Logo

 

මෙරට ජාතික විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්යමණ්ඩල බඳවා ගැනීම්වලදී අසාධාරණයට ලක්වූ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ විසිණි.



එවකට ප්‍රාථමික පාසැලක්ව පැවති කොළඹ අශෝක විදුහලෙන් මූලික අධ්‍යාපනය හදාරා 1981 වසරේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වූ මාහට 6 වසර සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වීමට ලැබිණ. මා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් වාණිජ විෂය ධාරාව යටතේ උසස් පෙළ විභාගයට පෙනී සිටියේ 1989 දීය. එකල ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජන ජීවිතයද බොහෝ අර්බුදකාරී ස්වරූපයක් ඉසිලීය.වාර්ගික අර්බුද නිසා රටේ බොහෝ කලබල අවුල් වියවුල් පැවතිනි. පාසැල් හා විශ්වවිද්‍යාල වසා තැබුණු දින වකවානු වැඩි විය. මගේ ජීවිතය සහමුලින්ම වෙනස්කිරීම්වලට බඳුන් වූ දරුණු සුළිසුළං කුණාටු බඳු ජීවිත පෙරළි රැසකට මුහුණපෑමට මට සිදුවිය. විටෙක මා දැඩි සේ රෝගී විය. ජීවිත අපේක්ෂා අත්හැරදැමීමේ අවස්ථා ද අපමණය. නමුදු මරණය ආසන්නයට ගොස් පෙරළා නැවත පැමිණිමට තරම් මා භාග්‍යසම්පන්න විය. මගේ අධ්‍යාපනය මෙන්ම ජීවිතය ද වරින් වර බාධක හමුවේ විවිධ වෙනස්කම්වලට පරිවර්තනවලට ලක් විය. නමුදු ඒ කිසිදු විටෙක මගේ ප්‍රතිපත්ති  නොවෙනස්ව පැවතිනි. ඇතැම්විට ප්‍රතිපත්ති නිසාම බොහෝ දුක් කරදර හිරිහැර ද විඳ දරා ගැනීමට ද සිදු විය. ඒ සෑම විටකදීම බුදුදහම මාගේ ජීවිතය හා බද්ධව පැවතීම වෙස්වලාගත් ආශිර්වාදයක් විය. මා විඳි දුක තුළින්ම සැනසිල්ල ලැබිය හැකි මඟ උගත්තෙමි.

 

පැවිදි දිවියට පත්වීමටද තරුණ වියේදී මගේ සිතේ දැඩි ආශාවක් විය. නමුදු එය මේ දිවියේ කෙදිනකවත් ඉටුකර ගත නොහැකි විය. මගේ මව ඊට දැඩිසේ අකමැතිවූයේ මා පවුලේ එකම පිරිමි දරුවා වූ නිසා යැයි සිතේ. පැවිදිවීමට මගේ සිතේ වූ ආශාව නිසා සතර පොහෝ දිනයටම පන්සල් ගොස් දශ ශිලය සමාදන්ව විදර්ශනා භාවනානුයෝගීව සිටීමට මම හුරුව සිටියෙමි. මුලදී මගේ මව මා සිතින් වේදනා විඳින බැවින් එසේ කරතැයි සිතා ඊට එතරම් කැමැත්තක් නොපෙන්වුවද පසුව මගේ මව ඊට ආශිර්වාද කළාය. ඉන් පසු දුර බැහැර පිහිටි ආරණ්‍ය සේනාසන කරා ගො‍ස් විදර්ශනා භාවනාව වඩා හුරු පුරුදු වීමට මම කැමැත්තක් දැක්වීමි. විවිධ මට්ටම්වල දැන උගත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා හමුවෙමින් මට මතු වූ ආගමික ගැටළු පිළිබඳව සාකච්ඡා කළෙමි. මා මේ උගත්කම ලැබුවේ එසේ නොදන්නා දෙය ගැන අසමින් දැනුම ලැබීමේ ආශාවෙන් පැමිණි ගමනේදීය. උසස් අධ්‍යාපනයට යොමුවීමේ මගේ ප්‍රවේශය සැකසෙන්නේ ඊට පසුවය. කෙතරම් උපාධි ලැබුවද මගේ දැනුම් පිපාසය තවම නිවී නැත. බුදුදහම පිළිබඳ අධ්‍යයන කරන විට මට තවම ගැටළු මතු වේ. ඒ නිසා මගේ විශ්වවිද්‍යාල ජීවිතය අනෙක් බොහෝ ශිෂ්‍යයින්ට වඩා සාමකාමී හා ඵලදායී එකක් විය. අද පවා මට ගැටළුවක් ඇති වූ විට මධ්‍යස්ථව ඊට මුහුණදීමට හැකිව ඇත්තේ මුලදී මාලැබූ ඵලදායී පුහුණුවීම් නිසා යැයි මට සිතේ.

 

බුදුදහමට මෙතරම් ආශක්තවීමට හේතුව කුඩාකළ සිට මා මුහුණ දුන් අත්දැකීම් යැයි සිතේ. ඒ අත්දැකීම් නිසා සම වියේ සිටි වෙනත් අයෙකුට වඩා මම දැනුමින් මුහුකුරා ගිය අයෙකුව සිටියෙමි. මා නිතරම කටයුතු කලේ මාගේ හෘද ශාක්ෂියට එකඟවය. මා මූළධර්මවාදියෙකු නොවෙමි. ආගම් ගැන ම‍ගේ සිතේ ඇත්තේ දැඩි සෙනෙහසකි. එය හැඟීමක් බැවින් වචනයෙන් ප්‍රකාශකරන විට ඊට සුදුසු වචනයක් සම්මත භාෂාව තුළ නොවිය හැක. එනිසා මගේ ප්‍රකාශන සෑම දෙයක් දෙසම හුදු වචනාර්ථ දෘෂ්ටිකෝණයෙන් නොව අර්ථය අනුව සැලකීමට තරම් කාරුණික වනු ඇතැයි මම විශ්වාස කරමි. මගේ සෑම ශාස්ත්‍රීය පර්යේෂණ  ග්‍රන්ථයක් පාසාම ඔබට කියවීමට ලැබෙනුයේ මාහට ජීවිතය තුළින් අත්විඳීමට සිදුවූ යම් යම් වටිනා කරුණුය. එසේම ඒවා සම්පාදනයේ දී හැමවිටකදීම මා උත්සුක වූයේ ඒවා නිර්මාණශීලීව පෙළ ගස්වන්නටය. කෙතෙක් ශාස්ත්‍රීය වුවත්, පර්යේෂණාත්මක වුවත් මිනිසුන් ඉන් කිසිදු ඵලප්‍රයෝජනයක් ලබා නොගන්නේ නම්, ඒවා නිරර්ථකය. ඒ නිසා මා වෙහෙසුනේ මිනිසුන්ගේ හදවතට ළංවිය හැකි වාග් මාලාවකින් පොදුජන වහරින් නිර්මාණශීලී ලෙස ඔවුන් ඇමතීමටය. සමහරු ශාස්ත්‍රීය බව යනු පාදක සටහන් හැකිතාක් ස්වකීය පොත්පත්වල බලෙන් ඔබ්බවා පුරවා දැමීම ලෙස වරදවා වටහාගෙන සිටිති.

