Logo

 

නිලධාරියෙක් දෙන්නෙක් වැඩ තහනමකට ලක්කරලා යහපාලනය ගොඩනගන්න පුළුවන් කියලා කවුරුහරි බූරුවෙක් තර්ක කරනවා නම් ඒක තමයි මිනිහට වැරදිච්ච තැන

- රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ‍ලේකම් ජිනසිරි දඩල්ලගේ විසිණි.



මේ නිලධාරි සංහතියේම වැඩ තහනම් කරන්න ඕනෑ මාවත් එහෙමයි, මොකද මාත් බෙදුවා – රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ‍ලේකම් ජිනසිරි දඩල්ලගේ
########

යහපත් රාජ්‍ය පරිපාලනයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය පසුබිම හා රාජ්‍ය පරිපාලනය මෙන්ම පරිපාලන නිලධාරීන් අද වන විට මුහුණ දී ඇති අර්බුද පිළිබඳ විමසමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ‍ලේකම් ජිනසිරි දඩල්ලගේ මහතා සමග ‘රිවිර’ කළ සාකච්ඡාවකි මේ.

ප්‍ර: ඔබ විසින් කළ පත්වීමක් සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය හරහා කථාබහට ලක් වුණා. සමහරෙකු එම පත්වීම ගැටලුවක් සේ නොසැලකුවත් තවත් අයෙක් එය නීති විරෝධී පත්වීමක් යැයි කියා සිටියා. ඔබ ඒ කළ පත්වීමෙන් අපි මේ කතාව පටන් ගනිමු.
පි: ඔබ ඔය ප්‍රශ්න කරන්නේ අනූෂ පැල්පිට මහතාගේ පත්වීම සම්බන්ධයෙන් වෙන්න ඕන. අනුෂ පැල්පිට මහතා ඒ වන විට සිටියේ පරිපාලන සංචිතයේ. ඇත්තටම රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ මහගෙදර හැටියට සැලකෙන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයයි. කුමන හෝ කරදරයක් ගැටලුවක් ඇති වුණාම අවසානයේ නතර වෙන්නේ මෙතන තමයි.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් මට ඉල්ලීමක් කළා නිලධාරියෙක් එම අමාත්‍යාංශයට ලබා දෙන්න කියලා. ඒ වන විට අනුෂ පැල්පිට මහතා සංචිතයේ හිටපු නිසා මම ඔහු ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අනුයුක්ත කළා. මම ඒ පත්වීම කළේ නීත්‍යානුකූල පසුබිමක් යටතේයි. යම් නිලධාරියකුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන ඇත්නම් ඔහුගෙ වැඩ තහනම් කළ යුතු බව ආයතන සංග්‍රහයේ පැහැදිලිව සඳහන් වෙනවා. අනුෂ පැල්පිට මහතාගේ වැඩ තහනම් වන්නේ ඒ පදනම යටතේයි.

ප්‍ර: එහෙමනම් ඇයි ඔහුට මේ පත්වීම කළ ගමන්ම වැඩ තහනමකට ලක් වුණේ?
පි: ඔහුගේ පත්වීම දෙන වෙලාවේ ඔහුට එරෙහිව අධිකරණයේ නඩුවක් පනවා ඇති බව අපි දැන සිටියේ නැහැ. අනිත් එක ජනමාධ්‍යවල විවිධ කාරණා වාර්තා වූ පමණින් අපට කිසිදු නිලධාරියෙක් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න අයිතියක් නෑ. මේ පත්වීම කළාට පස්සේ අනුෂ පැල්පිට මහතාට එරෙහිව අධිකරණයේ නඩු විභාගයක් පවතින බව දැනගැනීමෙන් අනතුරුව රාජ්‍යසේවා කොමිෂන් සභාවේ ඉල්ලීම මත අපි ඒ පත්වීම අවලංගු කළා. ඒ වන විට එෆ්.සී.අයි.ඩී.ය මගින් ඔහුට නඩු පවරා තිබුණා. ඒකයි සිද්ධ වුණේ.

ප්‍ර: අධිකරණයේ නඩුවක් ගොනුවීමට මත්තෙන් අනුෂ පැල්පිට මහතාට එරෙහිව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හරහා විනය පරීක්ෂණයක් සිදු වූවාද?
පි: නෑ. එහෙම පරීක්ෂණයක් කළේ නෑ. මොකද ඔහුට එරෙහිව පරීක්ෂණයක් කරන්න අපට හේතුවක් තිබුණෙ නෑ. පැමිණිල්ලක් නැත්නම් මාධ්‍ය හරහා මොන දේ ප්‍රචාරය වුණත් අපිට උවමනාවක් නෑ නිලධාරියකුට එරෙහිව ක්‍රියාත්මක වෙන්න.

