපාතීව විවිධ ජනමාධ්‍ය,සමාජ මාධ්‍යජාලා හරහා අනාවැකි ප්‍රකාශකරමින් මහජනතාවගේ මිථ්‍යා අන්ධවිශ්වාස රජය සඳහා පක්ෂපාතීවන ලෙස සකස්කිරීමේ වගකීමයි.මේ සඳහා ඔහුට වැටුප් හා වේතන ඔහුට සපයාතිබූ රජයේ තනතුර හරහා මහජනතාවගේව බදුමුදල්වලින් ගෙවිනි.අන්තර්ජාලය සෝදිසිකළවිට සුජිත් නිශාන්තට සැපයී තිබූ අන්‍යන්‍යතා පත්‍රයක් දැකගත හැකිවිය.එහි ඔහුගේ නම සුජිත් නිශාන්ත සොයිසා ලෙසද ඔහුගේ තනතුර අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක සම්බන්ධීකරණ ලේකම් ලෙසද දැකගත හැකිවිය.අවශ්‍ය ඕනෑම අයෙකුට Microsoft Edge බඳු සෙවුම් යන්ත්‍රයකින් මෙය දැකබලා මේ පවසනදේ සත්‍ය අසත්‍යතාව සැකහැර දතහැක. මේ හැර ඇතැම් වෙබ් අඩවිවල ඔහු හිටපු පොලිස් නිලධාරියෙකු ලෙසද දක්වා තිබිණ.පොලිස් නිලධාරියෙකු හට හෝ නාඹර කොල්ලෙකුහට හෝ කහරෙදි පොරවා ඔහු යෝගියෙකු කර ඔහු ලවා රජයට පක්ෂපාතීවන ලෙස ප්‍රකාශ කරවා ඒවාට රජයේ හා ඇතැම් පුද්ගලික පුවත්පත්,ජනමාධ්‍ය,සමාජමාධ්‍යජාලා හරහා අනවශ්‍ය ලෙස ප්‍රචාරයක් ලබාදී පුස් මැට්ටෙකු ආචාර්ය උපාධිධාරියෙකුකර පුම්බා ඉහළට ගෙනඒමෙන් අපෙක්ෂාකර ඇත්තේ කුමන නිර්ලජ්ජිත කාර්යයක්ද යන්න ළඳරුපාසලක උගන්නා කුඩා දරුවෙකුට වුවද වැටහෙනු ඇත.

මේ බොරුකාරයාව කරළියට රැගෙන ඒමට පෙර අවම තරමින් බොරුව ඇත්තක් ලෙස කියාපෑමට අවශ්‍ය වූ වාතාවරණය වත් සකස්කිරීමට මඳක් විමසිලිමත්වීමට තිබිණ. අවුරුදු 25ක පමණ පුද්ගලයෙකුට අඩුම ලෙස අපගේ රටේ ප්‍රථම උපාධියවත් සම්පූර්ණ කිරීමට නොහැකි කාලරාමුවක ප්‍රථම උපාධියේ සිට ඉහළට තවත් උපාධි දෙක,තුනකට පසු ලබන විශ්වවිද්‍යාලීය උපාධිවල අවසාන ඉහළම උපාධියවන ආචාර්ය උපාධියට ළං වීමට වත් ඒ ව්‍යාජව දැක්වූ පුද්ගලයා නොසෑහෙයි. ඒ තැනැත්තා අඩුම තරමින් අපොස සාමාන්‍ය පෙළවත් සමත්ව නැතිබවට ඒ පුද්ගලයා විවිධ පුවත්පත්,ජනමාධ්‍ය,සමාජමාධ්‍යජාලාවල දක්වා ඇති විවිධ අදහස් අනුව නම් පැහැදිලිව පෙනීයයි. උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ප්‍රථම උපාධිය ලබද්දී විශ්විද්‍යාලවල පවතින විවිධ තත්ව නිසා ස්වභාවික ප්‍රමාදවීම් සිදුවේ.පසුව ශාස්ත්‍රපති බඳු පශ්චාත් උපාධිවලට ලියාපදිංචිව ඒ සඳහා විභාග ලියා ප්‍රතිඵල එනතුරු සිට උපාධි ප්‍රදානෝත්සව පවත්වා පසුව දර්ශනපති ආදි උපාධිවලට පෙනී සිට ඒ සඳහා තවත් වසර දෙකතුනක් කාලය පර්යේෂණ නිබන්ධන ආදියලියා නිබන්ධ පරීක්ෂණවරු ඒවා පරීක්ෂා කර වාර්තා එනතුරු බලාසිට පසුව ලිඛිත, වාචික පරීක්ෂණවලට පෙනී සිට ප්‍රතිඵල ලැබෙනතුරු කල් ගත කළයුතුය. ඉන් පසුව ආචාර්ය උපාධි නිබන්ධ සැලැස්ම ලියා ඉදිරිපත් කර අනුමත කරගත යුතුය. පසුව වසර තුනත්,පහත් අතර කාලසීමාවලදී නිබන්ධනය ලියා එයද පරීක්ෂණවරු පරීක්ෂා කර වාර්තා එනතෙක් කල්ගතකර පසුව වාචික පරීක්ෂණවලට පෙනී සිට ප්‍රතිඵල එනතුරු සිට ආදී වශයෙන් කෙනකුගේ මැදිවයස හා මහළු වයස තෙක්ම ආචාර්ය උපාධිය ලැබීම සඳහා අවම වශයෙන් අවු 45 වත් මෙරටදී නම් කල්ගතවන වාතාවරණයක නලුවෙකු,රූපලාවන්‍ය ශිල්පියෙකු බඳු ඉතා ලාබාල කොලුගැටයෙකුට ආචාර්ය උපාධිනාමය දී ආචාර්යවරයෙකු ලෙස බෞතිස්මකරවා ඔහුගෙන් දේශපාලන පිටකැසීම් කරවා ගැනීම ඉතා නිර්ලජ්ජිතය. මෙරට ජාතික විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධි නිබන්ධන ඉදිරිපත් කිරීමෙන් පසුව නිබන්ධ පරීක්ෂණවරුන් ඒවා නිරීක්ෂණය කර ඒවායේ වාර්තා එනතෙක් කොපමණ කාලසීමාවක් වැයකළයුතු දැයි මෙරට ජාතික විශ්වවිද්‍යාලයක ඕනෑම විෂයක් යටතේ පශ්චාත් උපාධියක් කළ සෑම විද්‍යාර්ථියෙකු දන්නා පොදුකාරණයකි.