 

විද්‍යෝදය පරිවෙණස්ථ ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සභාව මඟින් පවත්වනු ලබන ත්‍රිපිටක ධර්‍ම පරීක්ෂණ සඳහා මම පෙනී සිටිමි. එහිදී විනයාචාරිය, සද්ධම්මාචරිය හා අභිධම්මාචරිය යන උපාධි ප්‍රාරම්භ, මධ්‍යම හා අවසාන පරීක්ෂණ විශිෂ්ට ලෙස සමත්වීමි. එසේම අභිධම්ම විශාදර උපාධිය ත්‍යාග සහිතව ගෞරව ප්‍රථම පංතිය ලබා සමත්වූයෙමි. අභිධම්ම විශාරද උපාධිය විශිෂ්ට ලෙස සමත්වූවන්ට ලැබෙන අවස්ථාවක් ලෙස වැල්ලවත්ත තරුණ බෞද්ධ සමිති ශාලාවේ පවත්වා ගෙන යනු ලැබූ අභිධර්ම පංතියේ දේශන පැවැත්වීමද කාලයක් පුරා පවත්වා ගියෙමි. කුඩා කල මා කොළඹ කුප්පියාවත්තේ ජයශේඛරාරාම විහාරස්ථ ශ්‍රී ධර්ම රක්ෂිත දහම් පාසැලේ දහම් අධ්‍යාපනය ලැබූවෙමි. පසුකලක 1997 දී දහම් පාසැල් අවසාන සහතික පත්‍ර විභාගයද, 1998 බෞද්ධ ධර්මාචාර්ය විභාගයද විශිෂ්ට ලෙස සමත්වීමි. එසේම කොළඹ තරුණ බෞද්ධ සංගමය මඟින් පැවැත්වූ පාලි ධම්ම අභිධම්ම විභාගය ප්‍රාරම්භ මධ්‍යම හා අවසාන විභාගය ද විශිෂ්ට ලෙස සමත්වීමි. ප්‍රාචීන භාෂෝපාකාර සංගමය මඟින් මෙහෙයවනු ලබන පණ්ඩිත උපාධියේ පාරම්භ, මධ්‍යම හා අවසාන විභාගවලින්ද සමත්වීමි. ධර්මදීප්ති හා ශ්‍රී පඤ්ඤෝදයාරාම යන දහම් පාසැල්වල දහම් ගුරුවරයෙකු ලෙස වසර ගණනාවක් පුරා සිසු සිසුවියන් වෙත දහම් දැනුම ලබා දී ඇත්තෙමි. එසේම එකී විහාරස්ථාන ආශ්‍රිතව මගේ මුලු තරුණවියතුළ විශාල කාලපරිච්ඡේදයක් පුරා සතර පොහෝයටම දස සිල් සමාදන්ව පසුදින වන තෙක්ම පෙහෙවස් සමාදන්ව විසීමි. මුලු දිනය පුරාම භාවනානුයෝගීව විදර්ශනා භාවනාවේ යෙදී සිටියෙමි. එසේම ඒ දිනවලදී පන්සලට රැස්වන වැඩිහිටි, තරුණ, ලාබාල උපාසක උපාසිකාවන්හට දහම් දෙසුම් පවත්වමින්ද, භාවනා පිළිබඳ දේශකයෙකු ලෙසද විහාරස්ථාන ගණනාවක පොහෝ දින වැඩසටහන්වලට දායකත්වය ලබාදී කටයුතු කර ඇත්තෙමි.

 

මම 1998 දී  ‍ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බුද්ධධර්ම ඩිප්ලෝමා පරීක්ෂණය සමත්වීමි.එසේම 2001 දී එම විශ්වවිද්‍යාලයේම පාලි ඩිප්ලෝමා පරීක්ෂණය සමත්වීමි.1999 දී එම විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය සඳහා ලියාපදිංචි වීමි. 2001 දී පාලි, බෞද්ධ දර්ශනය හා බෞද්ධ සංස්කෘතිය යන විෂයයන් වලින් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධිය දෙවන පෙළ සාමාර්ථය ලැබුවෙමි. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල‍යේ බාහිර උපාධිය සඳහා ලියාපදිංචිවීමට සමගාමීව මම ඒ වසරේදීම එනම් 1999 දීම කැලණිය විශ්වවිද්‍යාලයේද බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ දර්ශනය හා පුස්තකාල විද්‍යාව යන විෂය යටතේ බාහිර උපාධිය සඳහා ලියාපදිංචි වූයෙමි. පළමු වසර පරීක්ෂණයේදී ලැබූ විශිෂ්ඨ සාමාර්ථ මත පුස්තකාල විද්‍යාව විශේෂ ශාස්ත්‍රවේදී උපාධිය සඳහා අයදුම්කළ නමුදු, ඒ වනවිට අවශ්‍ය පාඨමාළා සැලසුම් සකස් කර නොතිබීමේ අඩුපාඩුව මත එම ඉල්ලීමට ඉඩ නොලැබිණි. නමුදු කෙසේ හෝ විශේෂ ශාස්ත්‍රවේදී බාහිර උපාධියක් හැදෑරීමට මට තිබූ වුවමනාව මත ප්‍රධාන විෂය බෞද්ධ සංස්කෘතිය ලෙස හා අනුවිෂය බෞද්ධ දර්ශනය ලෙස මා කැලණිය විශ්වවිද්‍යාලයේ විශේෂ ශාස්ත්‍රවේදී උපාධිය 2005 සමත්වීමි.

 

1999 දී පාලි,බුද්ධ ධර්මය, සිංහල  හා බෞද්ධ සංස්කෘතිය උසස් පෙළ විභාගයට පෙනී සිට ලබාගත් ප්‍රතිඵල මත විශේෂ අවසරය ලබා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට අභ්‍යන්තර ශිෂ්‍යයෙක් ලෙස ප්‍රවේශ වූයෙමි.එහිදී පාලි, පුරා වස්තු හා බෞද්ධ කලා, බෞද්ධ සංස්කෘතිය විෂය යටතේ අධ්‍යාපනය ලබා බෞද්ධ සංස්කෘතිය විශේෂ ශාස්ත්‍රවේදී උපාධිය  ( අභ්‍යන්තර) පළමු පෙළ සාමාර්ථය හිමි කරගතිමි.එහිදී මගේ අනු විෂය වූයේ පාලි භාෂාව හා සාහිත්‍යයයි. මවිසින් එම උපාධිය සඳහා ඉදිරිපත්කලේ “කාලාම සූත්‍රයෙන් හෙළිවන බෞද්ධ සාරධර්ම පිළිබඳ විචාරපූර්වක අධ්‍යයනයක්” මැයෙන් වූ ශාස්ත්‍රීය නිබන්ධනයයි. පසුව කැලණි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය යටතේ දර්ශනපති යෝග්‍යතා පරීක්ෂණය සඳහා පෙනී සිට ඉන් සමත්වූයෙමි. 2005 දී දර්ශනපති උපාධිය සඳහා පූජ්‍ය මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමිගේ පර්යේෂණ උපදේශකත්වය යටතේ “ත්‍රිපිටක‍යෙන් හෙළිවන මෙත්තා සංකල්පයෙහි බෞද්ධ සාරධර්ම පදනම පිළිබඳ විචාර පූර්වක අධ්‍යයනයක්” මැයෙන් වූ ශාස්ත්‍රීය පර්යේෂණ නිබන්ධනය 2007 දී කැලණි විශ්වවිද්‍යාල‍යට ඉදිරිපත් කර දර්ශනපති පශ්චාත් උපාධිය ඉන් විශිෂ්ඨ ලෙස සමත්වීමී.

