Logo

 

වාස්තවිකත්වය, පටිච්චසමුත්පාදය, හා ක්වොන්ටම් භෞතිකය

- මහින්ද පතිරණ විසිණි.



වාස්තවික ලෝකයක් පිළිගැනීම හෝ නොපිළිගැනීම බුදුදහමට කිසිදු ගැටළුකාරි තත්වයක් ඇති කරන්නේ නැත. වාස්තවික ලෝකයක් තිබුණ ද නොතිබුණ ද බුදුදහම වදවෙන්නේ ඒ ගැන නොවේ. මන්ද බුදුදහම ලෝකය පිළිබඳ ඉදිරිපත් කරන ලෝක විවරණය ඒ දෙකට ම මැදින්- එනම් යමක් ඇත හෝ නැත යන අන්ත දෙකට ම මැදින් යන මධ්‍යම මාර්ගය නිසා ය. ඇත්ත වශයෙන් ම බෞද්ධයෙකුට යමක් ඇත හෝ නැත ලෙස එක් අන්තයකට කොටුවිය නොහැකි ය. ඇත හෝ නැත යනුවෙන් අන්තයක් ගැනීමත් සමගම ඔහු යළි ගොඩ එත නොහැකි මඩ වලකට වැටෙනු ඇත. අනතුරුව ඉන් ගොඩ ඒමට උත්සාහ කරන විට සිදුවන්නේ, තවත් අන්තයකට වැටීම මිස ගොඩ ඒම නම් නොවේ. මඩේ එරින සිටින ඇතෙකු තවත් එවැනි ම ඇතෙකු ගොඩ ගැනීමට උත්සාහ කරන විට සිදුවන දේ පරිදි ය.

මඩේ නොඑරි-එනම් අන්තයනට නොවැටී තමා හා ලෝකය තේරුම් ගැනීමට බුදුදහම විසින් ඉතා සරල, එහෙත් ගැඹුරු දහමක් හෙළි කොට ඇත. ඒ පටිච්චසමුත්පාදයයි. පටිච්චසමුත්පාදයේ අර්ථය වන්නේ, යැපෙමින් හට ගැනීම ය. යැපෙමින් වියෝවීම ය. ලෝකයක් ඇත. එහෙත් එය පවතින්නේ පරමාර්ථ වශයෙන් නොව, ඇති ව නැතිවෙමින් හෙවත් නිරන්තරව ආත්මයක් හෙවත් පරමයක් (Thing-in-itself) අහිමි කරගනිමින් ය. එසේ වන්නේ, යම් ඵලයක් හෝ ඵල සමූහයක් යම් හේතුවක හෝ හේතු සමූහයක ඵලයක් හෝ ඵල සමූහයක් වන නිසා ය. එලය නැතිව හේ්තුව ද හේතුව නැතිව ඵලය ද පවතින්නේ නැත. හේතුවට ඵලය ද ඵලයට හේතුව ද අත්‍යාවශ්‍ය වේ. එහි අනෙත් අර්ථය වන්නේ ලෝකයේ සාපේක්‍ෂ පැවත්මයි. සාපේක්‍ෂ පැවැත්ම පිළිබඳ අදහසක් තුළ යමක් පවතින බව මෙන් ම නොපවතින බව ද පිළිගන්නේ නැත. යමක් පවතින බව මෙන් ම නොපවතින බව බැහැර කරන්නේ ද නැත. පිළිගන්නේ සාපේක්‍ෂව හෙවත් එකක් අනෙක නිසා සිදුවන දෙයක් ලෙස ය.

නූතන විද්‍යාවන්ට-විශේෂයෙන් ම අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදයට මූල බීජ සැපයෙන්නේ මේ ඉහත දක්වන ලද පරමාර්ථ (absolute) බැහැර කරන බෞද්ධ සාපේක්‍ෂතාව තුළින් ය. මීට කලකට ඉහත දී අප මේ සම්බන්ධය අයින්ස්ටයින්ට ගමන් කළ මාර්ගය අර්න්ස්ට් මක් ගැන ලිපියකින් පෙන්වා දෙනු ලැබුණි. කොටින් ම, ඇල්බර්ට් අයින්ස්ටයින් විසින් අයිසැක් නිව්ටන් අභිබවා යන්නේ, අර්නස්ට් මක් හරහා ය. නවීන විද්‍යාවට බුදුදහම බලපා තිබෙන මේ තීරණාත්මක අවස්ථාව පිළිබඳ තාමත් පර්යේෂණ කෙරී නැත.

