Logo

 

උත්තරීතර මනුෂ්‍ය දහම් පදික වේදිකාවේ සිල්ලරට අලෙවි කිරීම

- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ විසිණි.



දැන් හැමතැනකම රහතන්වහන්සේලාය. සම්මා සම්බුදුවරුය. මින් පෙර කිසි කලෙක නොවූ විරූ පරිදි රහතන්වහන්සේලා සහ සම්මා සම්බුදුවරුන්ගේ රැල්ලක් සමාජයෙහි ඇතිවී තිබේ. මුලු සමාජයම උමතු වීලාදැයි සැක සිතෙන මට්ටමකට මේ තත්වය ඉතා කණගාටුදායක පරිදි උග්‍රව වර්ධනය වී තිබේ. මේ අප පසු කරනුයේ කලියුගයයි. කලියුගයෙහි මිනිස් ගුණධර්ම, උත්තරීතර මනුෂ්‍ය ධර්ම වියැකී යන කාල පරිච්ඡේදයක අපි පසුවෙන්නෙමු. මේ කලියුගය වුවද මෙකල බුදුරදුන් ධරමාන කාලයේදීවත් නොතිබූ අන්දමට මේ අයුරින් රහතුන්වහන්සේලා ලෙස බෞද්ධ භික්ෂූහු පෙනී සිටීම පිළිබඳව අප තුළ සාධාරණ සැකයක් ඇති වේ. කෙතරම් මේ ආධ්‍යාත්මික ගුණධර්ම උත්තරීතර මනුෂ්‍ය ධර්ම ඇඟවීමේ ප්‍රවණතාව පහළ මට්ටමකට බැස තිබේද යත් අද වන විට භික්ෂුවක හැඳින්වීම පිණිස භාවිතයේ යෙදෙන සාමාන්‍ය පර්යාය නාමයක් තරමටම මේ රහතන්වහන්සේ යන්න සාමාන්‍යකරණය වී තිබේ. එහෙම නම් හරි ෂෝක් කියා කෙනෙකුට කිව හැකිය. නමුත් එසේ කිව හැක්කේ ධර්මය පිළිබඳව මඳ අවබෝධයක් හෝ නැත්තෙකුට පමණකි. මෙය ධර්මය පිළිබඳව මඳ අවබෝධයක් හෝ ඇත්තෙකුහට කිසිසේත්ම සතුටු විය හැකි වාතාවරණයක් නොවේ. මන්ද යත් ප්‍රමාණාත්මක හා ගුණාත්මක යැයි යමක දෙපැත්තක් ඇති බැවිනි. ඕනෑම දෙයක ප්‍රමාණාත්මක බව වැඩිවූ පමණින් එය ගුණාත්මක අගයක් ලෙස සැලකිය නොහැකිය. ප්‍රමාණාත්මක බව ගුණාත්මක බව පිළිබඳව බැසගත හැකි ප්‍රමිතියක් හෝ මිණුමක් ලෙස කිසිසේත්ම සැලකිය නොහැකිය. මේ ආධ්‍යාත්මික වටිනාකම් කෙතරම් අද ලඝු වී ඇතිදැයි කිවහොත් සෑම භික්ෂුවක් හැඳින්වීම සඳහාම භාවිතා කරන පර්යාය පදයක් බවට අද රහතන්වහන්සේ යන වචනය පත්ව තිබේ. මෙය සැබවින්ම රහතන්වහන්සේ යනුවෙන් හඳුන්වන සැබෑ ආධ්‍යාත්මික අගය පහත බැසීමකි. මෙයට හේතු රාශියක් තිබේ. රහත්ය යන පදය මෙකල තරම් සිල්ලරට විකිණුන වෙනත් කිසිදු යුගයක් තිබුණිදැයි සැකයක් මතුවන මට්ටමටම රහත් යන්න අන්‍යාගමිකයන්ගේ හාස්‍යයට ලක්ව තිබේ.

