Logo

 

මේ අප පැතූ යහපාලනය ද?

- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ විසිණි.



 

බලයට පත්වන එකඳු රජයක් වත් දුන් පොරොන්දු ඉටුකර නොමැත.සෑම රජයක්ම බලයට පත්වීමට පාලන බලය ලබා ගැනීම සඳහා ජනතාවට විවිධ පොරොන්දු ලබා දෙති. පක්ෂ පාට භේදයක් නැතිව එදා සිට මේ දක්වා බලයට පත්වූ සෑම රජයක් විසින්ම අඩුවැඩි වශයෙන් මේ ක්‍රමයට මේ රට පාලනය කරන ලදී. එක්කෝ මෙරටේ වැසියෝ අමුම අමු මෝඩයෝය. එදා මෙදා තුර ඔවුහු සිය චන්දයෙන් බලයට පත්කරනුයේ බලකාමී, බලලෝභී, අදමිටු, අත්තනෝමතික, ආත්මාර්ථකාමී රජයන්ය. සෑම චන්දයකට වරක්ම බොරු පොරොන්දු මාලාවකට රැවටෙන මේ මෝඩ චන්දදායකයෝ යළියළිත් අමන නරි රැළක් වන් පිරිසක් තමන්ව පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තුව වෙත තෝරා පත්කර හරිති. එලෙස තමන් වෙනුවෙන් තමාව පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තුව වෙත තෝරා පත්කර ගන්නා පිරිසට එලෙස රටක පාලනය බලය හෙබවීම පිණිස තිබිය යුතු අවම සුදුසුකම්වත් නොසලකා මේ අයුරින් ඔවුන්ට චන්දය ලබා දෙන බව නිදහස ලබා මෙරට තුළ පැවැත්වූ සෑම චන්දයකම ප්‍රතිඵල ලෙස බැලූ විට මනාව පැහැදිලි වන කාරණයකි. ගමේකමට, චණ්ඩිකමට, පාතාල මැරයෙක්ව පිරිස් බලය තිබූ පමණින් ඒ එකම සුදුසුකමකොට ගෙන පාර්ලිමේන්තුව වෙත අපේක්ෂකයන් තෝරා පත්කර හැරීමට බහුතර චන්දදායකයෝ ඉතා හොඳින් සැදී පැහැදි එකත්පසකව සිටිති. චන්ද කාලයට බෙදාදෙනු ලබන රුපියල් දාහට, අරක්කු වීදුරුවට, බත් පාර්සලයට, වතුර බෝතලයට, සිල් රෙද්දට, මහන මැෂිමට, සෙවිලි තහඩුවට, වැසිකිලි පෝච්චියට තමන්ට හිමිව තිබෙන වටිනා චන්ද වරම නාස්ති කරගෙන අවම තරමින් අට පාස් සාමාන්‍ය කම්කරුවෙකුහට තරම්වත් සුදුසුකම් නැති කසිකබල් දේශපාලුවන් පිරිසක් පාර්ලිමේන්තු යැවීමට මෙරට සාමාන්‍ය චන්දදායකයෝ කටයුතු කරති. එම කසිකබල් දේශපාලුවෝ පාර්ලිමේන්තු ගොස් සිදුකරනුයේ සතපහක්වත් නොවටිනා දේවල්බව ජනසන්නිවේදන මාධ්‍ය මඟින් විකාශය කරන සජීවී පාර්ලිමේන්තු කතාබහ, හැසිරීම්වල ඇති තිරිසන්බව අනුව පැහැදිලිව පෙනීයයි.