ප්‍ර: නමුත් සිල්රෙදි සිද්ධියක් මුල් කරගෙන පරීක්ෂණයක් ක්‍රියාත්මක වුණා නේද? 
පි: කරු ජයසූරිය මහතා ඇමැතිවරයා හැටියට ඉන්න කා‍ලේ කොමිසමක් පත් කළා දේශපාලන වශයෙන් රජයේ දේපළත් තමන්ගේ කාලයත් දේශපාලනික වශයෙන් යොදවපු නිලධාරීන් ඉන්නවනම් දැනුම් දෙන්න කියලා. අනුෂ පැල්පිට මහතාගේ සිද්ධිය සම්බන්ධයෙන් මේ කොමිසමට පෙත්සම් පහක් ඉදිරිපත් වෙලා තිබුණා. කොමිසම කියා සිටියේ මේ පෙත්සම් පහෙන් ඉදිරිපත් කරපු කාරණා වලට අනුෂ පැල්පිට වැරදිකරුවෙකු වෙන්නෙ නෑ කියලා. මේ සිද්ධියේදී අනුෂ පැල්පිට මහතා මුදල් හුවමාරුවක් කරල තියෙනවා. නමුත් සිල් රෙදි මිලදී ගැනීම කරල තිබුණේ වෙළෙඳ හා වාණිජ අමාත්‍යාංශය යටතේ. නමුත් එෆ්.සී.අයි.ඩී. ආයතනය මේ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු දාල තියෙනවා. අපට මෑතකදි තමයි ඒ දේවල් දැන්නුවේ. එවිට රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඉල්ලීමක් කළා ඔහුගේ වැඩ තහනම් කරන්න. ඒ අනුවයි ඒ තහනම ක්‍රියාත්මක කළේ.

ඇත්තටම මම පෞද්ගලිකව අනුෂ පැල්පිටට එරෙහිව තිබූ වාර්තා ගෙනැවිත් බැලුවා. ඒ වන විට අනුෂ පැල්පිට වැඩ කළේ ජනාධිපති ‍ලේකම් යටතේ. ජනාධිපති ‍ලේකම් ඔහුට දන්වල තියෙනවා ජනාධිපතිවරයාගේ සිල්රෙදි බෙදීමේ ව්‍යාපෘතියක් තියෙනවා ඒ සිල් රෙදි බෙදන්නේ උතුරු නැගෙනහිර අයටත් දරුවන් සිල් ගැනීමට පුරුදු කිරීමේ අරමුණින් බවත්. එයට අවශ්‍ය මුදල් තාවකාලිකව පිරිමහගන්න යම් මුදලක් එවන්න කියලා ජනාධිපති ‍ලේකම් නියෝග කර තියෙනවා. අන්න ඒ වෙලාවේ අනුෂ පැල්පිට රුපියල් මිලියන 600ක් ජනාධිපති ‍ලේකම්ගේ උපදෙස් මත ඔහු කිවූ ගිණුමට බැර කරන්නේ. එහිම සඳහන් වෙනවා ජනාධිපති ‍ලේකම්වරයා පසුව මිලියන 200ක් නැවත මේ ගිණුමට දාන්න කියලා. ඒකෙන් පැහැදිලි වෙනවා මෙය තාවකාලිකව ගත් මුදලක් බව. ඒ වගේම වෙළෙඳ හා වාණිජ අමාත්‍යාංශයේ මේ සම්බන්ධ ලිපි‍ලේඛන මා පරීක්ෂා කර බැලුවා. එහි සඳහන්ව තිබුණේ පාසල් නිල ඇඳුම් ලබා ගන්න ආයතනයෙන්ම මේවා ලබා ගත්තොත් හොඳයි කියලා. මෙය පුණ්‍ය කටයුත්තක් නිසා පාසල් ඇඳුම්වලට ලබා දෙන මිලට වඩා අඩු මිලක් තමයි රෙදි මීටරයකට අරන් තිබුණේ.

