Logo

 

විශ්ව සැලැස්ම හා ආගමික අර්ථකථන

- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ විසිණි.



පෙර කළ කුසල් අකුසල් හොඳ හා නරක කර්ම ඵල විපාක ගෙන දීමට සමත්වන බව බුදු දහමේ සඳහන්ය. මෙය ධම්මතා නමින් හැඳින්වේ. සෑම දෙයක්ම සකස්ව පවතිනුයේ හේතුඵල ධම්මතාවයකට අනුකූලවය. ඒ හේතුඵල ධම්මතාවඅවබෝධ කර ගැනීම මේ විෂම සංසාර චක්‍රය හෙවත් සංසාර ප්‍රවර්තනයෙන් ගැලවීමට ඇති එකම ක්‍රමය ලෙස බෞද්ධ ඉගැන්වීම්වල දක්වා තිබේ.මෙලොව සෑම පුද්ගලයෙකුම ජීවත්වන තාක්කල් ඔහු විසින් සිදු කරන ලද පුරාණ කුසල් අකුසල් සංඛ්‍යාත කර්ම යළිත් කර්මඵල විපාක ලෙස ඒ තැනැත්තාටම අත්විඳීමට සිදුවීම මේ අනුව ධම්මතාවයක් ලෙස බෞද්ධ දාර්ශනික ඉගැන්වීම්වල පැහැදිලි කර දී ඇත. බුදුන් වහන්සේ තමන්වහන්සේව ත්‍රිපිටක සූත්‍ර දේශනාවල හඳුන්වාගෙන ඇත්තේ තථාගත යනුවෙනි. මෙහි සඳහන් වන තථය යනු පරමාර්ථ සත්‍යය, ලෝක ධර්මතාව යන අදහස ගෙන දෙන පදයකි. එයම ධම්මතා යනුවෙන්ද හඳුන්වාදී තිබේ. එසේම ආගත යන පාලි වචනයේ අදහසවනුයේ පැමිණි යන්නයි.එවිට තථ+ආගත=තථාගත යනුවෙන් විශ්ව ධම්මතාව අවබෝධ කරගත් ; අවබෝධයට පත් උතුමා යනුවෙන් අදහස්වේ. විශ්ව ධම්මතාව වරෙක ස්වකීය පංචස්කන්ධය තුළම පණවන බව බුදු හිමියන් විසින් පැහැදිලි කර දී තිබේ. මේ අනුව සකන්ධ පංචකයේ හට ගැනීම, හට ගැනීමට හේතුව, නිරෝධය හා නිරෝධය පිණිස මඟ යන සතර වැදෑරුම් සත්‍යයට විශ්ව ධම්මතාව පිළිබඳව හටගැනීමත්,නිරුද්ධියත් කැටිකොට දක්වා ඇත.ෂඩ් ඉන්ද්‍රිය ධර්මතාව පහළවීම හා නිරෝධය විශ්ව ක්‍රියාකාරීත්වය හට ගැනීම හා නිරෝධයම වන බව බුද්ධ දේශනාතුළ සඳහන්ය. ඒ අනුව මේ විශ්වයේ පවතින සැබෑ ස්වභාවය ධම්මතා ලෙස බුදු හිමියන් දැක්වූ බව පැහැදිලිය.බුද්ධත්වය අවබෝධයට පත්වීම යනු මේ විශ්වධම්මතාව නිසි පරිදි පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගැනීමයි.බුදුපසේ බුදු, අර්හත්වය යනු තුන්තරා බෝධියට අනුව විශ්ව ධර්මතාව අවබෝධ කරගැනීමේ අවස්ථාය. කෙනෙකු අර්හත්වයට පත් වීම යනු මේ විශ්ව ධම්මතාව අවබෝධ කරගැනීමට හැකියාව ලැබීම ලෙස මේ අනුව අපට වටහාගත හැකිය.