රහතුන් යැයි හඳුන්වනුයේ සියලු පස්කම් සුව විඳින භික්ෂූන්දැයි අන්‍යාගමිකයන් විමසන මට්ටම්ටම මේ තත්වය කණගාටුදායක මට්ටමක පත්ව තිබේ. මතුවී ඇති මේ දැඩි අවාසනාවන්ත තත්වය ශාසන භාරව භාරව ක්‍රියාකරන වගකිවයුතු එකදු මහනායක භික්ෂූන්වහන්සේ කෙනෙකුට හෝ නොපෙනීමට තරම් ඒ උන්වහන්සේලාගේ දෙනෙත් සත්‍යය හමුවේ මේ තරම්ම අන්ධව පවතින්නේ මන්දැයි නොවැටහේ. බුදු සසුන වැනසීමට ක්‍රියාකරන බිහිවන පවිටන් මතුබිහිවනුයේද ගිහි පිරිස අතරින් නොව කෂාය වස්ත්‍රධාරී පැවිදි භික්ෂූ පිරිස අතර සිටින අලජ්ජී දුශ්ශීල භික්ෂූන් වෙතින්ම බව බුදුරජාණන්වහන්සේ ත්‍රිපිටක බුද්ධ දේශනාවල සඳහන් කර තිබේ. මෙකල සිවුරේ සිටින බොහෝ පිරිසක් බුද්ධ චීවරයට නිසි ගෞරවයක් නොදක්වති. දිනපතා දකින කුකුළු කරමලය සුදට පෙනෙන්නාක් සේ උපන්දා සිට තමන් හැඳ පෙරවන බුද්ධ චීවරයේ ඇති වටිනාකම මෙරට බහුතර භික්ෂූන්ට නැත.අවම තරමින් ඔවුහු ගිහින් පමණටවත් ඊට ගෞරව නොදක්වති. ඔවුන්ට එය යහමින් සල්ලි හම්බ කිරීමට හඳින ඇඳුමක් පමණකි. මුදල් පමණක්ම නොව අවශේෂ පංචකාම සම්පතම ලබාගැනීමට හොඳ අවියක් ලෙස බුද්ධ චීවරය ඉතා දීන සේ භාවිතා කිරීමට තරම් මෙරට භික්ෂූත්වය පහළ මට්ටමකට බැස තිබීම ඉතා කණගාටුදායකය. බෞද්ධ භික්ෂුවක ලෙස තිබියයුතු අධ්‍යාත්මික සංවරය කෙසේ වෙතත් බොහෝ පිරිසකට අඩුම තරමින් බාහිර සංවරයවත් නැත. හැඳ පෙරවීම් යෑම්ඊම් කතාබහ ආදී සෑම කටයුත්තකදීම බොහෝ පිරිසකගේ කළකිරීමට විනා අඩුම පැහැදීමට අංශුමාත්‍ර ප්‍රමාණයක වත් නූතන භික්ෂූන්ගේ චර්යා දායක නොවීම වෙනත් ආගම් කරා ඇදී යන පිරිස බහුල හා වේගවත් කිරීමට ඉවහල්වී ඇත. ඡත්තපාණි, විසාඛ, චිත්ත වැනි බුද්ධ කාලයේ අනාගාමී මාර්ගඵල ලාභී ගිහි උපාසකවරු විසූහ. ඇතැම් අවස්ථාවලදී බුදුරදුන්ගේද අනුදැනුම මත එබඳු උතුමන් අසංවර ගතිලීලා දැක්වූ භික්ෂූන්ට පවා නිසි මඟ පෙන්වූ ආකාරය ත්‍රිපිටකයේ විස්තර කර තිබේ. අවාසනාවකට මෙන් නූතන ගිහි සමාජය පාලි හා ත්‍රිපිටක දැනුම හා යහ චර්යාව යන කරුණුවලින් ඈත් වී කටයුතු කිරීම ශ්‍රමණ සාරුප්ප නොවන ඇතැම් භික්ෂූන්ට දුශ් ක්‍රියාවලට මාහැඟී අනුබලයක්ව තිබේ.