තවත් කාරණයක් පැහැදිලි කරන්න ඕන. අමාත්‍යාංශවල ‍ලේකම්වරු වැඩකටයුතු කරද්දී මුදල් ඔය ආකාරයට හුවමාරු කර ගන්නවා. උදාහරණයක් හැටියට මම කටයුතු කළා අග්‍රහාර රක්ෂණ භාර අරමුද‍ලේ අධ්‍යක්ෂවරයෙක් ලෙස. ඔය මිලියන 600 නෙමේ සමහර වෙලාවට මම මිලියන 1000, 2000 මුදල් අමාත්‍යාංශයේ ඉල්ලීම මත දාල තියෙනවා.
මේ අනුෂ පැල්පිටගේ සිද්ධියේදී ඔහුට ජනාධිපති ‍ලේකම්වරයා ලිඛිත නියෝගයක් එවා තියෙනවා. ඒ ලිඛිත නියෝගයට ඔහු අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තිබුණා. අධ්‍යක්ෂ මණ්ඩලයේ එකඟතාවය මතයි ඔහු ඒ මුදල් යවා තිබුණෙ. ඒ වගේ දේවල් ඕන තරම් අමාත්‍යාංශවල වෙනවා. මේ සිද්ධියෙ කිසිම වංචාසහගත තත්ත්වයක් මට නම් පේන්න නෑ. මේ සම්බන්ධයෙන් කරු ජයසූරිය මහතා පත් කරපු කොමිසමෙනුත් ඔහුට වරදක් කියන්නෙ නෑ. එෆ්.සී.අයි.ඩී. එකෙන් නඩුවක් පවරපු නිසා තමයි මොහු ඉවත් කරන්න සිදු වන්නේ. අභ්‍යන්තර පරීක්ෂණයක් වශයෙන් මෙය ගත්තොත් අපට කිසිම අවශ්‍යතාවක් නැහැ ඔහුගෙ වැඩ තහනම් කරන්න.

ප්‍ර: පරිපාලන නිලධාරියකු පවතින රාජ්‍ය තන්ත්‍රය සමගින් කටයුතු කළයුතුයි නේද?
පි: පැහැදිලිවම ඔව්. අපි ඉහළින් එන නියෝග ක්‍රියාත්මක කරන්න බැඳී සිටිනවා. දැන් මට ජනාධිපති ‍ලේකම්වරයා නියෝගයක් එව්වොත් මේ දේ කරන්න කියලා අනිවාර්යයෙන්ම එය නීත්‍යනුකූල පරිසරයක් යටතේ තියෙන දෙයක් නම් මම එය කළ යුතුමයි. මොකද ජනාධිපති ‍ලේකම්වරයා තමයි පරිපාලන නිලධාරීන්ගේ ප්‍රධානියා හැටියට සලකන්නේ.