පටිච්චසමුත්පාදයේ මීළඟ බලපෑම ගොස් නතර වන්නේ ක්වොන්ටම් යාන්ත්‍රිකය තුළ ය. පටිච්චසමුත්පාදය ලෝකය කෙරෙහි මහා වස්තු සම්බන්ධයෙන් ද අන්ත කුඩා වස්තු සම්බන්ධයෙන් ද එක හා සමානව ක්‍රියාත්මක වන්නකි. පටිචච්සමුත්පාදයේ එන සාපේක්‍ෂ පැවැත්ම පිළිබඳ- එනම් පරමාර්ථමය පැවැත්මක් බැහැර කිරීම පිළිබඳ අදහස ගැන සිතීමේ දී මෙය පුදුම විය යුතු දෙයක් නොවේ. යමක් පවතින්නේ තවෙකකට සාපේක්‍ෂව නම් එහි පරම ස්වභාවයක් හෙවත් ස්වාධීනබවක් පිළිබඳ සිතිය නොහැක ය. මන්ද පරම තත්වයන් යනු සාපේක්‍ෂ ඒවා නොව, නිරපේක්‍ෂ හෝ ස්වාධීන ඒවා ය. එසේ නම්, ඒ අනුව, ඕනෑම වස්තුවක් කෙළවරක් නොමැති ව කොටස්වලට බෙදිය හැකි විය යුත්තේ ය. බෙදීමේ දී යම් ගැනක දී පරමයක් හමුවේ නම් ඉන් එහාට ලෝකය බෙදිය නොහැකිය යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් ලෝකය සාපේක්‍ෂ බව කීමෙන් එවන් පරමයන් පිළිබඳ විස්වාසය කල්තබාම බුදුදහම විසින් බැහැර කොට තිබේ. ඒ අනුව ලෝකය බින්දුවට ම බෙදෙන්නේ ය. ක්වොන්ටම් ලෝකය යනු එසේ කුඩාම කුඩා අංශුව පිළිබඳ සැලකිලිමත් වන විද්‍යාවයි.

ක්වොන්ටමය තුළ එන තරංග-අංශු ද්විත්වය (wave-particle duality)- එනම් වස්තුන් එක් අවස්ථාවක තරංගයක් ද තවත් අවස්ථාවක අංශුවක් වන ආකාරය බුදුදහම විසින් පෙන්වා දී ඇත්තේ නාම හා රූප ද්විත්වය ලෙස ය. නාමයෝ රූප බවට ද රූපයෝ නාම බවට ද පත්විය හැකි ය. මරණයෙන් පසු රූපමය ස්වභාවය නාම හෙවත් ශක්තිය හෙවත් විඤ්ඤාණය බවට පත්වී අන් භවයක රූපයක් ලෙස නැවත උපදින්නේ මේ පදනමින් ය. මරණයෙන් පසු පමණක් නොව, ඕනෑම අවස්ථාවක වස්තූන් මේ ආකාර දෙකින් ම පැවතිය හැකි ය. දෙයාකාරයකින් ඒ ඒ වර පෙනී සිටිය ද කිව යුත්තේ නාම-රූප යනු එකම ශක්ති ධාරාවක් පමණක් ම බව ය. එහෙත් අපට නිරීක්‍ෂණය වන්නේ ඒ ඒ අවස්ථාවට අනුව වෙනස්ව ය. ඒ අනුව, නාමයන් රූප වීම ද රූපයන් නාම වීම ද නිශ්චිත ව හඳුනාගත නොහැකි ය. මන්ද මේ ආකාර දෙකෙහි එකී ස්වභාව දෙකම තිබෙන හෙයිනි. ක්වොන්ටම් ප්‍රවාදයෙහි එන "අවිනිශ්චිතතා නියමය" (uncertainty principle) එන්නේ මේ අනුව ය.

ඇත්ත වශයෙන් ම විද්‍යාව විසින් සොයා යන්නේ පටිච්චසමුත්පාදය නැමැති මීට වසර 2500කට එපිටින් හෙළිකළ සනාථන ධර්මයකි. මේ සෙවුම (search) විද්‍යාවෙන් සෙව්මයි. බුදුදහම තුළ ග්‍රන්ථ ධුර හා විදර්ශනා ධුර යනුවෙන් සෙවුම් වර්ග දෙකක් තිබේ. ඉහත කී විද්‍යාවෙන් සෙවුම් යනු ග්‍රන්ථ ධුරයේ තරමක් වෙනස් සෙවුම් මාදිලියකි. කෙසේ වෙතත්, විදර්ශනා ධුරයෙන් මොබ සොයන මේ කිසිදු මාදිලියකින් බුදුදහම විසින් අපගෙන් අපේක්‍ෂා කරන නිවනට යත නොහැකි ය. දුක නැති කළ නොහැකිය.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12092024
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12103130
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9591611
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9496856
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9325404
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'