තමන් බලයට පත්වීමට පෙර ලබාදුන් පොරොන්දු ඉටුනොකිරීම පිළිබඳව බලයට පත්වූ පසු විමසීමේදී ඔවුන් සෑම අයෙකුගේම පිළිතුරවනුයේ ඊට පෙර රජය විසින් නොතකා හරිනු ලැබූ එබඳු පොරොන්දු පිළිබඳව සිහිපත්කිරීමක් වන අතර ඔවුන්ව ජනතාව ප්‍රතික්ෂේපකර තමන්ව බලයට පත්කලේ ජනතාව විසින් ප්‍රතික්ෂේපිත අයකළ දේවල් කිරීමට නොවන බව තේරුම් ගැනීමට තරම්වත් මොළය කළඳක් නැති මැටි හරක් වීම ජනතාවගේම අභාග්‍යයකි. බලයට පත්වීමට පෙර බලයේ සිටි රජයේ වැරදි, වංචා, දූෂණ, නාස්ති, සම්පත් අවභාවිතය, සුදුස්සාට සුදුසු තැන නොදීම, නුසුදුස්සන් රජකරවීම ආදී විවිධ අයථා දේ පිළිබඳව පමණටත් වඩා උනන්දුවන කපටි දේශපාලකයෝ ජනතාව ගොනාට අන්දවා කෙසේ හෝ කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ මෙරට පාලන බලය ලබාගැනීමෙන් පසුව හැසිරෙනුයේ නුහුගුණකාරයන්, අන්ධයන් හා බිහිරන් ලෙසටය. එලෙස බලයට පත්වන සමහරු රටේ නීති රීති පද්ධතිය පවා උපයෝගී කරගනුයේ තමන්ට ප්‍රතිපක්ෂ දේශපාලන පක්ෂ හා දේශපාලනඥයින්ට මර්ධනයකර ශක්තිමත් විපක්ෂයක් නොවීමේ වාසිය ලබා සිය පාලන ඒකාධිකාරය තවදුරටත් ශක්තිමත් කරගැනීම වෙනුවෙනි. නිදහසින් පසු මෙරට පාලනය කළ සෑම දේශපාලන පක්ෂයක්ම හා දේශපාලනඥයෙක්ම අඩුවැඩි වශයෙන් මෙය භාවිතාකොට තමන්ට ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ, කණ්ඩායම් හා පුද්ගලයන් නිහඩ කරවා තිබේ. ඒ අතරතුරම මෙරට පාලන බලය හෙබවූ අදූරදර්ශී බලලෝභී දේශපාලන ක්‍රියාදාමය හේතුකොටගෙන මෙරට දශක තුනකටත් අධික කාලයක් තිස්සේ දිගින් දිගට ඇදී ගිය ජනවාර්ගික ගැටලුවක්ද ඒ ගැටලුවට අදාළ යුද්ධයක්ද පැවතිනි. දැනට යුද්ධය නිමාවී ඇති නමුදු ජන වාර්ගික ගැටලුවට තවම යෝග්‍ය දේශපාලන විසඳුමක් ලැබී නැත. බොරදීයේ මාලු බෑමට දේශපාලුවෝ කවදත් සමතුන්ය. ඒ බව කදිමට සනාථ කරමින් හැකි සෑම අවස්ථාවකදීම දේශපාලුවෝ සිදු කරනු ලැබුවේ හැකිතරම් අවස්ථාවාදීවීම මිසක අවංකව මේ රට ගැනවත් මේ රටේ ජනතාව ගැනවත් කල්පනාවට ගෙන හෘදයශාක්ෂියට එකඟව කටයුතු කිරීම නොවේ. එක් පාර්ශවයක් දේශපාලන විසඳුමකට සූදානම් වෙද්දී ඊට ප්‍රතිපක්ෂ අනෙක් පාර්ශව විසින් සිදු කරනුයේ බලලෝභීව ඒ සියලු කාර්යයන් කඩාකප්පල්කිරීමට ජනතා ආවේග ජනතා නැගිටීම් මෙහෙයවීමට දරදිය ඇදීමත්, ඊට උල්පන්දම් ලබාදී යලි තමන්ට පාලන බලය ලබාගැනීමට ඉතා කූඨ හා නිර්ලජ්ජිත ලෙස ද්විත්ව ක්‍රීඩාවක (Double Game) නිරතවීමය. ඒ අනුව ඉතා කැත ලෙස ජාතිවාදය, කුල වාදය, ආගම්වාදය බඳු අන්තවාද ඇද ඔස්සේ ජනතා ආවේග ප්‍රකෝපකාරීවන ලෙස පෙළඹවීමයි. මේ පෙළඹවීම් සිදු කිරීම සඳහාම විවිධ කණ්ඩායම්, පුද්ගල බලවේග සමාජයතුළම නිර්මාණයකොට ඊට රහසේ දරදිය ඇඳ ඒවාට සන්නිවේදන මාධ්‍ය හරහා ප්‍රබල ප්‍රචාරය ලබාදී ප්‍රමුඛ බලවේගබවට පත්කරවා තිබිණ. මේ සෑම දෙයකම ප්‍රතිඵලය නම් තමන්ට හැකි තරම් වාරගණනක්, හැකි තරම් කාලසීමාවක් තුළ පාලය බලය ලබාගැනීමත් රඳවා ගැනීමත්ය.