ප්‍ර: අනුෂ පැල්පිට සිද්ධිය හා රණවක සිද්ධිය බලනවිට පෙනී යන කාරණයක් තමයි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීන්දු තීරණ විනිවිද භාවයකින් තොර බව. ඔබට මේ ගැන යමක් කිව හැකිද?
පි: රජය විසින් පත්කරන ලද කොමිෂන් සභාවක් විවේචනය කිරීමේ අයිතිය මට නැහැ. නමුත් මට මෙහෙම දෙයක් කියන්න පුළුවන්. ඔය සමහර ආයතන කියන්නේ මටත් එහෙම වෙන්න කියලා. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ඔබ්ලිගේටරි ඩිසිෂන් මේකිං කියලා. ඒ කියන්නේ වැඩි පිරිසක් කියනවා නම් කවුරුහරි හොරෙක් කියලා මමත් ඒක කියන්න ඕන. සමහර ආයතන තියෙනවා ඒ විදියට තීන්දු තීරණ ගන්න මටනම් කියන්න බැරි වුණාට. සමහර විනය පරීක්ෂණ කරන නිලධාරීනුත් එහෙම ඉන්නවා. අවසානයේ උසාවියේදී තමයි නිසි තීරණය ලැබෙන්නේ. නමුත් එතකම් ඒ නිලධාරියාට විශාල අසාධාරණයක් වෙනවා. ඔය හැමෝම කියන නිසා උඹත් කියපං කියන සංකල්පයේ ඉන්න මිනිහෙක් ‍නෙවෙයි මම. අනිත් මිනිස්සු කියන නිසා රාජ්‍ය පරිපාලන ‍ලේකම්වරයත් කියන්න ඕන අරූ හොරා මූ හොරා කියලා. එහෙම තීරණ ගන්න වෙලාවල් තියෙනවා. බලයට මතය තියෙන්නේ ඒ පැත්තට, හුලං හමන පැත්තට. ඇත්තටම කියනවා නම් අනුෂ පැල්පිට සිද්ධියේදී අභ්‍යන්තර පරීක්ෂණයක් කළා නම් ඔහුට විරුද්ධව චෝදනා නගන්න බෑ. මොකද හේතුව ඔහු සාමාන්‍ය නිලධාරියෙක්. අද වුණත් ජනාධිපති ‍ලේකම් නියෝගයක් දුන්නොත් අපි ක්‍රියාත්මක කරන්න ඕන. මොකද ‍ලේකම්වරුන්ගේ ප්‍රධානියා ඔහු නිසා. අනික විධායක ජනාධිපති ක්‍රමය යටතේ ජනාධිපතිවරයාට සිල් රෙදි බෙදන්න ව්‍යාපෘතියක් හදන්න බෑ කියලා කාටද කියන්න පුළුවන්. ඒවා දේශපාලන තීන්දු තීරණ. හැබැයි දේශපාලන තීන්දු තීරණ ක්‍රියාවට නගන්නේ ජනාධිපති ‍ලේකම්වරයා හරහා. ඒ වෙලාවට ජනාධිපති ‍ලේකම්වරයාට ඊට අවශ්‍ය කරන මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීමට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන්න පුළුවන්. ඇත්තටම සිල් රෙදි සිද්ධියේදී ජනාධිපති ‍ලේකම්වරයා අතින් ලියපු ‍ලේඛන පවා මං පරීක්ෂා කරලා තියෙනවා. ඒ අනුව මට පෙනිච්ච දෙයක් තමයි මේ ව්‍යාපෘතිය සකස් කරන්නේ මැතිවරණයට ගොඩක් ඉස්සෙල්ලා. මේ ව්‍යාපෘතියේ අරමුණ වෙන්නේ ළමයි සිල්ගැනීම සඳහා දිරිගැන්වීම. නමුත් මේ ව්‍යාපෘතිය කරගෙන යන්න මුදල් නෑ. අන්න ඒ අඩුව පුරවා ගන්න තමයි ජනාධිපතිවරයා යටතේ තිබුණු විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් මේ මුදල ලබාගන්නේ. ඒකෙ පැහැදිලිව කියනවා තාවකාලිකව මේ මුදල දෙන්න කියලා. ඊට පස්සේ ගණකාධිකාරීවරයාට ඔහු ලියපු ලිපියක තියෙනවා අසවල් ගිණුමෙන් මිලියන 200ක් අරගෙන මිලියන 600 ගත් ගිණුමට දාන්න කියලා. ඒකෙන් පැහැදිලි වෙනවා මේ මුදල ගත්තේ තාවකාලිකව පසුව පියවන්න කියලා. කොහොම වුණත් රනුග්ගේ පරීක්ෂණය පාදක කරගෙන අපි අභ්‍යන්තර පරීක්ෂණයක් කළා නම් අභ්‍යන්තර පරීක්ෂණයේදී ඔහුට විරුද්ධව නගන්න කිසිම චෝදනාවක් නැති බව පැහැදිලියි.
ප්‍ර: වැඩකරන නිලධාරීන් යම් යම් හේතු පෙන්වමින් මේ ආකාරයට මර්දනය කරනකොට රාජ්‍ය සේවය තුළ සිටින අනිකුත් නිලධාරීන් වගකීමෙන් තමන්ගේ රාජකාරි ඉටුකිරීමේදී යම් බියක් දක්වන්න පුළුවන්. එය රාජ්‍ය පරිපාලනයට බලවත් හානියක්.

පි: එහෙම සමාජ මතයක් තියෙනවා. නමුත් මේ කතාව ඇතුළේ නොකියවෙන ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒ ඔස්සේ තමයි ජන මතය ගොඩනැගෙන්න ඕන.

