Logo

 

සැබෑ භික්ෂුවකගේ පැවැත්ම කෙසේ විය යුතුද?

- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ විසිණි.



 

 

යමෙකුට භික්ෂුවක් ලෙස ඇමතිය හැක්කේ අවංකව භික්ෂුවකට උචිත ඇවතුම් පැවතුම් හා ආකල්ප ඒ පුද්ගලයා තුළ ඇති නම් පමණකි. භික්ෂුවක් යනු කවරෙක්දැයි විමසා බලමු. ගෙපිළිවෙලින් භික්ෂාව පිණිස පිඬුසිඟා යන බව, කඩ කපා මැසූ පාංශුකූල චීවර දරණ බව, පාපයෙන් හා අකුසලයෙන් වැලකී පින හා කුසලයෙහි උත්සුක බව, ශාසන බ්‍රහ්මචර්යාව රකින බව ආදී ලෙස භික්ෂු ව්‍යවහාරය භාවිතා කිරීමේ අර්ථ රැසක් ත්‍රිපිටක සූත්‍ර දේශනා අනුව දැක්විය හැකිය. මේ කිසිදු ශාසනික ඇවතුමක් පැවතුමක් හෝ යටත් පිරිසෙයින් ආකල්පයක් හෝ නොමැතිව හුදු නලුවෙකු පරිදි කහ රෙද්දක් පෙරවූ පුද්ගලයෙකුට භික්ෂුව යැයි ඇමතීම සුදුසු වන්නේද? සිනමා පටයක හෝ ටෙලි නාට්‍යයක මෙබඳු කහ රෙදි ඇඳි නළුවෙකු රඟපෑවට ඔහු සැබෑ භික්ෂුවක නොවේ. ඔහු තුළ ඇත්තේ හුදු භික්ෂුවකගේ මතුපිට ප්‍රතිරූපය පමණකි. එය ව්‍යාජයකි. එබඳු තැනැත්තෙකුට අපි භික්ෂුවක යැයි නොකියන්නෙමු. වැඳුම්, පිඳුම්, හුනස්නෙන් නැඟිටීම්, දානමාන පිරිනැමීම් ආදී වූ ගෞරව සත්කාර සම්මාන නොකරන්නෙමු. ඒ මතුපිට සෝබනයට නොව ඇතුළත භික්ෂු හරයට ගරු කිරීමට අපතුළ පවතින නිහඬ සම්මුතිය නිසාය.