අර්හත්වය යනු භික්ෂුවකගේ හුදු පෞද්ගලික ආධ්‍යත්මික වටිනාකමක් පමණකි. නමුදු පැවිද්ද සාමූහික අගයකි. බෞද්ධ පැවිදි විනයතුළ සැමවිටකදීම පෞද්ගලික අගයන්වලට වඩා සාමූහික අගයන් බුදුරදුන් අගයකර දක්වා තිබේ. සාමූහිකත්වය කුළුගන්වන සාමූහිකත්වය ඉස්මතුකරවන පැවිද්ද තුළ පෞද්ගලික වටිනාකම් ඉස්මතුකර පෙන්වීම ගැඹුරු බෞද්ධ ඉගැන්වීම් පිළිබඳ ඇති අල්ප දැනුම ප්‍රදර්ශනය වන්නක් ලෙස හඳුනාගත හැකිය. රහතන්වහන්සේ වුවද තමන්ට වඩා උපසම්පදාවෙන් වැඩි පුහුදුන් භික්ෂූන්හට වැඳිය යුතුය. ආචාර්ය උපාධ්‍යාය, සද්ධිවිහාරික හැම වතාවත්ම කළ යුතුය. සිය ශිෂ්‍ය භික්ෂූව රහත් වුවද උපසම්දාවෙන් වැඩිහිටි පුහුදුන් භික්ෂූහු උන්වහන්සේට නොවඳිති. වතාවත් නොකරති. පැවිදි සම්ප්‍රදාය නම් එයයි. පැවිදි විනය තුළ අර්හත්වය අමුතු මැජික් එකක් නොවේ. බුදුරදුන් වැඩවිසූ සමයේ ආනන්ද හිමියන් උන්වහන්සේගෙන් අසුවල් අසුවල් නම් සඳහන් භික්ෂූන් රහතුන් යැයි සමාජයේ ප්‍රසිද්ධ බවත් එය සත්‍යයක්දැයි විමසූ අවස්ථාවේදී එය එතරම් ගණන් නොගෙන බුදුරදුන් ප්‍රකාශ කරනුයේ සිය ධර්මය මැනවින් දුක් කෙළවර කිරීම හෙවත් අර්හත්වය පිණිස දේශනා කළ බවත් එය අනුගමනය කර නිෂ්ටාව වූ අර්හත්ව ඵලය ශාක්ෂාත් කිරීම එතරම් ලොකු පුදුමයක් හෝ අරුමයක් නොවන බවත් පමණකි. එය අරුමයක්, මැජික් එකක්වනුයේ කාමය හිස මුදුනේ තබාගෙන ඊට වන්දනාමාන කරන නූතන සමාජයට මිසක සැබවින්ම ධර්මයේ හැසිරෙන අයට නොවේ. එබැවින් මේ ඊනියා රහතුන් මැජික් පෙන්වන්නේද නිවැරදි බුදු දහම නොදැන ජාති අන්ධයන් විලස කාමගරුකව ප්‍රතිපත්තිහීනව වෙසෙන නූතන සංකර සමාජයේ බහුතර දෙනෙකුට මිසක සැබෑ ප්‍රතිපත්තිගරුක අයට නොවේ. මෙහි කණගාටුවට කරුණ නම් නූතන සමාජයේ බොහෝ පිරිසක් ප්‍රතිපත්තිගරුක නොවීම සහ ප්‍රතිපත්තිගරුක සුලුතරය ඔවුන්ගේ මත වාද ආකල්ප මඟින් පාලනය කරවීමට සැක කැවීමත්ය.මේ ඊනියා සෑම රහතෙක්ම වසර කීපයකට හෝ මහවන කැලෑවැද භාවනා වැඩූවන් බව ඔවුන් පෙරට දමා ඝෝෂාකරන කසකරුවෝ යළියළි සපථකරති. මේ නොකියා ප්‍රකාශකරනුයේ ඔවුන් කට්ටකා විමුක්තිය ලද්දවුන් බවය.එසේ විමුක්තිය ලද්දවුන් මෙසේ යූටියුබ්,මුණුපොත්,ට්විටර්,ගූගල් ආදී වෛවාරන්න විද්‍යුත් සන්නිවේදන ජාලයන්තුළ ජාලගත කිරීමෙන් ඔවුන් මෙහෙයවීමෙන් යහමින් මුදල් උපයා මඩිතර කරගන්නා කසකාර පුහු ඝෝෂකයන් අපේක්ෂාකර ඇත්තේ සැබවින්ම කුමන අරමුණක්ද? ඡායාරූප සංස්කරණය කිරීමට භාවිතාකරන පරිගණක මෘදුකාංග වන පොටෝෂොප් කොරල් ඩ්‍රෝ ආදී මෘදුකාංග මඟින් මේ ඊනියා රහතුන්ගේ සේයාරූවල හිසට උඩින් රැස්වලලු සකස් කරවා ඒවා විද්‍යුත් සන්නිවේදන මාධ්‍ය ජාලතුළ පළකරවා මුදල් ගැරීමේ ව්‍යාපාර මිසක අධ්‍යාත්මික වශයෙන් මේවායේ කිසිදු ගතයුත්තක් නැතිබව බොහෝ වගකීම් සහිතව ප්‍රකාශකළ හැකිය.