1977ට පෙර තිබුණු තත්ත්වය තමයි ඡන්දය ඉල්ලද්දී කොට්ඨාසය තුළ පමණයි දේශපාලනඥයා ජනප්‍රිය විය යුත්තේ. ඔහු එහි ජනප්‍රිය වෙන්න නොයෙකුත් දේවල් කළා. නමුත් මේ තත්ත්වය 1977න් පස්සේ අලුත් මැතිවරණ ක්‍රමයත් සමග වෙනස් වුණා. මෙහි පරිධිය වැඩිවීම තුළ බෙදීම ඒ කියන්නේ විවිධ දේවල් මනාපය ලබාගැනීම අරමුණු කරගෙන ඡන්දදායකයන්ට දීමේ ක්‍රමය පුළුල් වුණා. දැන් බලන්න දේශපාලනය තුළ මේ දීමේ සංකල්පය හැදෙන හැටි. හාල් බෙදිල්ල, ජන සවිය, ජන සවිය කියන්නේ බෙදිල්ලක් තමයි. දැන් බලන්න මිනිහෙක් නිවාස ණයක් ගත්තාම ඒකට ගෙවන්න ඕන ඒ මනුස්සයා නමුත් චෙක්පත ලබාදෙන්නේ දේශපාලනඥයා. එතනින් මතුවෙන්නෙත් දීමේ සංස්කෘතිය. ඊට පස්සේ සමෘද්ධිය ආවා. සමෘද්ධියෙන් කරන්නෙත් බෙදීම. ඊට පස්සේ පාසල් ළමුන්ට ඇඳුම් බෙදීම, ‍පොත් බෙදීම, සිමෙන්ති බෙදීම, නිවාස ණය බෙදීම, ඔය වගේ බෙදීමේ සංස්කෘතියක් වර්ධනය වුණා. ඕකේ ඇතුළෙම තමයි තියෙන්නේ දින‍පොත් බෙදීම, ලිත් බෙදීම, දැන් ඔය දින‍පොත් බෙදීමේ චෝදනාවකුත් තියෙනවානේ. දැන් ඒවා කවුද බෙදන්නේ දේශපාලනඥයා. මේක දේශපාලනය එක්ක බැඳුන සංවර්ධන සංස්කෘතියක්. මේක රටට ඵලදායි ද නැද්ද කියලා මේ රටේ කිසිම බුද්ධිමතෙක් මේ යහපාලනය ගැන කතා කරන කිසිම කෙනෙක් තර්ක කරලා නෑ. මේ බෙදිල්ලෙන් වෙන්නේ රජයේ මුදල් දේශපාලනඥයන්ගේ නාමයෙන් බෙදීම. දැන් බලන්න පාරක් හැදුවම කී දෙනෙක්ගේ ෆොටෝ ගහනවද? එතන තියෙන්නේ මහජන මුදල්නේ. මොකටද ෆොටෝ ගහන්නේ. අන්න මේ බෙදීමේ සංස්කෘතිය ඵලදායිද නැද්ද කියන එක තමයි සාකච්ඡාවට බඳුන් වෙන්න ඕන.

මම මේවා හොඳට අධ්‍යයනය කරලා තියෙන්නේ. දැන් අපේ රටේ ‍පොත් බෙදනවා. හැබැයි එංගලන්තයේ ‍පොත් බෙදන්නේ නෑ. හැබැයි එංගලන්තෙ ළමයට ඕනතරම් කියවන්න පංතියේ ‍පොත් තියෙනවා. අපේ මේ බෙදීමේ සංස්කෘතිය තුළ තමයි දුප්පතුන් තවදුරටත් දුප්පතුන් බවට පත්කරලා තියෙන්නේ. අධ්‍යාපනික වශයෙන් ගත්තොත් විචරශීලී නොවන උපාධිධාරී පරපුරක් ගොඩනැගිලා තියෙන්නේ අන්න ඒ සීමාකිරීම් තුළ.