වර්තමාන සමාජයේ සැබෑ භික්ෂූන් අතර වුවද මෙකල වැඩ සිටිනුයේ බුද්ධකාලයේ වැඩසිටි සැරියුත්, මුගලන් ආදී වූ භික්ෂූ පරපුරක් නොවේ. ප්‍රතිපත්තියෙන් හීන, ලාමක පාප අකුසල ධර්මයන්ගෙන් යුතු නමුදු මතුපිට සෝබනයෙන් යුතු භික්ෂු පරපුරක් වර්තමානයේදී දැකගත හැකිය.එක් අතකින් පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය විනාශමුඛයට පත්වෙමින් පවතියි. දැනුදු එය ගරා වැටී ඇත. පිරිවෙන් නාමයෙන් දැන් ඇති අධ්‍යාපන ආයතනවලද ක්‍රියාත්මකවනුයේ පුරාණයේ පැවති නියම සම්භාව්‍ය පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය නොවේ. උසස් පෙළ, බාහිර උපාධි ආයතනවල ක්‍රියාකාරීත්වයට සමගාමීව සංවිධානයවූ මුදල් උපයන ආයතන අනුකරණය කරමින් ඊට අනුගතවෙමින් අනුක්‍රමිකව ප්‍රාචීන විෂයයන්, පාලි ත්‍රිපිටක අධ්‍යයනයන්ගෙන් බැහැර වෙමින් පවතින යල්පිනූ ආයතනබවට පිරිවෙන් පත්වෙමින් ඇත. භික්ෂුවක නියම වශයෙන් ධර්ම විනය හා ප්‍රාචීන විෂය පිළිබඳව අධ්‍යාපනය ලබනුයේ පිරිවෙන් අධ්‍යාපනක්‍රමයේ පිහිටෙනි. නමුදු අද ගරා වැටී ඇති පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය නිසා භික්ෂුවකට මෙකල හරිහැටි විධිමත් භික්ෂු ආකල්ප, කුසලතා හා චර්යා පිළිබඳව පුහුණුවක් ලැබීමට නිසි ක්‍රමවේදයක් නැත. ඒ හේතු නිසා ම මෙකල භික්ෂු ප්‍රතිමානයතුළ ඉතා වේගවත් පිරිහීමක් දිස්වේ. පුරාණයේදී පන්සල්වල වැඩසිටි වියත් වැඩිටිහි වයෝවෘද්ධ තපෝවෘද්ධ ගුණවෘද්ධ නාහිමිවරුන්ට සිය ශිෂ්‍ය භික්ෂූන්ට ත්‍රිපිටක දහම, පාචීන භාෂා දැනුම ලබාදී ආකල්ප අතින් නියම භික්ෂූවක ලෙස පුහුණු කිරීමට අවශ්‍ය තරම් කාලවේලාවක් හා නිදහසත් තිබිණි. එබැවින් එකල සමාජයේ වැඩසිටි සෑම භික්ෂුවකම පාහේ බුදු සසුන ආරක්ෂාකර ගෙන පරපුරෙන් පරපුරට ගෙනයාමට සුදුසු ලෙස සකස්ව සිටියහ. නමුදු මෙකල එබඳු නාහිමිවරු නැති අතර දැන් වැඩසිටින නාහිමිවරුන්ට තමන්ගේ ශිෂ්‍ය භික්ෂූන්හට එබඳු ශික්ෂණයක් ලබාදීමට කාලයක් ද නොමැත. හේතුව පන්සලවල ඕනෑ තරම් වෙනත් ලෞකික කාර්යයන් මෙකල ගොඩගැසී ඇති බැවිනි.