 

උපාධිධාරී නිලධාරියෙක් ලෙස පත්වීම ලබා මා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රලේඛන සහකාර තනතුරට 2005 දී පත්වූ අතර එදා මේ දක්වා දැනට වසර ගණනක සිට සේවය කරමි. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ බණ්ඩරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනය, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය යන සේවා ස්ථාන වල 2005 සිට 2010 වසර දක්වා සේවය කළෙමි. 2010 වසරේ සිට 2014 දක්වා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට අයත් අපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙහි පරිපාලන නිලධාරි තනතුරෙහි මම සේවය කළෙමි. 2008 දී  මුදල් හා සැලසුම් අමාත්‍යාංශයට අයත් රාජ්‍ය ගිණුම් හා මූල්‍ය ආයතනය (Ingaf) මඟින් පැවැත්වූ ගැටුම් කළමනාකරණය හා නායකත්වය පාඨමාලාව හදාරා සමත්වීමි. 2009 දී ඒ ආයනයේම පුහුණු කිරීමේ මූළධර්ම පාඨමාළාව හදාරා සමත්වීමි. දර්ශනපති හා ආචාර්ය උපාධි ආදී මා සියළු පශ්චාත් උපාධි ශාස්ත්‍රීය පර්යේෂණ නිබන්ධන රචනා කලේ මගේ වෘත්තීමය කටයුතු නොපිරිහෙලා ඉටු කරන අතරතුරේදීමය. ආචාර්ය උපාධිය ශාස්ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථය ලියා නිම කරන කාලවකවානුවේ මම අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පරිපාලන නිලධාරි ලෙස කාර්යබහුලව සේවය කරමින් සිටින අතර දිනපතා සේවය නිමවා නිවසට පැමිණ නිවසේ මුලුතැන් ගෙයට අවශ්‍ය ඉවුම් පිහුම් කළමනා බඩුමුට්ටු ටික වෙළඳ සැලට ගොස් මිලදී ගෙන පැමිණ තවත් කාල වේලාවක් වැය කර මට නියමිත යුතුකම් වගකීම් ඉටුකර සවස 7.00 පමණ සිට රාත්‍රී ආහාරය දක්වාද ඉන් පසුව එකදිගටම පසුදා අළුයම උදෑසන 3.00 පමණ වන තුරුම පර්යේෂණ නිබන්ධනයේ වැඩකටයුතුවල නිරතවූයෙමි. ඉන්පසුව උදෑසන 3.00 ට නින්දට පිවිස පසුදා සේවය සඳහා වාර්තා කිරීමට අළුයම 6.00 ට පිබිද සේවයට පිටත්ව ගියෙමි.මේ ආකාරයට ගතවූ වසර තුන මුළුල්ලේම මම දිනපතාම දින චරියාව ගත කළෙමි. ඒ කාලය මුලුල්ලේ නිවාඩු දිනයක හැරෙන්නට වැඩකරන දවස්වල මා දවසටම නිදියගනු ලැබූවේ පැය 2 ක් පමණකි. මගේ දෑස්වල පෙනුම හොඳටම නරක්වන්නට විය. කෙදිනක හෝ දෑස් සම්පූර්ණයෙන්ම නොපෙනී යනු ඇතැයිද මට සිතිනි. වසරකදී ඇස් කණ්ණාඩි කාච මාරු කිරීමට සිදු විය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අයත් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක සියල්ලේම සියලුම පරිපාලන ගැටළු මාඋරමත පැටවී අධික පරිපාලන රාජකාරි මැද මානව සම්පත් අංශයකින් සිදු විය යුතු සියලුම කාර්යභාරයන් නොපිරිහෙලා ඉටු කරමින් රාත්‍රී නිදි මරා පර්යේෂණ කටයුතුවල නිරතවීම නිසා දෑස් නිදි කිරා වැටෙද්දී වුවද මම දෙඅංශයේම අධ්‍යාපන හා රාජකාරි කටයුතු සමබරව ගෙන ගියෙමි.

 

පසුව මම ආචාර්ය උපාධියද (PhD) කැලණි විශ්වවිද්‍යාලයෙන් විශිෂ්ට සාමාර්ථයක් සහිතව සමත්වීමි. එහි දී මගේ නිබන්ධන මාතෘකාව වූයේ “සංජානන පැතිකඩ පිළිබඳව බුදු දහම ඇසුරින් සිදු කෙරෙන විචාර පූර්වක අධ්‍යයනයක්” යන්නයි. එහි විෂයපථය දැඩිව මනෝවිද්‍යාව හා බැඳී පවතී. මගේ ආචාර්ය උපාධි පර්යේෂණ නිබන්ධනයේ උපදේශක මහාචාර්ය හිමි වනුයේ කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මනෝවිද්‍යාව යන විෂය පිළිබඳ මහාචාර්ය හිමියන් වූ පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත  මහ නාහිමිය. 

 

මෙය කියවීමේදී මේ සියල්ල මා පිළිබඳව වූ වර්ණනා යැයි ඔබට සිතෙන්නට හැකිය. කෙදිනකවත් මම මගේ ශාස්ත්‍රීය කෘතිවල මා පිළිබඳව වර්ණනා කර නැත්තෙමි. මම සමාජයේ බොහෝ ඊර්ෂ්‍යාකරන්නන්ගේ ද්වේෂ සහගත අවමන්වලට, කුහකබවින් යුතුව සිදුකරන පුද්ගලික පළිගැනීම්වලට හා ඊර්ෂ්‍යාවෙන් යුතුව මට එරෙහිව කේලාම් කියා අන්‍යයන් හා මා බිඳුවා දැමීම්වලට ආදී දේවලට ලක්කර මා අධෛර්යමත් කිරීම මිසක වර්ණනාවට පාත්‍රවී නැත්තෙක්මි.කුඩා කාලයේ සිටම මගේ ආදරණීය මවගේ මගේ එකම බාල සහෝදරියගේ මා මගේ ජීවිත විවිධ දුක් කම්කටොළුවලින් පිරි ඉතිරී පැවතිනි. අටලෝ දහම අනුව එහි නරක අංශය වන නින්දා,අවමන්, ගැරහුම්, බැණුම්, අපහාස, වේදනා, කරදර, බාධා විඳ ඇත්තෙමි. නමුත් අට ලෝ දහම අනුව තවමත් එහි හොඳ අංශය වන ප්‍රශංසා, ලාභ, යසස ආදී දේ අප කරා පැමිණ නැත. මව, නැගෙණිය හා මා අප තිදෙන තවම මෙලොව හොඳ හැටි අත්දැක ඇත්තේ අට ලෝ දහමේ නරක අංශය පමණකි. මට ඇති කණගාටුව නම් මගේ ආදරණීය මෑණියන් මියයන මොහොත දක්වාම මේ අට ලෝ දහමේ නරක අංශය පමණක්ම භුක්ති විඳීමට සිදුවීමයි. මේ ආත්ම භාවය තුළ මාගේ ආදරණීය මෑණියන් කෙතරම් කුසල සම්පන්නව ජීවත්වුවද ඇය ඉහත ආත්මභාවයන් වලදී දුක් විපාක ඇති කරන නරක අකුසල පාප කර්ම සිදු කර ඇත්දැයි මට සිතෙන්නේ ඇය විඳි දුක් ගැහැට නිසාය. එසේම මගේ නැගෙණියන් හා මාද එලෙසම අනන්ත දුක පමණක් තවමත් අටලෝ දහමේ අනුභව කරමින් සිටිමු.