අද බෙදන්නේ නැත්තේ කවුද කියන්න. ඔය චෝදනාවට ලක්වෙලා ඉන්න රණවක ගැහුවා ලිත්. මගේ ළඟ තියෙනවා ඊට ඉස්සෙල්ලා ඉඳලා මේ හැමෝම ගහපු ලිත්. මේ අපේ ඇමැතිතුමත් ලිත් ගැහුවා. ලිත් ගහලා මොනරාගල දිස්ත්‍රික්කෙට බෙදුවා. එතකොට ලිත් බෙදීම, දින‍පොත් බෙදීම, ‍පොකට් කැලැන්ඩර් බෙදීම වගේ ‍පොඩි දේවල් ඇරුනම මහ ඒවා සමෘද්ධි බෙදීම, ජනසවිය බෙදීම, චෙක්පත් බෙදීම, සිමෙන්ති බෙදීම, මේ මොනවද මේ හැම දෙයක් තුළම සැඟවෙලා තියෙන්නේ ඡන්ද මනාප. ගංවතුර ආධාරෙටත් සීල් එක ගහලා මන්ත්‍රී බෙදුවනේ. මේවායේ තියෙන්නේ මහජන මුදල්. මගේ අදහස නම් මේ නිලධාරීන් දෙන්න තුන්දෙනෙක්ගේ වැඩ තහනම් කරනවා ‍නෙවෙයි මේ නිලධාරී සංහතියෙම වැඩ තහනම් කරන්න ඕන. ඇත්තටම මගෙත් වැඩ තහනම් කරන්න ඕන. මොකද මමත් බෙදුවා. ඡන්ද කා‍ලේ බෙදපු එක් බෙදිල්ලක් තමයි විශ්‍රාමිකයන්ගේ වැටුප. ඡන්ද කාලෙදි තමයි ඒක බෙදුවේ. ඊට පස්සේ නිලධාරීන්ගේ පඩි වැඩි කළා. රුපියල් 15000/-ක්. ඒකත් බෙදිල්ලක් තමයි. ඡන්ද කා‍ලේ හැමෝම උනන්දු වුණා ඕක කරන්න. ඇත්තටම ඕවා විග්‍රහ කළොත් මේ කිසිම දෙයක් ඵලදායි නෑ. අනික් පැත්තෙන් මේ දේවල් බෙදන්න යොදා ගත්තේ කවුද? රාජ්‍ය නිලධාරීන්. සමහර රාජ්‍ය නිලධාරීන් ඉන්නවා වැඩ බැරි වුණත් කමක් නෑ ඇමැතිවරයාගේ ස‍පෝට් එක අරගෙන තමන්ගේ තනතුර රැකගන්න. මේක එකකට එකක් සම්බන්ධ ක්‍රියාවලියක්. මම පෞද්ගලිකව ඇමැතිවරුන්ට අනන්ත අප්‍රමාණව කියලා තියෙනවා ඔය සමහර බෙදිලි කිසිම ඵලදායිතාවයක් නෑ කියලා.
මම පෙන්වා දීපු දෙයක් තමයි දීම වෙනුවට ගන්න එන සංස්කෘතියක් හැදිය යුතුයි කියන එක. බෙදීමේ සංස්කෘතියක් ‍නෙවෙයි අපි ඇති කළ යුත්තේ, ගැනීමේ සංස්කෘතියක්. දැන් පිටරටවල දුප්පතුන් ඉන්නවා. මොකක්ද ඒ අයට දෙන පණිවිඩේ. දුප්පත් නම් ගිහිල්ලා තර්ක කරලා ණය දෙන තැනින් ණය ගන්න. අපි මේ හදපු දීමේ සංස්කෘතිය තුළ මහජන මුදල් කාබාසිනියා කරන සංවර්ධන සංස්කෘතියක් තමයි තියෙන්නේ. ඒ තුළ හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ බෙදන්න. මේක ඇතුළේ තියෙන්නේ එකම කතාවයි. මේ කතාවේ නිලධාරියෙක් දෙන්නෙක් වැඩ තහනමකට ලක්කරලා යහපාලනය ගොඩනගන්න පුළුවන් කියලා කවුරුහරි බූරුවෙක් තර්ක කරනවා නම් ඒක තමයි මිනිහට වැරදිච්ච තැන. මේ රටේ සියලුම නිලධාරීන්ගේ වැඩ තහනම් කරන්න ඕන. සමහරු කියනවා මං දූෂිතයෝ රකිනවා කියලා. මං දූෂිතයෝ රකින්නේ නෑ. මම කියන්නේ මේ ක්‍රමය වැරදියි කියලා.

දැන් පහුගිය දවස්වල සෑම ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයකම ගිහිං බඩු ගොඩගැහුවා. දැන් මේවා බෙදුවේ කවුද? නිලධාරීන්. කවුද ඇට, පැළ බෙදුවේ, කවුද සමෘද්ධිය බෙදුවේ. කවුද පාසල් ළමුන්ට නිල ඇඳුම් බෙදුවේ කවුද? ‍පොත් බෙදුවේ කවුද? චෙක්පත බෙදුවේ. මේ ඔක්කොම බෙදන්නේ ඇමැතිවරුනේ. බෙදන්න උදව් කළේ කවුද? රාජ්‍ය නිලධාරීන්. ඒ නිසා මම කියන්නේ මෙන්න මේ බෙදීම සංවර්ධන උපාය මාර්ගයයි වෙනස් කරන්න ඕන.

ප්‍ර: මොකක්ද හරි ක්‍රමවේදය හැටියට ඔබ දකින්නේ? 
පි: හරි ක්‍රමවේදය තමයි ගැනීමේ ක්‍රමවේදය. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ ඩිමාන්ඩ් කියලා. මං බටහිර රටවල්වල ජීවත්වෙලා තියෙනවා. ඒවායේ දුප්පත් අය ඉන්නවා. ඔවුන් ‍පොලඹවා තියෙන්නේ අවශ්‍යතාවය අනුව තර්ක කරලා සොයා යන්න. එතකොට වියදම් කරන මුද‍ලේ ඵලදායිතාවක් තියෙනවා. අපේ රටේ ඵලදායිතාවක් නෑ. ඒක තමයි මේ ණය ගොඩ. ඒක තමයි මේ අර්බුදය. ඒක තමයි රාජ්‍ය සේවය ඇතුළේ තියෙන අර්බුදය. ඒක තමයි දේශපාලනය ඇතුළේ තියෙන අර්බුදය. ඒකතමයි නූගත්කම. පසුගාමී බව, ඒකතමයි රටේ දුප්පත්කම. මොකද ලංකාවේ විවේචනාත්මක චින්තනයක් නෑ. විද්‍යාත්මක චින්තනයක් නෑ මේ සංවර්ධන උපායමාර්ග සඳහා.