එයට නිදසුන් කීපයක් දැක්විය හැකියි. සයිටම් ආයතනය ආරම්භකරනු ලැබූවේ රාජපක්ෂ පාලන සමයතුළ වන අතර සයිටම් විරෝධී සටනට වර්තමානයේ නායකත්වය සපයනු ලබනුයේද රාජපක්ෂ රෙජීමයට සහයපල කරන කණ්ඩායම වීම දේශපාලනබලය ලබා ගැනීම පිණිස ඕනෑම දෙයක් කිරීමේ නූතන දේශපාලන න්‍යාය තහවුරුවන අවස්ථාවකි. රාජපක්ෂ පාලන සමයතුළ මහජන බදු මුදල් රජයේ සුඛෝපභොගී පැවැත්ම උදෙසා අධික ලෙස නැති නාස්ති කිරීම පිළිබඳව යළියළිත් මැතිවරණ වේදිකාවල මරහඬතැලූ නුතන රජය නූතනයේ මහජනතාවගේ අයබදුප්‍රමාණය වැඩිකර ඉන් උපයාගන්නා මහජන බදුමුදල් ජනාධිපතිවරයාගේ, මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සුඛෝපභොගීත්වය වෙනුවෙන් අතමිට දිගහැර වියපැහැදම් කිරීම පිළිබඳ දක්වන නිහඬ මුනිවත අතිශයින්ම දෝෂ සහගතය. අවම තරමින් පහුගිය අලුත් අවුරුදු කාලසීමාවේවත් අත්‍යවශ්‍ය භාණ්ඩවල පාලන මිල ස්ථාවර ලෙස පැවැත්වීමට රජය උනන්දු නොවීය. නමුදු රාජපක්ෂ පාලන සමය තුළ රටේ විශාල යුද්ධයක් පවතිද්දී පවා පාලන මිලක් අතවශ්‍ය භාණ්ඩ උදෙසා පවත්වා ගැනීමට ඒ රජයට හැකියාව තිබිණ. ඊට සමගාමීව රටේ විශාල භෞතික සංවර්ධනයක් ඇති කිරීමටද ඒ රජයට හැකිවිය. කෙතරම් දූෂණ වංචා සිදුකළත් මේ රටේ මහාමාර්ග පද්ධතිය අති නවීන තත්වයකට සංවර්ධනය කර අධිවේගී මාර්ග රටපුරා දැවැන්තව ඉදිකිරීමට තරම් ආර්ථික ශක්තියක් පැවති රාජපක්ෂ රජයට තිබිණ.නමුදු පැවති රජයට දෙස්දෙවොල් තැබීමටත්, පැවති රජයේ දේශපාලඥයන් මහාපරිමාණ වංචා දූෂණ කොමිසම වෙත ගෙනයාමටත් මිසක මේ රජයට රාජපක්ෂ රජය සිදුකළ සංවර්ධන ක්‍රියාවළියේ අංශු මාත්‍ර ප්‍රමාණයක්වත් මේතාක් ඉටුකරගත හැකි නොවුනු බව පැහැදිලිය.