ශුද්ධවූ අල්කුරාණීය ඉගැන්වීම් අනුව අල්ලා ශබ්දයෙන් විග්‍රහවන්නේ දේවත්වයයි.නමුදු මේ දේවත්වය වටහා ගැනීමට තරම් නොහැකි තරමට එය අතිශය සියුම්ය.මන්ද දේව යන වචනය ශ්‍රවණයවෙත්ම අපට රූපලෙසට ඇති දෙවියන් සිහිපත්බව බැවිනි. නමුදු මෙහි සඳහන් දේවත්වය රූපීද නොවේ.එසේම අරූපීද නොවේ.එනම් රූප හෝ අරූප ලෙස මිනිස් මනසට අරමුණු කළ නොහැකි මට්ටමකට සියුම්ය යන්නයි.විශ්වයේ පවතින්නා වූ සියලුම ක්‍රියාකාරීත්වය මේ අල්ලායන්නට අන්තර්ගතය.සාමාන්‍ය ව්‍යවහාරයට අනුව ඉස්ලාම් භක්තිකයෝ අල්ලා දෙවියන් යැයි අල්ලා දේවත්වයට නඟා ව්‍යවහාරකරනුයේ ඊට ගෞරව කිරීම සඳහා මිස හින්දු බෞද්ධ සම්ප්‍රදාය අනුව අල්ලා රූපී හෝ අරූපී දේව සංකල්පයට අනුකූලව සකස්ව පවතින නිසා නොවේ.සැබවින්ම අල්ලා මනසට හෝ අරමුණු කළ නොහැකිය.හින්දු හා බෞද්ධ සම්ප්‍රදායට අනුව රූපී දේ මසැසටද අරූපී දේ මනැසටද අරමුණු කළ හැකිය.එසේම හින්දු හා බෞද්ධ සම්ප්‍රදාය අනුව දේවත්වය පුද්ගල බද්ධව ව්‍යවහාරවේ. නමුදු ඉස්ලාම් සම්ප්‍රදායට අනුව අල්ලා දෙවිඳු පුද්ගලයෙකු හෝ පුද්ගල සංකල්පයක් නොවේ.පුද්ගල සංකල්ප ආදියට සම්පූර්ණයෙන්ම වෙනස්ම අයුරකට අල්ලා ශුද්ධ අල්කුරාණයට අනුව විග්‍රහකර තිබේ.අල්ලා මානසික වූවක් නොවේ.මනසට ගෝචර නොවේ.නමුත් පවතින විශ්ව ධර්මතාවයකි.සැබෑවකි.එසේම ලෝකයේ පවතින සැබෑ එකම විශ්ව ධර්මතාව නම් අල්ලාය.අල්ලා අවබෝධ කළහැකිවනුයේ එහි ක්‍රියාකාරීවය අනුව මිසක එය දැකගැනීම අනුව නොවනබව ශුද්ධ අල්කුරාණය පවසයි.අල්ලා නම් අතිමහත් ආලෝකයයි.එහි අලෝකයෙන් පියවි දෙනෙත් නිලංකාරවී යයි.පුද්ගල ක්‍රියාකාරීත්වය සියල්ල අල්ලා මඟින් සැලැස්මකට අනුව පාලනය වන බව මුස්ලිම්වරු විශ්වාස කරති.අල්ලා අපට ග්‍රහණය කරගත නොහැකි වුවද අපේ ජීවිත සැලසුම් සකස්වනුයේද ඊට අනුකූලවය.මේ හේතුව නිසා මුස්ලිම්වරු අල්ලා ක්‍රියාකාරීත්වය හා සැලැස්ම කෙරෙහි මුලුමනින්ම විශ්වාස කරති.මනු ලොව මත සියල්ල තීරණයවනුයේද ක්‍රියාත්මකවනුයේද මේ නිශ්චිත සැලසුමට අනුවබව පැවසෙයි.