අපි සමාජය ඇතුළේ ඉල්ලුමක් ඇති කරන්න ඕන. අන්න ඒ ඉල්ලුමට තමයි සැපයුම දෙන්න ඕන. එතකොටයි වියදමේ ඵලදායිතාවක් ඇතිවෙන්නේ. දැන් අපේ ණයවලින් 80ක් ම තියෙන්නේ බෙදන්න ගනිපුවා. සෑම රජයක්ම ඒකෙන් මිදිලා නෑ. ඒනිසා මට කියන්න තියෙන්නේ මේ යහපාලනය ගොඩනගන්න ආපු දූෂණ විරෝධී පෙරමුණුවල්වලට මෙන්න මේ දේ විග්‍රහ කරගන්න කියලා. මෙන්න මේ ට්‍රැක් එක ච්ෙන්ජ් කරන්න තමයි ජනතාව දැනුවත් කරන්න ඕන. මේ ට්‍රැක් එක මාරු කරන්න කිසිම ආණ්ඩුවක් උත්සාහ කරන්නේ නෑ.

ප්‍ර: මේ රටේ මිනිස්සු යහපාලනය ගොඩනැගුවේ ප්‍රතිපත්තිමය වශයෙන් රට දියුණු තැනකට ගෙනියන්න. මේ යහපාලන ආණ්ඩුව යටතේත් එවැනි තත්ත්වයක් ඇතිවෙන්නේ නෑ කියලාද ඔබ කියන්නේ?
පි: නෑ මට එහෙම පේන්නේ නෑ. වඩා හොඳ ක්‍රමවේදය මොකක්ද කියලා බුද්ධිමය සංවාදයක් ගොඩනැගෙන්න ඕන. යහපාලනය ගොඩනැගෙන්නේ යහපාලනය ඇතිවන ක්‍රමවේද ඇති කළොත් විතරයි. නමුත් අද ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ ජනප්‍රිය ක්‍රමය. මොකක්ද ජනප්‍රිය ක්‍රමය මන්ත්‍රීවරයාගේ ලැයිස්තුවට සැලසුම් හැදීම. අපි බලය විමධ්‍යගත කරන්න ප්‍රාදේශීය සභා, පළාත් සභා ඇති කළා. නමුත් වෙනසක් ඇතිවුණාද නෑ. සැබෑ දේ ඇතිවෙන්න නම් මොඩ්ල් එක වෙනස් කරන්න ඕන. නිදහසෙන් පස්සේ අපේ රටේ ක්‍රියාත්මක වන හුඟක් මොඩ්ල් ඇත්තටම අවුට්ඩේටඩ් මොඩ්ල්. මේ ආණ්ඩුව ගෙනියන්නෙත් ඒවම නම් ඒ තුළයහපාලනය ඇති කරන්න බෑ. යහපාලනය කියන්නේ මොකක්ද? යහපාලනය කියන්නේ ඇත්තටම ප්‍රමුඛතා හඳුනාගැනීම. ඒක මේ මාධ්‍ය සංදර්ශනවලින් කරන්න පුළුවන් දෙයක් ‍නෙවෙයි. අරූ හොරා මූ හොරා කියලා ඉන්ටර්ඩික් කළ හැටියේ යහපාලනය ගොඩනැගෙන්නේ නෑ.

ප්‍ර: වෘත්තීය පුහුණුවක් සහිත නිලධාරී පන්තිය යට ගිහින් දේශපාලනඥයා ඉස්මතුවීම නිසා නේද මේ තත්ත්වය වර්ධනය වෙලා තියෙන්නේ?
පි: දේශපාලනඥයා හා නිලධාරියා එකට වැඩකිරීම අවශ්‍යයි. නයි මුගටි වගේ හැසිරෙන්න බෑ. ඒකට වෘත්තීය භාවයක් තියෙන්න ඕන. මම ලංකාවේ දේශපාලනඥයන් සෑහෙන පිරිසක් සමග කටයුතු කරලා තියෙනවා. ඔවුන් අනවශ්‍ය ලෙස හැසිරෙන වෙලාවල්වලදී මම එහි ආදීනව ඔවුන්ට පෙන්වා දී තියෙනවා. ඇමැතිවරයකුට යමක් පෙන්වා දීමේ වෘත්තීය භාවයක් රාජ්‍ය නිලධාරියාට තියෙන්න ඕන. ඒවගේම වෘත්තීය භාවයක් තියෙන නිලධාරීන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් තියෙන්න ඕන. අන්න එකත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වගකීම. මම ඒ සඳහා ක්‍රමවේදයක් ඉදිරිපත්කරලා තියෙන්නේ. මම ඉදිරිපත් කළේ සෑම තනතුරක් සඳහාම සුදුස්සන් තෝරා ගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍යයි මිනිස්සු දේශපාලනික වශයෙන් හඳුනාගැනීමකට වඩා. වර්තමාන රජය එවැනි ක්‍රමයක් අනුමත කළොත් අපි පිළිගන්නවා ඔන්න යහපාලන මූලධර්මය ස්ථාපිත වීමක් හැටියට. එහෙම ගන්න නිලධාරීන් දක්ෂ වෘත්තීමය නිලධාරීන් වේවි.