අද සමාජයේ ගිහි පැවිදි බොහෝ දෙනෙකු ලබන අධ්‍යාපනය විද්‍යා හා තාක්ෂණ අංශයට බරවූවකි. අද පිරිවෙන්වලද පුරාණයේදී තරම් සාර්ථක අධ්‍යාපන ක්‍රියාවලියක් සිදු නොවේ. භික්ෂු පුහුණු ආයතන හුදු නමක පමණකි. භික්ෂු විශ්වවිද්‍යාල ඊටද වඩා පහත් මට්ටමකට ඇද වැටී තිබේ. අනුරාධපුර බුද්ධ ශාවක භික්ෂු විද්‍යාලයේ ත්‍රිපිටකවේදී උපාධි හුදු බෝඩ් ලෑල්ලකි. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල ගැන කතා කිරීම පවා අපුල උපදවන්නකි. මම ද ගිහියෙකු ලෙස එම විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර හා බාහිර උපාධි හා ඩිප්ලෝමා පාඨමාලා රැසක් වසර ගණනාවක සිට අධ්‍යයනය කර ඇති බැවින් එහි අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය මතුපිටින් නොව ඇතුලතින්ම මුලුමනින්ම හොඳාකාරවම දනිමි. ඊට අමතරව කැලණි විශ්වවිද්‍යාලය ඇතුළු මෙරට ජාතික විශ්වවිද්‍යාල කීපයක පාලි හා බෞද්ධ අධ්‍යයන අංශවල විවිධ උපාධි හා පශ්චාත් උපාධි ආචාර්ය උපාධි මට්ටම තෙක් අධ්‍යයනය කර ඇති බැවින් ඒවායේ උගන්වන හා ඉගෙනුම ලබන බෞද්ධ භික්ෂූන්ගේ දෙබිඩි ක්‍රියාකාරීත්වය මනාව හඳුනමි. එබැවින් සාමාන්‍ය සමාජයේ බොහෝ දෙනෙකු දැන් දැන් දොඩමළු වන මේ ඊනියා රහතන්වහන්සේලා යැයි ඔවුන් විසින්ම කියා ගැනීම සහ ඔවුන්ගේ ක්‍රියාකලාපය මට නම් මතු කරවන්නේ හුදු හාස්‍ය රසයකට නොවැඩි යමක් බව කිව හැකිය. නමුදු සමාජයේ වැඩි දෙනෙකුට එසේ නොවේ. අද මෙරට ඉතා ගැඹුරු මට්ටමින් පාලි හා ත්‍රිපිටක බුදු දහම පිළිබඳව විෂයානුබද්ධ ශාස්ත්‍රීය අධ්‍යයන හා පර්යේෂණවල යෙදෙන විද්‍යාර්ථීන් හා ආචාර්යවරු නොමැති තරම්ය. මේ ඊනියා හොර රහතුන් යැයි කියා ගන්නා කපටීන් රිංගන්නේ මෙන්න මේ හිඩසෙනි. වැඩි දෙනෙකු නොදන්නා විෂයක් නොදන්න දෙයක් පිළිබඳව බඩපිණුම් ගැසිය හැකිබව හඳුනාගන්නා ගිහි පැවිදි කපටි කට්ට කෛරාටික කම්බ හොරු බුද්ධාගම යහමින් සල්ලි හම්බකිරීමට හොඳ මාර්ගයක් කරගෙන සිටිති. ඒ සඳහා ජනසන්නිවේදන මාධ්‍ය හරහා බුදුවරු හා රහතන්වහන්සේලා ලෙස පෙනී සිටීමට, දේශන අන්තර්ගත වීඩියෝ යූ ටියුබ් වැනි විද්‍යුත් සන්නිවේදන මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් මහජනතාව ආකර්ශණය කරවාගැනීමට වෑයම් කරමින් පසුවීම මේ යුගයේ දැකිය හැකි සුලබ දසුනක් වී තිබේ. හතුපිපෙන්නාක් පරිදි රහතන්වහන්සේලා මතුවීම බුදුරැස් විහිදීම, ධාතුන්වහන්සේලා මතුවීම වැනි බුද්ධාගමේ නාමයෙන් සිදුකරන විවිධ සෙප්පඩ විජ්ජා මායාවල්වල තවත් එක් දිගුවක්බව හඳුනා ගැනීමට විශාල බුද්ධියක් හෝ බුදු දහම පිළිබඳ ආචාර්ය උපාධියක් අයෙකුට තිබිය යුතු නොවේ.