කතෝලික ධර්මයෙහි විවිධ ප්‍රභේද තිබේ.විවිධ නිකායන් තිබේ.කෙසේ වුවද පොදුවේ සියලු දෙනාම බයිබලය පිළිගනිති.විශ්වාස කරති.දේව කැමැත්ත පරිදි සියල්ල තීරණය කෙරෙන බව බයිබලයේ සඳහන්ය.මෙහි දේව යනුයෙන් දක්වා ඇත්තේ පුද්ගලයෙකු පිළිබඳව නොවේ.නාසරත්හි යෙසුස් යනු පුද්ගලයෙක් බව සත්‍යයකි. නමුදු ඔහු දෙවියන් නොව දෙවියන්ගේ පණිවිඩය ප්‍රජාව වෙත අනාවරණය කළ දේව දූතයෙකු පමණකි.‍ තමන් දෙවියන්ගේ පුත්‍රයා යන සඳහනින් යේසුස් වහන්සේ තමන්ව හඳුන්වාගෙන තිබේ.දෙවියන් හා දේවත්වය යනුද මෙහිදී නිෂ්පුද්ගල ප්‍රපංචයක් පමණක් බව විස්තර කෙරේ.විශ්වයේ ඇතිතාක් සියල්ල දේවත්වයට අයත්ය.එහි දේවත්වය හටගැනීම(මැවීම),පැවතීම,විනාශය යන කරුණුවල අධිකාරීත්වය දරනුලබන බව පැහැදිලිකර දේ. බයිබලයේ දේව යන්නෙන් විශ්ව ධර්මතාව අදහස් කර ඇතිබව මේ අනුව පැහැදිලිය.විශ්ව ධම්මතාවයට අයත් ජීව,අජීව හේතුප්‍රත්‍ය ධර්මවලින් සකස්වූ සියල්ල හටගැනීම,පැවතීම හා විනාශය යන ධම්මතාවම බයිබලයෙහි දේව යනුවෙන් අදහස් කර ඇතිබව මේ අනුව පෙනී යයි.මුලදී හීබ්‍රෘ බසින් තිබූ බයිබලය ලතින්,ග්‍රීක,ඉංග්‍රීසි බස් වලට පරිවර්තනයවීම සමඟම එහි අන්තර්ගත දාර්ශනික විග්‍රහයන්වලට විවිධ අර්ථකථන සැපයිනි.නමුදු මුල් කාලීනව දේව යනුවෙන් දක්වා ඇත්තේ නිෂ්පුද්ගල ප්‍රපංච ක්‍රියාකාරීත්වයක් පමණකි.පසුකාලීන එහි සඳහන්වූ දේව යන්නට පුද්ගලත්වාරෝපණය කර දෙවියන් යන්න පුද්ගල ක්‍රියාකාරීත්වයක් ලෙසට ලඝුකර විග්‍රහකර තිබේ.නමුදු යේසුස් වහන්සේගේ මුල්කාලීන දේශනාවලදී උන්වහන්සේ ප්‍රකාශකර ඇත්තේ විශ්වක්‍රියාකාරීබව පිළිබඳව තමාට අවබෝධයක් ඇතිබව හා එම අවබෝධය උන්වහන්සේ දේව යන්න මත පහදාදීමට උත්සාහ කර ඇතිබවකි.මේ අනුව මරණින් මතු ඒ අවබෝධයෙන් යුතු පුද්ගලයා ස්වර්ග නැමැති යළි හටනොගන්නාවූ තත්වයකට පත්වනබව මුල්කාලීන දේශනාවල දක්වා ඇත.විශ්වක්‍රියාකාරීත්වය දේව අවබෝධයට පත්වූ විටදී හටගැනීම,පැවතීම හා විනාශ යන ප්‍රඥප්ති මිසක ඒවා පරමාර්ථය නොවනබව වැටහීමතුළ පරමශාන්තිය ඇත.