මම හුරු පුරුදුව සිටින කරුණක් නම් මගේ ශාස්ත්‍රීය ලිපි හා කෘතිවල මා ලද හොඳ පමණක් සටහන් කිරීමයි. එය කියවන සමහරු මා ඉතා සැපවත් මනරම් ජීවිතයක් ගත කරන ගාභ්‍යවන්තයෙකු පුන්‍යවන්තයෙකු යැයි සිතනු ඇත. නමුත් සත්‍යය ඊට ඉඳුරාම වෙනස්ය. මම මේ දක්වා පැමිණි ජීවිත, ශාස්ත්‍රීය, අධ්‍යාපන, සේවා ගමන්මග තුළදී මට ලැබුණු උපකාරවලට වඩා සාපෙක්ෂකව බාධා, හිරිහැර, අකුල්හෙලීම්, නින්දා, ගැරහුම්, මඩගැසීම්, පෞද්ගලික චරිත ඝාතන ආදී දේ බාධක වශයෙන් පැමිණි බව රහසක් නොවේ.නමුත් යමෙකු මට සිදු කළ සුලු උපකාරය මිසක මට ඊට වඩා විශාල ගුණයකින් සිදුකළ අනර්ථක කිසිදාක කිසිදු තැනක සටහන් කිරීමට මම හුරු පුරුදුව නැත්තෙමි.යමෙකු තමන්ට සිදු කළ විශාල අනර්ථය දියෙහි ඇඳි ඉරක් මෙන් ද එසේම යමෙකු තමන්ට කළ සුලු උපකාරය ගලෙහි ඇඳි ඉරක් සේද සලකන්නැයි සඳහන්ව ඇති පුරාණ ආදර්ශ පාඨය මම අදද එලෙසම රකිමි. ඒ අනුව මගේ සෑම පොතකම පෙරවදන පුරවා ඇත්තේ මට වෙනත් අය සිදු කළ සුලු හෝ උදව් උපකාරවලින් පමණකි. නමුත් ඒවා කියවා මට ලැබුණේ ඔබට නොලැබුණු දිවිගමනේ ඉස්තරම්ම දේ පමණකැයි මා පිළිබදව වැරදි ආකල්පයකින් නොබලනු මැනවි. එසේම මම ලැබූ විශිෂ්ඨ සාමාර්ථ සහිත උපාධි හා විභාග දෙස බලා ජීවිතයේ මා මුහුණ දුන් සෑම විභාගයකින්ම උසස්ම සාමාර්ථය ලැබුවේ යැයි වරදවා නොසිතනු මැනවි. මා පෙනී සිට සෑම විෂයකින්ම අසමර්ථ වූ විභාගද ඇත.මෙහි සටහන්කලේ මගේ ජයග්‍රහණ පමණකි.ඒවාද මම අපමණ කැපවීමකින් නෙත්හි පෙනීම දුර්වලවන තෙක් අපමණ මානසික වෙහෙසක් දරා පාඩම්කර වණපොත් කර ලැබූ ජයග්‍රහණ මිසක මට කවුරුත් හෝ රිදී බන්දේසියක තබා පිළිගැන්වූ දෙයක් සේ නොසිතනු මැනවි.

කියයුතු දේ බොහෝ වේ.ඒවා සෑම දෙයක්ම තවත් අයෙකුට බෙහෙවින් ප්‍රයෝජනවත් විය හැකි දේවල් බවද දනිමි. ආචාර්ය උපාධිය සඳහා මා සිදු කළ පර්යේෂණය එකක් වුවද ඒ පර්යේෂණයතුළ තවත් පර්යේෂණ කීපයක්ම අඩංගු බව එදා ආචාර්ය උපාධියේ අවසාන වාචික පරීක්ෂණය සඳහා සහභාගී වූ විද්වත් මඬුල්ල හෙබවූ ගෞරවණීය ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු පිරිස පැවසූහ. එය සත්‍යයකි. මගේ මවගේ අවමංගල්‍ය උත්සවයේ කටයුතු වෙනුවෙන් කීප දවසක්ම පැමිණ ස්වකීය නිහතමානී ගුණය පළකරමින් හා අතිශය ලෙන්ගතු සුහඳ හා හෘදයාංගම ලෙස ශාස්ත්‍රීය කරුණු පිළිබඳව සංවාදයේ නිරතවූ කැලණි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍ය්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණි දෑලබණ්ඩාර මැතිතුමා මේ පර්යේෂණ ග්‍රන්ථ කියවා සාමාන්‍ය පාඨකයන්හට එහි ඇති වැදගත්කම අගය කළේය. මා වරින් වර ඇසුරු කළ අය ද මින් පෙර එලෙස ඇසුරු නොකළ නමුත් මවගේ අවමංගල්‍යය පිළිබඳව දැනගැනීමට ලැබී මගේ දුක තුනී වන අයුරින් ලෙන්ගතුව වචන කීපයක් හෝ හිත සැනසීමට කතාබහ කළ අය ද මගේ ග්‍රන්ථවල විස්තර කර ඇති කරුණු පිළිබඳව ප්‍රසාදය පළ කළහ.