 

බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම් ස්වකීය ධර්ම දේශනා ලෙස ඉදිරිපත් කර එමඟින් රුපියල් ලක්ෂ ගණන් කිසිදු ආදායම් බදු ගෙවීමකින් තොරව ඉතා පහසු ලෙස උපයාගත හැකි කදිම ක්‍රමවේදයක් භික්ෂූන්හට බුද්ධාගමේ නාමයෙන් විවෘතව තිබේ. වෙන කිසිදු රැකියාවකින් මේ තරම් විශාල ධනස්කන්ධයක් ඇගට පතට නොදැනී උපයා සපයාගත නොහැකිය. මේ හේතුව නිසා භික්ෂූන්ට වෙනත් රැකියාවක නියැලීමේ කිසිදු අවශ්‍යතාවයක් හෝ ඕනෑකමක් තිබිය නොහැකිය. නමුදු සැබෑ තත්වය එසේ නොවේ. භික්ෂූන් තරම් මේරටතුළ පූර්ණ කාලීන හා අර්ධකාලීන රැකියාවල නියැලී මුදල් උපයන වෙනත් පිරිසක්ද නැත. ව්‍යාපාරියෙකු හෝ වෙනත් ඕනෑම වෘත්තිකයෙකු තමන් උපයන ආදායමට සරිලන ලෙස ආදායම් බදු රජයට ගෙවති. නමුදු බෞද්ධ භික්ෂූන් අසීමිත ධනස්කන්ධයක් උපයද්දී විහාරස්ථාන ආදියට ගෙවියයුතු දුරකථන,විදුලි බිල්,අන්තර්ජාල බිල් ආදියටද විශාල සහන ලබාගනිති. බෞද්ධ විහාරස්ථාන සතු ශාලා, ගොඩනැඟිලි, ඉඩකඩම් ව්‍යාපාරික කටයුතු සඳහා දීර්ඝකාලීන බදු දෙමින් ඒවායින්ද විශාල ආදායමක් උපයාගන්නා අතර ආගමික කටයුතුවලදී එකතුවන ආදායමද කිසිදු බදු ගෙවීමකින් තොරව ලබාගනිති. මේ අනුව සාමාන්‍ය ගිහියෙකුටද වඩා පංචකාම සම්පත්තිය අනුභව කරන භික්ෂූහු විශාල පිරිසක් වෙති. මේ අනුව යානවාහන,ඉඩකඩම්,විහාරස්ථාන ලෙස හඳුන්වන මහාමන්දීර, නොයෙකුත් සුවපහසුකම් ස්ත්‍රී සැප ආදී මුදලට ලබාගත හැකි සියලුම සැපහසුකම් භුක්තිවිඳින මතුපිටින් කහරෙදි හඳින භික්ෂූන් සේ පෙනී හිඳින නමුදු මතුපිටින් ගිහින්ටත් වඩා කම්සැප විඳින භික්ෂූහු තමා අරහත් යැයි ප්‍රසිද්ධ කිරීම ඉතා හාස්‍යජනකය. ලාභසත්කාර උපදවන මඟ එකකි නමුදු සෑබෑ දහම්මඟ එයට ප්‍රතිපක්ෂ වූ වෙනත් මඟකි.

 

රාජකීය පණ්ඩිත, ත්‍රිපිටචාකාර්ය, අභිධර්ම විශාරද

 

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ (PhD)

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12107027
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12118220
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9606884
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9513148
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9341488
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'