භගවත්ගීතාව,සෘග්,යජුර්,සාම,අර්ථවන් ආදී සතර වේදග්‍රන්ථ හා උපනිෂද් කෘතිවල පරම බ්‍රහ්මතාව හා බ්‍රහ්ම සහවස්‍යතාව යනුවෙන් දක්වා ඇති හින්දු සාමයික නිෂ්ටාව නපුංසක ලිංගාර්ථවූ බ්‍රහ්ම යන වදන අනුව පැහැදිලි කරදීම අනුව එය ස්ත්‍රී,පුරුෂ වශයෙන් නොව අලිංගික හා නිෂ්පුද්ගල ප්‍රපංචයක් ලෙස ඉහතකී ග්‍රන්ථවල දක්වා ඇත.කෙනෙකු පරම බ්‍රහ්මත්වයට පත්වීම හුදු මෞනව්‍රතය මඟින් නිරූපිතය.එහිදී පරම සත්‍යාවබෝධයවනුයේ හුදු විශ්වධර්මතාව ස්පර්ශ කිරීම වේ.විශ්ව ධර්මතාව නම් මේ බ්‍රහ්මතාවයයි.එය කිසිවිටෙක රූපී,අරූපී නොවේ. රූපීබව මසැසින්ද අරූපීබව මනැසින්ද ස්පර්ශකළ හැකි වුවද මේ නිෂ්පුද්ගල අපුද්ගල තත්වය කිසිවිටෙක අප සතු ඉන්ද්‍රියන්ගෙන් දත නොහැකිය.එබැවින් එය අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයක්ම වේ.එය ප්‍රත්‍යක්ෂකරගත හැකිවුවද එසේ ප්‍රත්‍යක්ෂ කරගත හැකිවනුයේ ඉන්ද්‍රියන්හි ක්‍රියාකාරීත්වයෙන් බැහැරවය.ඇස,කණ,නාසය,දිව,සම ආදීවූ  පංචඉන්ද්‍රියන් සේම මනසද ඉන්ද්‍රියකි.එය සවැනි ඉන්ද්‍රියයි.මනසට ගෝචරවනුයේ ධම්මය.මනස ධම්ම අරමුණු කළද මනසට ධම්මතාව අරමුණු නොවේ.මනස හැමවිටම අරමුණු ගන්නා අතර අරමුණුවලින් තොර මනසකට පැවතිය නොහැකිය.එවිට නොපවතින මනසකින් ධම්මතාව ප්‍රත්‍යක්ෂ කරන්නේ කෙසේද යන ගැටලුවට අපට මුහුණපෑමට සිදුවේ.නමුදු මානසික ශක්තිය සංසිඳීමට පැමිණෙනුයේ මේ ධම්මතා යන්නෙහිදී බව පරම බ්‍රහ්ම යන නිෂ්ටාව තුළ පැහැදිලි කර දී ඇත.කෙනෙකු පරමබ්‍රහ්ම බව සපර්ශ කරනුයේ යෝගීප්‍රත්‍යක්ෂයෙනි. මෙයට පත්වීමට ෂඩ් දර්ශනයට අයත් යෝගීදර්ශනය මතපදනම්වූ යෝගීභාවනාව උපදවාගත යුතුය.කුණ්ඩලිනි ශක්ති හා ආඥාචක්‍ර,සහස්‍ර චක්‍ර ආදී වූ යෝගීධ්‍යාන භාවනා ඇසුරෙන් මනස හා කය සුසංයෝගවූ නාඩිඅවදිකරවා ගත යුතුය.එවිට අතිසියුම්වූ පරම ගම්භීරවූ විශිෂ්ටවූ පරමබ්‍රහ්මය වෙත යමෙකුට ළගාවියහැකිය.මෙහි පරමබ්‍රහ්මත්ව නම් විශ්ව ක්‍රියාකාරීත්වයට සිය මනස පත්කරවීමයි.එවිට විශ්වයෙහිවූ සියලු රහස් අනාවරණය කරගත හැකිය. විශ්ව ක්‍රියාකාරීත්වය පරමබ්‍රහ්මතාවෙන් වෙන්වූවක් නොව මෙහි මුලදී ප්‍රකාශ කරනලද විශ්ව ධම්මතාවයමැයි.

 