 

නලුවෙකු මෙන් ඉතා හුරුබුහුටි මටසිලිටි කෝමල රූපලාලාත්‍යයක් ඇති ගැටවරයෙකුට කහරෙදි පොරව ඒ පුද්ගලයා යෝගිවරයෙකු පරිදි වෙස්ගන්වා ඉන්පසුව ඔහුගෙන් වන්දිභට්ට කාර්යභාරය ඉටු කරගැනීමට කැස කැවීම මේ රටේ සාමාන්‍ය ජනතාවගේ බුද්ධියට නිග්‍රහ කරවීමකි. කෙනෙකු යෝගාචරයෙකු,තවුසෙකුවීමට ගිහි දිවිය කළ කිරී තිබිය යුතුය. සැබෑවටම එබඳු අය යළිත් සමාජගතවී,දේශපාලන පොරපිටියට වන්දිභට්ට කම් කිරීමට,කාන්තාවන්ට දරුවන් හැදීමට,සාර්ථක විවාහ ලිංගික ජීවිත සඳහා උපදෙස් සැපයීමට යොමුවීමේ අවශ්‍යතාවයක් නැත.අනික යෝගී දිවියකට අභිනිෂ්ක්‍රමණය කිසිසේත් ළමා වියේ නොසිදුවියහැක්කේ එහිදී තනිතීරණ ගැනීමට නොහැකි බැවිනි.තරුණවියේදී ගිහි දිවියෙන් යෝගීතවුස් පැවිද්දට යොමුවූවෙකු මඳකට හෝ එහි අත්දැකීම් ලැබියයුතුය.එසේ යෝගී දිවියක අත්දැකීම් ලබා යළිත් සමාජගතවීමේදී අවම තරමින් ඒ පුද්ගලයා මහළුවිය ගතවී තිබිය යුතුය.එසේම තවුස් දිවිය,පැවිද්ද දුෂ්කරය.එසේ දුෂ්කර දිවියක් ගෙවූ අයෙකුට එහි සලකුණු වශයෙන් මානසික,කායිකව එය ප්‍රදර්ශනය වියයුතුය.මැසි මඳුරුවෙකු නොවැසූ සුඛෝපභෝගී ඉසුරුමත් දිවියක් ගෙවූවෙකුගේ සිරුරක හැඩයෙන්,පැහැයෙන්,පෙනුමෙන් යුතුව තමන් යෝගියෙකු බව යම් අයෙකු කියන්නේ නම් එයහුදු නලුවෙකුගේ කටයුත්තකට වඩා අන්යමක් නොවූවක්බව අපට සිතාගත හැක. වායුසමනය කළ අතිසුඛෝපයොගී මන්දිරවල වෙසෙන මෙබඳු යෝගීන් දේශපාලනයෙහිදී මිසක සාමයික පසුබිමතුළ සත්‍ය වශයෙන්ම අපට නම් දැකගත නොහැකිය.කෙනෙකු ආචාර්ය උපාධියක් ලැබීමේදී උපාධිය හුදු කඩදාසි කැබැල්ලක් පමණක් උරුමකර ගැනීමක් නොව විචාරපූර්වක,බුද්ධිමය වශයෙන්ම ඒ පුද්ගලයා තුළ සාමාන්‍ය නූගත් පුද්ගලයෙකුට වඩා සුවිශේෂී යමක් දැකගත හැකිවිය යුතුය.නමුදු අප දකින පරිදි විවිධවූ ජනමාධ්‍ය හා සමාජජාලාතුළ අට ශ්‍රේණිය සමත් පුද්ගලයෙකුටත් වඩා අන්තලෙස ඉතා අව්‍යක්ත,ලාබාල ලඳ බොළඳ කියුම්,කෙරුම්,අදහස්,ආකල්ප ප්‍රකාශ කරමින් මේ පුද්ගලයා සිදුකරනුයේ ඔහුගේ සේවය අවශ්‍යතාව ඇතිව ඔහුට යටිතල පහසුකම් සපයන සියලු වරදාන ලබාදෙන දේශපාලන පක්ෂයට වන්දිභට්ටකම් සිදුකිරීම පමණක්බව ඒවා නරඹන බොහෝදෙනෙකුට මේවන විට අවබෝධවී හමාරය.නෙත් එෆ්.එම්.බැලුම්ගල හා සෙසු ජනමාධ්‍ය හා සමාජ ජාලාවල ඔහු පිළිබද විචාරපූර්වකව සිදුකෙරී ඇති සොයාබැලීම්වලදී මේ පුද්ගලයා හුදු බළල් අතක්සේ යොදවා ව්‍යාජ අනන්‍යතාවක් ගොඩනඟාගෙන සමාජය රවටන්නෙකුබව ඔප්පුවී හමාරය.

ත්‍රිපිටචාකාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත

 

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ (PhD)

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12077841
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12089091
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9574680
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9477353
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9304278
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'