හැබැයි මෙහෙම ප්‍රශ්නයකුත් තියෙනවා. දේශපාලනඥයා උත්සාහ කරන්නේ ‘මයිමෑන්’ කියන කණ්ඩායමක් ගොඩනගා ගන්න. කියන දේ කරන සංස්කෘතියක් ගොඩනගා ගැනීමට තමයි දේශපාලනඥයා කැමති. මොකද දේශපාලනඥයාගේ පැවැත්ම රැඳී තියෙන්නේ බෙදීමේ සංස්කෘතිය උඩ. මේ සියල්ල සංවිධානය කරලා දෙන්නේ රාජ්‍ය නිලධාරියා. එවැනි ක්‍රමයක් යටතේ වෘත්තීමය භාවයක් ගොඩනැගෙන්නේ නෑ. අපි ඉදිරියේදී සුදුසුකමට ඉඩ දෙන වෘත්තීමය භාවයට තැන දෙන රාජ්‍ය තන්ත්‍රය බිහිකළ යුතුයි. එතකොට තමයි ඔවුන් ඕනෑම ප්‍රශ්නයක් දිහා වෘත්තීමය ඇහැකින් බලන්න පුරුදු වෙන්නේ. බහුවිධ භාවයකින් කටයුතු කරන්න පෙලඹෙන්නේ.

එවැනි තත්ත්වයක් තුළ රටක් දියුණු වෙනවා. විචාරශීලීව මොකක්ද ඇතිකළ යුත්තේ කියන දේ ගැන බුද්ධිමය සංවාදයක් ගොඩනැගෙන්න ඕන. ඒක තමයි මං හිතන්නේ ඔය දූෂණ විරෝධී යහ පාලනය සඳහා කැපවූ සියලු දෙනාගේම වගකීම. එහෙම නැතුව මතුපිටින් බලලා මේක වෙනස් කරන්න බෑ කියන එකයි මටනම් කියන්න තියෙන්නේ.

ප්‍ර: ඔබතුමා කෙළින් වැඩකිරීම නිසා එක්තරා අවස්ථාවක පරුෂ වචනයෙන් පවා බැණුම් ඇසූ බව දැනගන්නට ලැබුණා. 
පි: ඒ අය මතුපිටින් බලලා තමයි එහෙම තත්ත්වයකට එන්න ඇත්තේ. කිසි කෙනෙකුට මේ ක්‍රමය තුළ තියෙන දූෂණයට බරවූ ක්‍රමවේදය පිළිබඳ අවබෝධයක් නෑ. පිටින් පේන දේ පෙන්නලා මේක තුළ මේ වෙනස ඇති කරන්න පුළුවන් කියලා ඔවුන් හිතනවා. නිලධාරීන් කිහිපදෙනෙකුට පමණක් චෝදනා එල්ල කරලා මේ යහපාලනය ගොඩනගන්න පුළුවන් කියලා මම නම් පිළිගන්නේ නෑ. ඒක වෛරය පිරිමැහීමක්. මේ හැම තැනකම තියෙන්නේ වාසිය සහ බිස්නස්. ඒ අයගෙත් තියෙන්නේ යහපාලන බිස්නස් එකක් වෙන්න පුළුවන්.

ප්‍ර: කෙළින් කතා කිරීම ශරීර සෞඛ්‍යයට සමහරවිට අහිතකර වෙන්නත් පුළුවන් නේද?
පි: නෑ ඒක ප්‍රශ්නයක් නෑ. කවුරුහරි මේ ඇත්ත කතා කරන්න ඕන.
සාකච්ඡා කළේ – චන්දන කාරියවසම්

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12348349
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12371456
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9851234
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9756131
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9577786
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'