ඉහත ප්‍රකාශ කිරීමට වෑයම් කරන ලද්දේ මේ ලෝකයේ ඇති ප්‍රධාන ආගම් සියල්ලේම ප්‍රකාශකරන සාමයික නිෂ්ටාවවූ කලී එක් එක් ආගමට පමණක් වෙන්වූ සුවිශේෂී වූවක් නොව එකම කාරණයක් බවයි.එකම දෙයක් එකම ක්‍රියාකාරීත්වයක් විවිධ වචනවලින් විවිධ ස්වරූපවලින් විවිධ ශාස්තෘවරු විග්‍රහකරදී ඇති ආකාරය කදිම සමාන බවක් ගන්නා බවක් පෙනී යයි.මේ විශ්ව ක්‍රියාකාරීත්වයතුළ කිසියම් සැලැස්මක් ඇත. බෞද්ධ විග්‍රහයට අනුව එය ධම්මතානමින්ද,ඉස්ලාම් විග්‍රහයට අනුව එය අල්ලා නමින්ද,කතෝලික විග්‍රහයට අනුව එය දේව යනුවෙන්ද,හින්දු විග්‍රහයට අනුව එය පරමබ්‍රහ්මය නමින්ද දක්වා තිබේ.මේ සැලැස්ම කිසිවිටෙක නොවෙනස්වූ දෙයක් නොවේ.ක්ෂණිකව මොහොතක් මොහොතක්පාසා යාවත්කාලීන වන්නකි.අප කරන හොඳනරක ක්‍රියා වලට අනුකූලව ඊට අදාළ ප්‍රතිඵල උදාකරවමින් ක්ෂණිකව මේ සැලසුම යාවත්කාලීන වේ.මේ සැලැසුම හේතු ඵල ධම්මතාවයට අනුකූලව ක්‍රියාත්මකවන්නකි.පවතින්නකි.එය නිෂ්පුද්ගල ප්‍රපංචයකි.චක්‍රීය සැලසුමක් අනුව විවිධ සම්බන්ධතා ගොඩනඟමින්,ඊට අපගේ කායික,වාචසික,මානසික ක්‍රියාකාරීත්ව නිසා උපදවන චේතනාද එහි ඵලවිපාකද එක්කර ගනිමින් යළියළිත් යාවත්කාලීන වෙමින් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.මේ සැලසුමෙන් බැහැරවීම හා සැලසුමතුළ රැඳී සිටිමින් ඊට අනුගතව ප්‍රතිචාර දැක්වීම පුද්ගල ක්‍රියාකාරීත්වය අනුවම සිදු වේ.ඒ සැලසුම පිළිබඳ අවබෝධය පුද්ගලත්වය කෙරෙහි අපතුළ ඇති වැරදි වැටහීම් නැතිකර දැමීමට ඉවහල් වේ.එය අවබෝධය මත සිදුකළ යුතුය.විශ්වාසය අවබෝධයට පූර්වංගමය.නිවැරදි විශ්වාසය ඇතිතැන වැරදි වැටහීම්ද නැත.වැරදි විශ්වාසය වැරදි වැටහීම්වලට හේතුවකි.විශ්ව සැලසුම පිළිබඳව නිවැරදි අවබෝධය සඳහා ප්‍රඥාව අවශ්‍යවේ.මේ ප්‍රඥාව කියවීමෙන්,ඇසීමෙන්,දැකීමෙන් ලැබෙන ඥාණය නොවේ.එය ක්‍රියාකාරීත්වය නිවැරදිව සිහියෙන් දැකීමෙන්ම උපදින නිදහස් විචාරපූර්වක බුද්ධියයි.කෙනෙකුට මේ විචාරපූර්වක බුද්ධිය පහළකිරීමට විවේකීව භාවනාකිරීම අවශ්‍ය වියහැකිය.තවත් අයෙකුට ඒ සඳහා සිදුකරන දේශනයක් ප්‍රමාණවත්ය.අයෙකුට මේ සඳහා විස්තර සහිතව කරන ක්‍රියාකාරකම් සමූහයක් තිබිය යුතුවේ.අප තුළ ඇති බුද්ධි මට්ටම්වලට අනුකූල ලෙස අවබෝධය පිණිස ඇති ක්‍රමවේදය එකිනෙකාට වෙනස්විය හැකිය.රෝස මල කුමන නමකින් හැඳින්වූවද එහි පැහැය,සුවඳ නොවෙනස්වන්නාක් සේම විශ්ව ධර්මතාව කුමන නමකින් කුමන ආගමික ඉගැන්වීම් මඟින් හැඳින්වුවද එහි ක්‍රියාකාරීත්වය අවබෝධයට එය බාධාකාරී නොවේ.අවශ්‍ය අවබෝධය ලැබීමයි.අවබෝධයට ඇති මඟ,ක්‍රමය පිළිබඳ එකිනෙකා සමඟ වාදවිවාදකරමින් කාලය විනාශකිරීම නොවේ.නමුදු මෙකල බොහෝ දෙනෙකු කරන්නේ තමන් පමණක් නිවැරදි යැයිද සෙස්සන් වැරදි යැයිද පුර්ව නිගමන මත පිහිටා තර්කවිවාද කරමින් සිටීම මිසක අවබෝධයට මඟ හෙළිකර ගැනීම නොවේ.මේ ලිපියතුළින්ද උත්සාහකරනුයේ ආගමික මතවාද කරපින්නාගෙන ඒ ඔස්සේ අනවශ්‍ය වාදවිවාද කරමින් එකිනෙකා යටපත්කරමින් ලෝකයතුළ ජීවත්ව සිටින මානව ප්‍රජාවහට කිසියම් ප්‍රඥා ආලෝකයක් දැල්වීමයි. ඔබට අවශ්‍ය නම් අවංකවම පාර හෙළිකළවිටක පාර දිගේ ගොස් අවබෝධයට පත්වීමට මඟහෙළිකර ගත හැකිය. නැතිනම් අනවශ්‍ය දාර්ශනික සත්තාවන් කර පින්නා ගෙන මෙහි ඇති අනේකවිධ වැරදි පිළිබඳව දෝෂාරෝපණය කරමින් කාලය විනාශකරගත හැකිය. ඒ සියල්ලේම වගකීම ඔබම බාරගත යුතුය.විවිධ ආගම් අනුව බෙදෙමින් පසුකාලීනව එම ආගම්වල මූලික හරය වෙනස්වීම පිළිබඳව සැලකිල්ලක් නොදක්වා ඔබ දකින දේම හරියැයි සලසාගෙන ක්‍රියා නොකරනු ඇතැයි මම අවංකව බලාපොරොත්තු වෙමි.අවංක හැඟීමකින් අවංක චේතනාවෙන් හෙළිකළදේ එලෙසම පිළිගනු මැනවි.

 

ත්‍රිපිටචාකාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත

 

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ (PhD)

 

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12348349
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12371456
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9851237
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9756131
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9577786
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'