පැවති රජයේ ජනාධිපති නොව ඔහු වටා සිටි පිරිස වංචා දූෂණ හොර මැරකම්වල යෙදුනු බව මේ රජය බලයට පත්වීමට පෙර ප්‍රකාශකර සිටි බව පළ විය. එය මැතිවරණ සමයේදී ප්‍රබල චන්ද තුරුම්පුවක් ලෙස ජන සන්නිවේදන මාධ්‍ය ඔස්සේ යළියළිත් හුවා දැක්වීමේ හේතුව මත හිටපු ජනාධිපති පරාජයකර ජනාධිපතිවරණයෙන් නව ජනාධිපතිවරයෙකු බලයට පත් විය. නමුදු නව ජනපතිවරයා වටා සිටිනුයේද පරාජයට පත්වූ හිටපු ජනාධිපතිවරයා වටා සිටි අන්ත දූෂිත බලලෝභී පිරිසමය. දැන් පරාජයට පත්කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා මිසක ඔහු වටා සිටි දූෂිත පිරිස නොවේ. හිටපු ජනාධිපති වටාසිට විවිධ දුෂණ මගඩිවල නිරතවූ පිරිස නව ජනාධිපතිවරයා වටාද එක්රොක්ව ඔවුන්ගේ සුපුරුදු දූෂිත මඩඩිවලම යෙදී සිටිති. එවිට සැබෑවටම සිදුවී ඇත්තේ මුහුණු වෙනස්කිරීමක් මිසක ක්‍රියාදාමයේ වෙනසක් නොවේ. නමුදු ජනතාව සැබවින්ම අපේක්ෂා කලේ පැවති දූෂිත ක්‍රමය වෙනස් කිරීමකි. නමුදු දැන් ජනතාවට ලැබී ඇත්තේ මුහුණු වෙනස් කිරීමකින් පමණක් සෑහීමකට පත්වීමටය. මෙය මේ ජනාධිපතිවරයා බලයට පත් කිරීම සඳහා බහුතර චන්දය ලබා දුන් මෙරටේ වැඩකරන සාමාන්‍ය මහජනතාව සැබවින්ම බලාපොරොත්තුවූ යහපාලනය නම් නොවේ. නමුදු එය මෙරට වැඩ කරන බහුතර මහජනතාවගේ පාර්ශවයෙන් සැලකූවිට ඉතා අවාසනාවන්ත කාරණයකි. මනාප ක්‍රමය මත කිසිදු දේශපාලන සුදුසුකමක් හෝ දැන උගත්කමක් නැති පාතාල මැරයන්, මදාවියන්, ස්ත්‍රී දූෂකයන්, විවිධ දූෂිත පුද්ගලයන් චන්දයෙන් මහජන නියෝජිතයන් ලෙස උත්තරීතර පාර්ලිමේන්තුවට තේරී පත් විය. ප්‍රතිවිරුද්ධ දේශපාලන කණ්ඩායම් හා පුද්ගලයන් මර්දනය කිරීමට තමාට හිමිවන පාතාල සහය සලකා විවිධ ජනාධිපතිවරුද මෙබඳු අන්තවාදී ආගමික කණ්ඩායම්,පාතාල කල්ලි පවත්වාගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් සැලසීමට යොමුව සිටීම සමාජයේ ව්‍යාප්තව ඇති සමාජ අර්බුදවලටද ප්‍රබල හේතුවක් බව විචාරක පිරිස් දක්වති.