ඒ අනුව නමට පන්සල් වුවද මෙකල බොහෝ පන්සල් හා ගිහි ගෙවල් අතර වැඩි වෙනසක් නැත. නම ලේබල් එකකි. ලේබලය යමක පිටපොත්තය. යමක හරයෙන් මිසක පිටපොත්ත වැදගත් නැත. එසේ ලේබල් එකට පන්සල වුවද හරයෙන් ගිහි ගෙයක ඇති කාර්යභාරයට දෙවෙනි නොවන ස්ථාන ඇසුරු කර හැදෙන නූතන යතිපරපුරට ඇත්තේද හුදු භික්ෂු ආකල්පවලින් තොර ලේබල් භික්ෂුත්වයක් පමණි අද සමාජයේ පිරී ඇත්තේ මෙලෙස හුදු නාමධාරි ලේබල් භික්ෂූන්ම පමණකි. මේ භික්ෂූන් අතර පෙර භික්ෂූ සමාජයේ දක්නට සිටි සාරිපුත්ත මොග්ගල්ලාන බඳු යතිවරුන් පැතීම කුඩාදරුවෙකු හඳමාමා ගෙන් කිරිපැණි පැතීමට දෙවෙනි නොවන හුදු මනඃකල්පිත අන්ධ විශ්වාසයක් පමණකි. මේ තත්වය කිසිසේත්ම ධර්මවිනය අනුව සිදුනොවන සිදු නොවිය හැකි දේ නොවේ. සිදුවන සිදුවිය හැකි දේය. සෑම සංස්කාර ධර්මයකම ස්වභාවය අනිත්‍ය අනත්ත හා දුක්ඛ බව බුදු දහමේ කේන්ද්‍රීය ඉගැන්වීමකි. මෙකල ධර්ම විනය පිළිබඳ ගිහි සමාජයේ පමණක් නොව පැවිදි සමාජයේද පවතිනුයේ ඉතා අඩු දැනුමකි. අඩු අවබෝධයකි. අඩු වැටහීමකි. භික්ෂූන්ද පිරිවෙන් නොයා ප්‍රාචීන විභාගවලට පෙනීසිට සමත්වීම ඉවතලා උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමේ මල්ලවපොරයට එක්වෙති. පාලි ත්‍රිපිටක දහම, ප්‍රාචීන විෂයන් ඉගෙනීම හැරදමා ඒ වෙනුවට රැකියා අභිමුඛ ලෞකික විෂයයන් හැදෑරීමට යොමුවෙති. සමහරු උසස් පෙල ලියද්දීම මේ වෙනස සිදුකරන අතර සමහරු විශ්වවිද්‍යලයේදී බුදු දහම,ප්‍රාචීන භාෂා හැරදා ඒ වෙනුවට කලා විෂය ධාරාවට අයත් රැකියා අභිමුඛ ලෞකික විෂයන් අධ්‍යයනයට යොමුවෙති. මින් සමහරු කලා විෂය ධාරාව වෙනුවට විද්‍යා හා වාණිජ විෂය ධාරා පවා අධ්‍යයනය සඳහා යොමුවනුයේ ඒ සඳහා අවශ්‍ය පමණටත් වඩා උපරිම නිදහසක් විශ්ව විද්‍යාල පරිසරය තුළ හොඳින්ම සැකසී ඇති බැවිනි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමුවන භික්ෂූහු විශ්විද්‍යාලයේ ඇති නිදහස ඇතැම් අවස්ථාවල අවභාවිතා කිරීමට පවා පෙළඹෙති. ගිහි සිසුවෙකු සරසවියතුළ ගතකරන නිදහස් ජීවිතය ඉතා වේගවත්ව භික්ෂූහු වැළඳගනිති. මෙයට හේතුව කුඩාකාලයේදී භික්ෂු ජීවිතයතුළ සිරවී ගතකළ කාලපරිච්ඡේදයතුළ ඔවුන් කළකිරීමට හා පීඩනයට පත්ව තිබීමයි. ගිහි සිසුන් කරන සෑම දෙයක්ම කිරීමට මෙන්ම දුම්පානය, මත්පැන්පානය ආදී පංචශීල ප්‍රතිපදාව ඉක්මවන දේවලට පවා භික්ෂූහු පහසුවෙන් යොමුවෙති. එසේම හිරිමල් නව යෞවන වියේ ලාබාල තරුණ තරුණියන් විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන බහුතර පිරිස අතර වෙසෙති. නිදහස් පෙම්බඳතා විශ්වවිද්‍යාල පරිසරයතුළ ඇතිවනුයේ මේනිසා ය. මේ තත්වයට ගිහි පැවිදි කිසිදු භේදයක් විශ්වවිද්‍යාල පරිසරය තුළදී නම් නැත. මේ හේතු නිසා බොහෝ විට සිදුවනුයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමා කිරීමට ආසන්නව උපාධිය ලැබීමට පෙර භික්ෂූන් උපැවිදි වී ගිහි නමෙන් උපාධිය ලැබීමට පෙළඹීමයි. සිය පැවිදි නම වෙනුවට ගිහි නම උපාධි සහතිකයට ඇතුළු කර ගැනීම සඳහා ඒ ගිහි පැවිදි නාම දෙක එකම පුද්ගලයා සඳහා භාවිතා කරන බවට දිවුරුම් සහතිකයක් ඉදිරිපත් කිරීම හා ගිහි ස්වරූපයෙන් ගත් ඡායාරූප පිටපත් කීපයක් ඉදිරිපත් කිරීම හොඳටම ප්‍රමාණවත්ය. භික්ෂු ස්වරූපයෙන්ම උපාධිය ලැබූවෙකුගේ වුවද අවශ්‍යතාව වනුයේ අවම තරමින් පාසලකට ගුරුපත්වීමක් හෝ ලබා වැටුප් හා වේතන ලබන රජයේ රැකියාක් සොයා ගැනීමයි. එසේ ලැබගත් පසු උපැවිදිවීමට ද සමහරු පෙළඹෙති. එසේ නොමැතිනම් පාසලේම ගුරුවරියක හෝ සිසුවියක සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වා ඉන් පසුව උපැවිදිවී විවාහවී දූදරුවන් ලබා සාර්ථක ගිහියෙකු බවට පත්වීමට මිසක බුදු සසුන රැකීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතුකරන භික්ෂූන් සියල්ල වාණිජකරණයවී ඇති මෙකල ඉතා දුලබය.