මාහට ලේ ඥාතී නොවුනද මෙලොව වාසය කරන හැම අයෙකුම කුමන අයුරකින් හෝ මගේ ඥාතියෙකු ලෙසට සැලකීමේ පුරුද්ද මා තරුණ කාලේ පටන්ම පැවතිනි.ඒ අනුව සමාජ මට්ටම කුමක් වුවද මගේ මෑණියන්ගේ වයසට සමාන වයසේ සිටි සෑම මවක්ම මම ඇමතුවේ අම්මා යන ආදරණීය නාමයෙනි. එසේම මගේ පියාගේ වයසේ සිටි සෑම පිරිමි අයෙකුම මම තාත්තා වශයෙන්ද මගේ නැගෙණියගේ වයසේ සිටි සෑම කාන්තාවකම මම නැගෙණියක් ලෙසට කුඩාකළ සිටම ඇමතීම පුරුද්දක්වී තිබූ අතර චර්යාවෙන් එලෙස සැලකීමටද වගබලා ගෙන ඇත්තෙමි. මේ අනුව මගේ ලේ ඥාතී නොවූවද මේ මහත් මනුෂ්‍ය ප්‍රජාව මා සැලකුවේ මගේ පවුලේ සමීපතමයන් ලෙසටය. එහි ප්‍රතිඵල මවගේ වියෝවේදී මට ලැබිණ.ඒ අනුව මට මගේම ලේ ඥාතී මව වියෝවූවාට මෙලොව තවමත් වෙසෙන මගේ වයසේ දූ පුතුන්ගේ ලේ ඥාතී මව්වරුන්ගෙන් කිසිඳු හිඟයක් මට ඇති නොවිනි. විපතට පත් මොහොතේදී අවසානයේදී මාගේ පිහිටට පැමිණ තිබුණේ මා ඇසුරු කළ එම සුන්දර පුරුද්දයි. මගේ මව දැනුදු මට හැමවිටකදීම සමාජයේදී හමුවේ. පාරේතොටේදී මහමඟදී බැංකුවේදී කාර්යාලයේදී වෙනත් ස්ථානවලදී අසරණව කාගෙන් හෝ පිහිටක් සොයන මගේ මවගේ වයසේ වෙසෙන අසරණ මව්වරුන්හට මට හැකි උපරිම අයුරින් පිහිට වෙමින් මගේ මව ඔවුන් තුළින් මම විනිවිද දකින්නෙමි.මවගේ මරණය සිදු වීමට පෙර සිටම මේ පුරුද්ද මගේ තරුණ වියේ සිටම මා සතුව තිබිණ. මගේ නැගෙණිය මෙන්ම මේ රටේ සෑම තැනකම ලක්ෂණ ගණනක් මට නැගෙණිවරු සිටිති. ඔවුන්ද මගේ සොයුරිය මෙන්ම තවත් අයගේ අක්කලා නංගිලා වෙති.මට මගේම ලේ ඥාතී අය නොසිටියාට මට මනසින් ඥාතීත්වයකින් සැලකිය හැකි අපමණ සොයුරියන් තවත් මේ රටේ ලක්ෂ ගණනක් වෙසෙති.ඒ නිසා මට පාලුවක් තනිකමක් නැත.අසරණකමක් පිළිබඳව හැඟීමක්ද නැත.

මතුපිට ඔපයෙන් හැඩයෙන් නොව අභ්‍යන්තර හරයෙන් හදවතින් ප්‍රතිපදාවෙන් මම නියම බෞද්ධයෙකු වූයෙමි. නමුදු මම අන්තවාදියෙක් නොවෙමි. මගේ ආගම හා සමානව මම සෙසු ආගම්වලටද සෙසු පූජක පක්ෂයටද එසේම ගරු බුහුමන් කරන්නෙක්ව සිටියෙමි. මගේ පුද්ගලික පොත්පත් එකතුව අතර විවිධ ආගමික ග්‍රන්ථ රැසක් තිබූ අතර වරින් වර ඒ සියල්ල පරිශීලනය කරමින් මගේ හිත සුවපත් කර ගැනීමටද හුරුපුරුදුව සිටියෙමි. බෞද්ධ විහාරරාම මෙන්ම සෙසු ආගමික සිද්ධස්ථාන ඇසුරුකරමින් මම මගේ සිත නිවා ගැනීමට හුරුව සිටි අයෙක්මි.ආගම්වල පිට පොත්තට වඩා අභ්‍යන්තර හරයට මම කලෙමි. මා ඉගැන්වූ හා දැනටද උගන්වන මගේ බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ද මෙරට ප්‍රධාන ආගම් සියල්ලටම අයත් අය වෙති. ඔවුහු මා සමඟ බුදු දහම, හින්දු දහම, කතෝලික දහම, ඉස්ලාම් දහම ආදී ස්වකීය ආගම්වල හරය පිළිබඳ නිරතුරු සාකච්ඡා සංවාද පවත්වති. එසේම යහපත් ගුණවත් ගුරුවරයෙකු ලෙස මා සමග බොහෝ සුහද ලෙන්ගතු මානසික සබඳතාවක් ඔවුහු දැනුදු පවත් වන්නාහ. මේ හේතු නිසාම මට බුදුරදුන්ද, ජේසුස් වහන්සේද, හින්දු දෙවිවරුන්ද, අල්ලා දෙවිඳුන්ද හිතට මහත් සමීපතාවක් දැක්වූ ශාස්තෘවරුන් වී තිබිණ. බුදු දහම පිළිබඳව ආචාර්ය උපාධියක් ඇතැයි යන අධිමානී හැගීම මට කිසි කාලයක සිතට දැනී නොතිබිණ. බුදු දහම පිළිබඳව දන්නේ කෙතරම් ස්වල්පයක්දැයි මම ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටිමි. එසේ තිබියදී සෙසු ආගම් පිළිබඳව මා කිසිවක්ම නොදන්නා පුද්ගලයෙකුට සමාන බවද මම දනිමි. එසේ තිබියදී දන්නා දේ ඇසුරුකර හිත නිවා ගැනීමට සමත්ව සිටිමි.උගත්කම පිළිබඳව ලබා ගන්නා සහතික සියල්ල නිකම්ම නිකම් කඩදාසි කොළ පමණකි.අධිමානය ඇතිවීමට සාධකයක් මිසක ඒවායින් හිත නිවා ගැනීමට නොහැකිය.අද මේ ලොව යම් මනුෂ්‍යයෙකු විශ්වවිද්‍යාලීය උගත්කමින් යා හැකි උපරිම දුර මම ගොස් අවසන්ව තෘප්තිමත් මනසකින් යුතුව වෙසෙමි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අවසාන කෙළවරට මම දැන් ළගා වී සිටිමි.එසේ අවසාන කෙළවරටම ගොස් මා පැමිණ ගමන්මඟ තෘප්තිමත් මනසකින් යුතුව ආවර්ජනා කරන්නෙමි.