එසේම පාලන බලයට පත්වූ සෑම රජයකටම මෙරට පාලනය කිරීම සඳහා කිසිදු පැහැදිලි ප්‍රතිපත්තියක් තිබී නැත. ඔවුන්ගේ රාජ්‍ය පාලනය එදා වේල ටුවර්ස් හා සමානය. ජනතාව රැවටීමට ඔවුන්ට ඔවුන්ගේ සැබෑ ප්‍රශ්න යටපත් කර හැකිතාක් වැඩිම කාලයක් බලය රැක ගැනීමට මිසක මහජනතාවගේ සැබෑ ගැටලු විසඳීම සඳහා සැලැස්මකට අනුව සිය පාලන බලය මෙහෙයවීමක් අද මෙරට සත්‍ය වශයෙන්ම දැක ගැනීමට නොහැකිය. එසේ පාලන බලය රැක ගන්නා අතර තමන්ට එලෙස පාලනය බලය ලබාගැනීම සඳහා විවිධ අයුරින් දරදිය ඇඳි සහචර පිරිස්වලට මේ රට කාබාසිනියා කර තමන්ගේ මල්ල පුරවා ගැනීම සඳහා විවිධ වරදාන,වරප්‍රසාද,තාන්න මාන්න නිලතල ආදී ලබා දෙමින් ඒ සඳහා වැයවන මහජන බදුමුදල් කාබාසිනියා කිරීම හැරුනවිට අද මෙරටතුළ සිදුවන කිසිදු ක්‍රමික සංවර්ධන කටයුත්තක් දැකගත නොහැකිය. වරින් වර ජන සන්නිවේදන මාධ්‍ය හරහා මහජනතාවට සිදුවන විවිධ හිරිහැර කරදර හා අවාසනාවන්ත සිදුවීම් පිළිබඳ පුවත් මඟින් පැහැදිලිව දැකගත හැකි කරුණ නම් අද මෙරට තුළ සිදුවන ගැත්තන් පිනවීමට වරදාන ලබාදීම හා කිසිදු ක්‍රමවත් සැලැස්කමට අනුව මෙරට පාලනය නොවන බවයි. ඒ සියල්ල හරහා වක්‍ර ලෙස ජනතාවට සන්නිවේදනයවනුයේ කුමක්ද? යළිත් වරක් මෙරට පාලන බලය වෙනසක් සිදු කළයුතු කාලය පැමිණෙමින් ඇතිබව නොවන්නේද? එසේ වුවත් යළිත් වරක් මෙරට පාලන බලය ලබාදියයුතු කාටද කුමන දේශපාලන පක්ෂයටද කුමන පුද්ගලයන්ටද යන ගැටලුව මෙරට බහුතර මහජනතාව ඉදිරියේ ඇත. නිදහසෙන් පසුව බලයට පත්වූ විවිධ දේශපාලන පක්ෂ හා පුද්ගලයන්හට මහජනතාව චන්දයලබා දුන්නේ වසවිෂ අතරින් වඩාත් අඩුම විස සහිත පැත්ත හා පුද්ගලයන් සලකා මිස සැබවින්ම ඔවුන් ප්‍රශස්ත අය නිසා නොවන බව මෙරට බහුතර දේශපාලකයන් තවම නිසි ලෙස වටහාගෙන නොමැතිබව ඔවුන්ගේ කියුම් කෙරුම් අනුව පෙනේ.