ත්‍රිපිටක දහම පිළිබඳව ගැඹුරු ප්‍රමාණික අවබෝධයක් නොලැබීමත්, පාලි භාෂාව ප්‍රමුඛ ප්‍රාචීන භාෂා පිළිබඳ ඇති මඳ අවබෝධයත්, සාර්ථක භික්ෂු පුහුණුවක් නොතිබීමත් යනාදී හේතු නිසා භික්ෂුවක සතු වියයුතු කාර්යභාරය පිළිබඳව නොදැනුවත්කම නූතන යුගයේදී බොහෝ සමාජගත කුප්‍රසිද්ධ භික්ෂූන් වෙතින් දැකගත හැකි සුලබ දසුනක් වී තිබේ. වියැකී යන සමාජ ආකර්ශණය රඳවා තබාගැනීම පිණිස රහත්ඵල අවබෝධය ලැබූවෙකැයි විවිධ සමාජ ජාලා හරහා ප්‍රද්ධිය ලබාගැනීමට වෑයම්කිරීම, එමඟින් ලැබෙන ලාභසත්කාර සම්මාන ආදියට ගිජුවීම, ආගම්වාදය, කුලවාදය, ජාතිවාදය බඳු අන්තවාදී වර්ග වාදී මතිමතාන්තර සමාජගත කිරීමෙන් නොමේරූ ලාබාල නූගත් තරුණ වැඩිහිටි පිරිස්හි ආකර්ශණය ලබාගැනීමට උත්සුකවීම, ආගමික විහාරස්ථාන, ආගමික සංකේත ව්‍යාපාරික දියුණුව පිණිස භාවිතය බඳු භික්ෂූ ප්‍රතිමානය නොසැසඳෙන දේ කිරීමට මෙකල බහුතර භික්ෂූහු පිරිසක් යොමුව සිටිති.එමඟින් භික්ෂු ප්‍රතිමානය ඔවුන් වෙතින්ම අව-භාවිතවීම නොවැලැක්වියහැකි කරුණක්ව තිබේ. භික්ෂු ප්‍රතිමාන අවභාවිතයේ යොදවනුයේ ගිහියන් නොව භික්ෂූන් විසින්ම වීම මෙහිදී දැකගත සුවිශේෂී කරුණක්ව තිබේ. අද වනවිට මෙලෙස භික්ෂු ප්‍රතිමානය සමාජයේ බොහෝදුරට පහළ මට්ටමකට පත්ව ඇතිබවද නොකියා බැරිය. එබඳු අවස්ථාවකදී ස්වකීය වරදින් ගිලිහීගිය සමාජ ප්‍රතිමානයක් වෙනුවෙන් ගිහියන්ට දෝෂාරෝපණය කිරිමට අවලාද නැඟීම නිවැරදි ක්‍රියාවක් නොවේ. කළයුතුවනුයේ සිය සමාජ ප්‍රතිමාන නිවැරදිව ආරක්ෂා කරගැනීමට සුදුසු පියවර කඩිනමින් ගැනීමයි. මෙබඳු සමාජ වාතාවරණයකදී හුදු ආකල්ප, ආවේදන හා චර්යා පැතිකඩවලින් භික්ෂුවක නොවී හුදු නලුවෙකුට සමානව මතුපිට පොත්ත පමණක් කහ වස්ත්‍රධාරීව භික්ෂු වේෂය දරමින් ඊට සමාජ ගරුත්වය ලැබේවා යැයි පැතීම හාස්‍ය ජනකය.