බුදු දහම පිළිබඳව ගිහියෙකුට හෝ පැවිද්දෙකුට ලැබිය හැකි උසස්ම ඉහළම විභාග සියල්ලක්ම මම මේ වන ත්‍යාග සහිතව උසස් විශිෂ්ට සාමාර්ථලබා සමත්ව සිටිමි. මා භික්ෂූන්වහන්සේ නමක වූවා නම් ආචාර්ය රාජකීය පණ්ඩිත ත්‍රිපිටචාර්ය අභිධර්ම විශාරද ආදී මා සමත්වූ විභාගවලින් ආමන්ත්‍රණය කරන්නට ඉඩ තිබිණ. ගිහිවුවද මේ උපාධි නාම භාවිතා කළ හැකි වුවද දර්ශන විශාරද ( ආචාර්ය ) උපාධිය සමත්වීමෙන් පසුව නීත්‍යානූකූලව ආචාර්ය යන නාමය නමට ඉදිරියෙන් ශාස්ත්‍රීය කටයුතුවලදී පමණක් භාවිතා කරමි.ඊට හේතුව මා ලියන පොත්පත්වල සාධිකාරි බව රැකගැනීම සඳහාය. පාසල් හා පිරිවෙන් ගුරුවරු තමන්ට ආචාර්ය උපාධි නැතද අදාළ පාසලේ හෝ පිරිවෙනේ ආචාර්ය ලෙස වැඩි උගත්කමක් නැති සාමාන්‍ය සමාජය රවටා ව්‍යාජව නීත්‍යානූකූල නොවන ලෙස හොරට භාවිතා කරන මේ සමාජයේ එය නීත්‍යනූකූලව භාවිතා කිරීමේ බලය ඇති මා වැනි අය පෞද්ගලික ජීවිතයේ සමීපතමයන් අතර පෙර පටන්ම ඇමතු ලෙස හුදෙක් මගේ පුද්ගලික නමින් පමණක් මා ඇමතීම මට කරන ලෙන්ගතු ඇමතුමක් ලෙසට සලකමි. මුදලට සමාජ තත්වයට ආදී බාහිර ඔපට මුල්කරගත් දේවල්වලට වඩා කෙනෙකුගේ උගත්කමට හා ගුණවත්කමට ගරු කිරීමට මම කුඩා කාලයේ සිටම හුරුව සිටියෙමි. ඒ අනුව අදද මට කෙනෙකුගේ ලෙන්ගතු හෘදයාංගමබව උගත්කම හා ගුණවත්කම යන සාධක ලෙස ඔස්සේ පමණක් ලැබීම භාග්‍යයක්කොට සලකමි. මේ ජිවිතයේ ඇති නිස්සාරත්වය මා හොඳින්ම වටහාගෙන ඇත්තෙමි. අපට තව ජීවත්වීමට වැඩි කාලයක් ඉතිරිවී නැත.

මා බුදු දහම ඉගෙනීම, පර්යේෂණය, භාවනා කිරීම ආදී සෑම කරුණකින්ම බුද දහම සමඟ ජීවිතයේ විශාල කාලයක් ගත කර ඇත්තෙමි. කුඩා කාලයේ සිට ආචාර්ය උපාධිය දක්වා බුදු දහම පිළිබඳව පාසලේ අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අවසාන හිණි පෙත වන ආචාර්ය උපාධිය දක්වා ද දහම් පාසල් අධ්‍යාපනයේ ධර්මාචාර්ය විභාගය තරුණ බෞද්ධ සංගමයේ පාලි ධම්මපද අභිධම්ම ප්‍රාරම්භ මධ්‍යම හා අවසාන විභාග ද පිරිවෙන් අංශයෙන් ත්‍රිපිටචාකචාර්ය විභාග හා රාජකීය පණ්ඩිත උපාධිය දක්වා සෑම පරීක්ෂණයක්ම ඉතා උසස්ම ගෞරව විශිෂ්ට ලෙස සමත්ව ඇත්තෙමි. එසේම විදර්ශනා භාවනාව ඉතා ගැඹුරු මට්ටමින් ප්‍රායෝගිකව භාවනා අභ්‍යාස වැඩූවෙක්මි. ගිහි පැවිදි භේදයක් නොමැතිව ගිහියෙකු මෙන්ම පැවිද්දෙකු සිදුකරන සෑම මානසික අභ්‍යාසයකම නිරතවූවෙමි. නමුදු පිටතින් සිට මාව නීරීක්ෂණය කරන අවශේෂ සමාජ ප්‍රජාවට මාව පෙනෙන්නේ ඔවුන්ගේ මන්ද බුද්ධික තරාතිරමට අනුවය. වර්තමාන කාලයේ ගිහියන් තබා පැවිද්දන්ද පාලි භාෂාව හෝ ත්‍රිපිටක ධර්මය මෙතරම් ගැඹුරින් අධ්‍යයනය නොකරන බැවින් මාද ඔවුන් වැනිම මුග්ධයෙකැයි ඔවුහු උපකල්පනය කරති.එසේකොට මට විවිධ තහංචි වාරණය ඔවුන් දන්නා ආකාරයට ඔවුහු ක්‍රියාත්මක කරති.එය භෞතික හා අධ්‍යාත්මික යන දෙයංශයෙන්ම එක සේ සිදුවේ. මම කුඩා කාලයේ සිටම ඉගැන්වීමට දැඩි කැමැත්තක් දැක්වූයෙමි.ඒ සඳහා ඉතා දුක් ගැහැට විඳ මහත් වැර වෑයමක් දරා මගේ උගත්කම ඊට සරිලන ආකාරයට සකස් කර ගත්තෙමි.ඉගැන්වීමට ඇති ආශාව නිසාම කොපමණ හොඳ රැකියා ලැබුණත් ඒවා පරිපාලන අංශයට සම්බන්ධ නිසා ඉවතලා ටියුෂන් කිරීම පමණක් තෝරා ගත්තෙමි. අවම තරමින් පාසල් ගුරුවරයෙකුවත් වීමට මට නොහැකි විය. එසේම විශ්වවිද්‍යාල කථිකාචාර්වරයෙකුවීමට ඉතා ආශා කළ බැවින් ඒ සඳහාද මේ වන විට උපරිම සුදුසුකම් සම්පූර්ණ කරගෙන සිටිමි.