 

පසුගිය රජය සමයේ විශ්වවිද්‍යාල කථිකාචාර්ය පත්වීම් ලබාදුන්නේ බේබි හාමුගේ ලියුමට මිසක අපේක්ෂකන්ගේ සුදුසුකම් සලකා නොවේ. රාජ්‍ය ආයතනවලට සාමාන්‍ය කම්කරු පත්වීම් ලබා දෙන්නක් සේ දේශපාලකයන්ගේ නම් ලැයිස්තුවලට විශ්වවිද්‍යාල ඇබැර්තු පිරවීම පසුගිය රජය සමයේ සිට දක්නට ලැබුණු සුබල සිදුවීමක් විය. එය දක්නට නොලැබුණු එකම අවස්ථාව චන්ද්‍රිකා හා ජනතා විමුක්ති පෙරමුණු හවුල් රජයේ පාලන සමයයි. 2005 දී මෙරට රැකියා විරහිත උපාධිධාරීන් 60,000 කටත් අධික ප්‍රමාණයක් එක්වර රාජ්‍ය සේවයට බඳවා ගැනිණ. සෑම රාජ්‍ය ආයතනයකම පැවති පුරප්පාඩු විධිමත් අයුරින් ගැසට්කර එක්වර පැනල 5,6 බැගින් යෙදූ සම්මුඛ පරීක්ෂක මණ්ඩල කීපයක් මඟින් සුදුසුකම් පරීක්ෂා කර රැකියා සඳහා එම රජය සමයේ බඳවා ගන්නා ලදී. ඉන් පසුව පැවති සෑම රජයකදීම මේ විවෘත හා විධිමත් ක්‍රියාදාමය සිදු නොවිය. ඒ වෙනුවට සිදුවූයේ සුදුසුකම් ඇතත් නැතත් තමාට හා තම රජයට පක්ෂපාතී සහචාර පිරිස්වලට දේශපාලන ලැයිස්තුවලට අනුව රාජ්‍ය ආයතන සඳහා බඳවාගැනීම්ය. මෛත්‍රිපාල සිරිසේන නව රජය පිළිබඳවද මෙරටේ උගත් පිරිසගේ බොහෝ බලාපොරොත්තුවූ නමුදු ඒවා එකක් වත් මේ දක්වා ඉටු නොවිණ. රජය බලයට පත්වූ අලුත පැවසී ඇතැම් වහසිබස් පවා මුසාවාද වෙන ලකුණු දිස්විය. ඒ වෙනුවට මේ රජය විසින් සිදුකරමින් පවතින්නේද පැරණි රාජපක්ෂ යුගයේම ක්‍රියාදාමයම බව විචාරබුද්ධියක් සහිත ඕනෑම අයෙකුට පැහැදිලිව දැනහැඳින ගතහැකිය. වරින් වර මෙරට අධ්‍යාපනය අංශය සඳහා ගැසට් මඟින් ප්‍රසිද්ධකර සුදුසුකම් මත තරඟ විභාග පවත්වා බඳවා ගැනීම් සිදුකරන බව මාධ්‍ය මඟින් ප්‍රචාරයකර හැරියද එසේම ක්‍රියාපටිපාටිය සිදු නොවීය.ප්‍රතිඵල ප්‍රසිද්ධකොට තරඟ විභාග පැවත්වුවද බඳවාගැනීම් හා පුහුණුවීම් ප්‍රදානයවූයේ රාජපක්ෂ යුගයේ සිට පැවති දේශපාලන නම් ලැයිස්තු අනුව පැරණි ජරාජීර්ණ ක්‍රමවේදයටම අනුගතව වීම මහත් අවාසනාවකි. ගුරු. සහකාර විදුහල්පති, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ බඳවා ගැනීම්, පුහුණුවීම්, ස්ථානමාරු බඳු දේ තාමත් සිදුවෙමින් පවතිනුයේ හිටපු ඇමති බන්දුල ගුණවර්ධන යුගයේ පැවතියාටත් වඩා අන්ත ඥාතීමිත්‍ර අනුග්‍රහය මත පදනම්වෙමින්වීම මෙරටේ ලක්ෂ ගණනක්වූ ශිෂ්‍ය පරම්පරාවට සිදුවන දැඩි අයුක්තියක් ලෙස දැක්විය හැකිය. ගුරුවරියන්ගේ ඇඳුමේ පමණක් තවමත් එල්ලී සිටින නුතන ලාබාල අධ්‍යාපන ඇමතිගේ අවධානය සැබෑ ගැටලුව කෙරෙහි යොමුවන දිනයක මෙරටේ සැබෑ අධ්‍යාපන ගැටලු සඳහා නිසි පිළියම් හා ප්‍රතිකර්ම යෙදිය හැකිවනු ඇත.

රාජකීය පණ්ඩිත, ත්‍රිපිටචාකාර්ය, අභිධර්ම විශාරද

 

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ (PhD)

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12115530
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12126931
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9614761
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9521349
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9349184
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'