චිත්ත අභ්‍යන්තරයෙන් භික්ෂුවක නොව ගිහියෙකු ලෙස කටයුතු කරන්නෙකු තමාට භික්ෂුවක ලෙසට ඇමතීමට සමාජයට බලකිරීම හුදු ප්‍රහසනක හාස්‍යජනක අංගයක් පමණකි. ඒ අනුව මෙකල බාහිර ඇවතුමෙන් පැවතුමෙන් පවා නොහික්මුනු නොදැමුනු අසංවර ගතිලක්ෂණ ප්‍රකටකරන හුදු පාතාලයේ මැර චණ්ඩීන් ලෙස සමාජයේ ඉතා ප්‍රකෝපකාරීව කටයුතුකරන විවිධ භික්ෂු වේෂ දරණ නලුබට්ටන්ද දැකගත හැකිය. මේ අනුව උද්ඝෝෂණ උපවාස පෙළපාලි බඳු අවස්ථාවලදී සිවුරුඋස්සගෙන අසභ්‍යව අසංවරව ප්‍රකෝපකාරීව නොසරුප් වදනින් කෑකෝගසමින් පොලිසියට, ආරක්ෂක හමුදා සාමාජියන්, රාජ්‍ය සේවක සේවිකාවන් හා සිවිල් මහජනතාව හට පහරදෙමින් කටයුතුකරන භික්ෂූ වේෂධාරීන් මේ යුගයතුළ ඉතා බහුලව විවිධ ජනසන්නිවේදන මාධ්‍යතුළින් දැකගත හැකිය. එසේ කටයුතුකරමින් සිය පැවැත්ම භික්ෂු සාරුප්‍ය නොවන ලෙස පවත්වාගනිමින්ම තමන්ට බුද්ධකාලීනව විසූ සැරියුත් මුගලන් මහ රහත්තෙරුන්වහන්සේලාට හා සමානව සලකන ලෙස සමාජයෙන් ඉල්ලීම සාධාරණ නැත. පාලි ත්‍රිපිටක බුදු දහම හා ප්‍රාචීනභාෂා ගැඹුරු පර්යේෂණාත්මක මට්ටමින් මුල පටන් ගිහියෙකු ලෙස භික්ෂූ විශ්වවිද්‍යාල කීපයකම උපාධි, පශ්චාත් උපාධි හා ආචාර්ය උපාධි මට්ටමෙන් ශාස්ත්‍රාලීය පසුබිමතුළ අධ්‍යයනය කළ මේ ලියුම්කරුට නුතන භික්ෂු චර්යාවේ මේ නොගැලපීම වඩා ප්‍රකටව සංවේදීව දැනේ. සම්බුදු සසුන හෙවත් බුදුරදුන්ගේ ඉගැන්වීම් නිරුපද්‍රිතව පිරිසිදුව පැවතිය හැකි කාලසීමාව අනුක්‍රමිකව ඉකුත්ව යමින් පවතියි. මෙම ඉගැන්වීම් යම් කාලයකට සීමාකර දැක්විය නොහැකි හෙවත් අකාලික බව සත්‍යයකි. නමුදු අකාලික දහම වුවද මනා ලෙස දැන උගෙන ප්‍රතිපත්තිගරුකව හා ප්‍රතිවේධකර ගත හැකි ශ්‍රාවකයන්ගේ පර්යාප්තිය, ප්‍රතිපත්තිය හා ප්‍රතිවේධය හීන වෙමින් පවතින කාලවකවානුවක අකාලික දහම බුදුරදුන් දෙසූ ස්වරූපයෙන් වටහා ගැනීමට ඔවුහු අසමත් වෙති. මේ ගතවෙමින් ඇත්තේ ඒ කලියුගයයි. කලියුගයේ පතිතවන මුරුගසන් වර්ෂාවට හසුව මිනිස් ගුණවියැකී උනුනුන් කපා කොටා මරා දමමින් විනාශව යන මනුෂ්‍ය ප්‍රජාව පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය. මෙකල ජනප්‍රජාව අතර දැකියහැකි ආවේගශීලී පැවැත්ම දකිනවිට ඒ යුගය ඉතාළංව ඇති බව වැටහේ. ගිහි සමාජයට ආදර්ශයක් වෙමින් මනාව පැවතිය යුතු භික්ෂුව ගිහි සමාජයට නරක ආදර්ශ ලබාදෙමින් ආවේගශීලීව හා අසංවරව හැසිරීමද ඉහත සඳහන් කර ඇති වැරදි චර්යාවන්හි නියැලීමද නිසා අද ගිහි පැවිදි දෙපක්ෂයම අතරමංව ඇති බවක් පෙනී යයි. තම වරද එසේම සඟවා එය පෙන්වා දුන් පුද්ගලයා කෙරෙහි කෝපවීම නුසුදුසුය.

රාජකීය පණ්ඩිත, ත්‍රිපිටචාකාර්ය, අභිධර්ම විශාරද

 

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ (PhD)

 

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12138362
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12147896
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9633033
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9540135
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9366763
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'