කථිකාචාර්යවරයෙකුවීමට පමණක් නොව මගේ අධ්‍යයනය හා ශාස්ත්‍රීය වෘත්තීය සුදුසුකම් විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකුගේ මට්ටම දක්වාම ඉහළට නංවාගත්තේ දැඩි කැපවීමක් ශාස්ත්‍රීය ප්‍රයත්නයක් දරමිනි.මට පුස්තකාල විද්‍යාව විෂය අඩංගු උපාධියක්ද කැලණි විශ්වවිද්‍යාලයෙන් ඇත.එසේම රාජ්‍ය දෙපාර්තමේන්තු අමාත්‍යාංශ කීපයකම වසර ගණනාක් පුස්තකාලයාධිපති තනතුරේ සේවය කිරීමෙන් ලැබූ සේවා පළපුරුද්දක්ද තිබේ. මේ සියල්ල සහිතව සබරගමු විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලවල පුස්තකාලයාධිපති තනතුරට හෝ ඒ යටතේ ඇති කණිෂ්ඨ තනතුරුවලට අයදුම් කළත් මට ඒවා නොලැබුනි. නමුත් ඉල්ලා ඇති ඉහළම සුදුසුකම් මා සතුවිය. පුස්තකාල විද්‍යා උපාධියට අමතරව විශේෂ ශාස්ත්‍රවේදීගෞරව උපාධි ප්‍රථම පංති සාමාර්ථය, දර්ශනපති උපාධි සාමර්ථය හා ආචාර්ය උපාධි සාමාර්ථය යන මේවාද අධ්‍යයන කාර්ය මණ්ඩලයට අයත් තනතුරක් වූ පුස්තකාලයාධිපති තනතුරට අදාළය.නමුත් විවිධ මා පෙනී සිටි සම්මුඛ පරීක්ෂවලදී මාහට විවිධ අසාධාරණකම් අයුක්තිසහගත සැලකීම්වලට ලක්වීමට සිදුවිය.සබරගමු විශ්වවිද්‍යාලයේදී පැවති සම්මුඛ පරීක්ෂණයේ දී ඊට සහභාගීවූ සියලු අපෙක්ෂකයන්ගෙන් පශ්චාත් උපාධි සුදුසුකම් හා ඉහළම මට්ටමේ වෘත්තිය සුදුසුකම් තිබුනේ මටය. සම්මුඛ පරීක්ෂණයට සහභාගී වූ සියලු අපේක්ෂහෝ මාහට එම තනතුර ලැබේ යැයි සිතා මට සුබ පැතූහ. නමුදු අවසානයේ සිදු වූයේ නොසිතූ විරූ දෙයකි.පැමිණ සිටි එක් අපේක්ෂිකාවක් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සිටි විශ්වවිද්‍යාලයේ සේවය කරන අයෙකුගේ බිරිඳක් විය.ඇයට කිසිදු පශ්චාත් උපාධියක් හෝ වෘත්තිය සුදුසුකමක් නොමැති බව සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණ සිටි සියලු දෙනා කතාබහ කිරීමේ දී දැන සිටි නමුදු ඇය ඒ තනතුරු සඳහා තෝරා ගන්නා බව සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන අවස්ථාවේදීම අපට දන්වනු ලැබිණ. සාමාන්‍යයෙන් පෞද්ගලික අංශයේ තනතුරුවලදී එසේ විය හැකි වුවද රජයේ ආයතනයක්වූ  විශ්වවිද්‍යාලයක සම්මුඛ පරීක්ෂණයකදී රැකිය යුතුවූ අවම සදාචාරය ව එහිදී වගකිය යුතු විද්වත් මණ්ඩලව වෙතින් නොරැකිනි.සම්මුඛ පරීක්ෂණය සඳහා මගේ නම අඬගසා මා සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වූ විට මගේ සම්මුඛ පරීක්ෂණය සිදු නොකරම මට පෙර සම්මුඛ පරීක්ෂණය සඳහා භාජනය කළ ඉහත කී ස්ත්‍රිය ඒ සඳහා තෝරාගත් බව මට දැනුම් දී ඉන් පසු අපේක්ෂකයන් සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම ද ඒ අවස්ථාවේදීම අවලංගු කර සෙසු අපේක්ෂිකයන් හරවා යවන ලදී.විශ්වවිද්‍යාලයක පැවැති සම්මුඛ පරීක්ෂණයකට වඩා ඉතා පහළ මට්ටමක ක්‍රියාකාරීත්වයක් නිරීක්ෂණය කළ හැකි විය. විද්වතුන් යැයි තමන්ම සපථ කරගන්නා අය නිර්ලජ්ජිත ලෙස අයුක්ති අසාධාරණකම් සහිත දේවල්වල නිරතවන බව මට ඇස්පනාපිටම පැහැදිලි විය. එය තේ කඩයකට තේ ගැසිය හැකි අයෙකු තෝරා ගැනීමේ කටයුත්තකටත් වඩා පහළ මට්ටමකට බැස ඇති බව දුටු මට විශාල කළකිරිමක් ඇති විය. තේ කඩයට තේ ගැසීමට තෝරාගනුයේ තේගැසිය හැකි අයෙකු මිසක පසුව තේ ගැසීමට නොහැකි වුවද පසුව අවශ්‍ය අවස්ථාවලදී තේ කඩ මුදලාලිට නිදි ඇඳට ගතහැකි යැයි සලකා ඇහැට කණට පේන ස්ත්‍රියක තෝරා ගනු ලබන්නාක් පරිදි ස්ත්‍රී පුරුෂ බාහිර ඔපය සලකා නොවේ. අද මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල ඊටත් පහළ මට්ටමකට පත්ව ඇති බව පවසනුයේ ඒ කෙරෙහි හටගත් විශාල කළකිරීමකිනි.

ඉන්පසුව මා ආධුනික කථිකාචාර්ය තනතුර සඳහා ඉල්ලුම්පත් යොමු කිරිමෙන් පසුව කැලණි විශ්වවිද්‍යාලය, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය හා මහනුවර පල්ලෙකැලේ බෞද්ධ පර්යේෂණායතන විශ්වවිද්‍යාලයේ සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වුනෙමි. කැලණි විශ්වවිද්‍යාලයෙන් මට විශේෂ ශාස්ත්‍රවේදී උපාධියක්ද, දර්ශනපති උපාධියක් ද ආචාර්ය උපාධියක්ද සමත්ව ඇත.නමුදු කැලණි විශ්වවිද්‍යාලයේ පැවති සම්මුඛ පරීක්ෂණයේදී එම එය නොලැබිණ. මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ පිහිටි බෞද්ධ පර්යේෂණායතනය විශ්වවිද්‍යාලයක් සේ දැක්වෙන නමුදු එය සෙසු රාජ්‍ය විශ්වවිද්‍යාල මෙන් උසස් අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ ඇති විශ්වවිද්‍යාලයක් නොවේ. සාමාන්‍යයෙන් රජයේ විශ්වවිද්‍යාලයක් ලෙස පිළිගැනීමට නම් ඊට අදාළ කොන්දේසි සපුරාලිය යුතුය. මේ බෞද්ධ පර්යේෂායතනයේ විවිධ මට්ටමේ උපාධි පාඨමාලාද, ඩිප්ලෝමා සහතික පත්‍ර පාඨමාලාද, පශ්චාත් උපාධි පාඨමාලා ද එපමණක් නොව දර්ශන විශාර නමින් ගැනෙන ආචාර්ය උපාධි පාඨමාලාද මෙහි ක්‍රියාත්මක වේ.මෙතරම් මුදලක් වැය කර ගනු ලබන උපාධියක නීත්‍යානූකූල පදනමක් රහිත නම් එය මහා අපරාධයක් වනු ඇත.දැනට මා ස්ථිරව පදිංචිව සිටිනේ මහනුවරය. එබැවින් මෙම බෞද්ධ පර්යේෂණායතනයේ (SIBA) ආධුනික කථිකාචාර්ය තනතුර සඳහා අයදුම්කර සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටියෙමි. එම සම්මුඛ පරීක්ෂණයේදී සලකා බලන ලද්දේ පැමිණ සිටි අපේක්ෂකයින් කොපමණ හොඳින් ඉංග්‍රීසි භාෂාව කතාබහ කිරීමට දන්නේදැයි යන කාරණය පිළිබඳ පමණකි. පාලි හෝ ත්‍රිපිටක අධ්‍යයනය සම්බන්ධව පර්යේෂණ හැකියාව තබා ඒ පිලිබඳව මූලික විමසීමක් හෝ සිදු නොවිණ.  මේ පිළිබඳව ඇතිවූ කුකුස නිසා මේ පිළිබඳව මඳක් විපරම් කල බැලුවෙමි.පසුව කළ සොයා බැලීම්වලදී හෙළිදරව් වූයේ නමට බෞද්ධ පර්යේෂණායතනයක් ලෙස මෙය හැඳින්වුවද විදේශීය රටවල සිට මෙරටට පැමිණෙන අයගේ ඉල්ලුම තෘප්තිමත් කරලීම සඳහා පාලි හෝ ත්‍රිපිටක දැනුම නොව විෂය නිර්දේශවල ¾ පමණ ඉංග්‍රීසි හා පරිගණක දැනුම ලබාදීම සඳහා මෙහි ඉගෙනීම් කටයුතු අරමුණු වී පවතින බවකි.නමට බෞද්ධ පර්යේෂණායතනයක් ලෙසට හඳුන්වනු ලැබුවද මෙහි සැබවින්ම සිදුවන පාලි හෝ ත්‍රිපිටක පර්යේෂණ කටයුත්තක් නැත.මෙහි සැබවින්ම සිදු වනුයේ විදේශිකයන්ට මුදලට බුදුදහම නමින් මොන මොනවා හෝ අලෙවිකර එම ආයතන පවත්වා ගැනීම පමණි. ඒ සඳහාම වූ කාර්යමණ්ඩලයක්ද එහි විය.බහුතරය වූයේ ඇහැට කණට පේන හැඩකාර ලමිස්සියන්ය. ඔවුන්ගේ දැන උගත්කම කෙසේ වුවද යම්තම් ඉංග්‍රීසි බස පමණක් දත්තවුන් බව පෙනී ගියේය.ඉංග්‍රීසි බසින් චතුරව කතාබහ කරමින් ප්‍රජාව ආකර්ශණය කරගැනීම ඔවුන්ගේ මුලික ඉලක්කයක් වූ බවක් දැකගත හැකිවිය. එහි ප්‍රධානියා හා අධ්‍යයන අංශ ප්‍රධානීන් ලෙස කටයුතු කරනු ලබන්නේද රජයේ විශ්වවිද්‍යාලවලින් විශ්‍රාමික අයය. පරිගණ විද්‍යාවවිෂය ක්ෂේත්‍රය යටතේ ආචාර්ය උපාධිධාරි අයෙකු එහි ප්‍රධානත්වය දරනු ලබයි.සෙසු අය අතර විශ්‍රාමික ජ්‍යෙ. මහාචාර්වරු කීප දෙනෙක් සිටිති. ඔවුන්ගෙන් ලබා ගන්නා සේවය කුමක් වුවද ඔවුන් මෙහි තබා ඇත්තේ ආයතනය කෙරෙහි මතු උද්ගතවිය හැකි නීතිරීති ගැටලුවලින් ගැලවීම පිණිස මිසක ඔවුන්ගේ දැනුම ලබා ගැනීම සඳහා නම් නොවන බව පෙනී යයි. එය එසේ වුවා නම් අලස මහල්ලන්ට වඩා ක්‍රියාශීලීව කටයුතු කළ හැකි පාලි හා ත්‍රිපිටකය පිළිබඳ හොදින් දැනුම සහිත මා වැනි අවංක උගතුන්ට අවස්ථා ලැබිය යුතුය. අවංකව පාලි හා ත්‍රිපිටක අධ්‍යයනය පිලිබඳව පර්යේෂණවල නිරතවීමට හා ඒවාට අදාළ ඉගැන්වීම් කටයුතු කිරීමට මම කැමැත්තෙමි.නමුත් මා බලපොරොත්තුවන පරිසරය එහි නොමැති නිසාදෝ මා හට එහි කිසිදු ඉඩකඩක් නොමැති විය.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඇති ආධුනික කථිකාචාර්ය තනතුරක් පිලිබඳව පළවූ පුවත්පත් දැන්වීමකට අනුව ඒ සඳහා මා අයදුම් කලෙමි.පුවත්පත් දැන්වීමේ පළකර තිබූයේ ආධුනික කථිකාචාර්ය, කථිකාචාර්ය හා ජ්‍යෙෂ්ඨ  කථිකාචාර්ය යන තනතුරු තුන සඳහාම සහතික පත්‍ර පරීක්ෂා කෙරෙන සම්මුඛ පරීක්ෂණයකට භාජනය කර ඉන් උපරිම සුදුසුකම් සහිත තිදෙනෙකු බඳවා ගන්නා බවයි. මේ සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීම් කිරීමේදී සුදුසුකම් වලට අනුව වර්ගීකරණය කර (Shortlist) සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් සිදු කරන බව පුවත්පත් දැන්වීමේ සඳහන් කර තිබිණ. එසේම අයදුම්කරුවන් පැවිද්දන් විය යුතු යැයිද සඳහන් නොවින.ගිහි පැවිදි භේදයක් නැතිව සුදුසුකම් අනුව බඳවා ගන්නාබව පමණක් එහි දැක්වින. ඒ අනුව මාස කිහිපයකින් පසුව 2016.06.17 දින සම්මුඛ පරීක්ෂණ පැවතිනි. මමද ආධුනික කථිකාචාර්ය හා කථිකාචාර්ය යන තනතුරු දෙක සඳහාම ඉල්ලුම්පත් දෙකක් සහහතිකවල ඡායාපිටපත්ව සහිතව ලියාපදිංචි තැපෑලෙන් යවා තිබිණ. නමුත් මට සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණ තිබුනේ එක කැඳවීමකි. එය කුමන තනතුරකට කියා නිශ්චිතව ප්‍රකාශ කළනොහැකි ලෙස ආධුනික කථිකාචාර්ය / කථිකාචාර්ය / ජ්‍යෙ. කථිකාචාර්ය තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණ ලෙස තනතුරු තුනටම අදාළ වන ලෙස ශීර්ෂය යොදා තිබිණ. මම කඩවත සිට නියමිත දින බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වීමි. එහි මුලින්ම ගොස් තිබුනේ මමය. මම පැමිණ පසුව තව ලාබාල තරුණ ස්වාමීන්වහන්සේ නමක හා දැනට කැලණි විශ්වවිද්‍යාලයේ ආරාධිත දේශන පවත්වන මහතෙකු පැමිණ සිටිහ. සම්මුඛ පරීක්ෂණ පැවතියේ අප තුන් දෙනා අතරය. පැමිණ සිටි අනුපිලිවෙලට අනුව මුලින්ම මහට සම්මුඛ පරීක්ෂණ සඳහා කැදවිනි. සම්මුඛ පරීක්ෂණය සඳහා කැදවීම් ලිපියේ මාතෘකා කීපයක් ලබා දී ඉන් එක් මාතෘකාවක් සඳහා විනාඩි 10 ඉදිරිපත් කිරීමක් (Presentation) කළ යුතු බව දන්වා තිබූ බැවින් ඒ අනුව බෞද්ධ සංස්කෘතියේ නූතන ප්‍රවණතා නමින් එහි තිබූ එක් මාතෘකාවකට අනුව විනාඩි 10 කට ඉදිරිපත් කිරීම විශ්වවිද්‍යාලීය මහාචාර්යවරයෙකු උපදේශකත්වය සහිතව මනාව සකස් කරගෙන ගියෙමි. පාලි හ

...

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12106287
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12117730
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9606183
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9512345
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9340906
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'