Logo
2019 ඔක්තෝම්බර් මස 18 වැනි සිකුරාදා

අමිත් මුනීන්ද්‍රදාස, මොසාඩ් සහ ගෝඨාභය රාජපක්ෂ -- සත්‍ය කතාව

කර්නල් සුදේව රණසිංහ


ලංකාවෙන් බිහිවුණ සහ ලංකාව හැරදා නොගිය කීර්තිමත් බුද්ධිමතෙකු ලෙස විශේසඥ ඉංජිනේරු ආචාර්‍ය අමිත් මුනීන්ද්‍රදාසයන් අපට හඳුනාගන්නට හැකිය. ඉලෙක්ට්‍රොනික තාක්ෂණ අංශයෙන් සුවිශේෂී මෙහෙයක් ලක්මෑණියන්ට ඉටු කළ මේ උදාර ලංකා පුත්‍රයා මොරටුව සරසවියේ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අංශයේ ප්‍රධානියා ලෙසද සේවය කලේය.

යාපනය අර්ධද්වීපය අල්ලාගන්නට LTTEයෙන් නොනවතින රැල්ල 3 ක්‍රියාන්විතය ක්‍රියාත්මක කරද්දී එය නවතා ගැනීමේ අටියෙන් චෙක් සමූහාණ්ඩුවෙන් ලංකාවට ගෙන්වන ලද මල්ටි බැරල් රොකට් ලෝන්චර් නම් බර අවිය බාධක රැසක් මැදින් ලංකාවට එන විටත් එහි වයර් කපාදමා මුළුමනින්ම අකර්මන්‍ය කරතිබුණ කතාවත්, ආචාර්‍ය මුනීන්ද්‍රදාස ඇතුළු යුද්ධ හමුදාවේ ඉංජිනේරු පිරිසක් එක්ව දින දෙකක් ඇතුළත් එම රොකට් ලෝන්චර් යථා තත්වයට පත්කොට යුධ බිමට යවා ඒවායින් පහර දී ත්‍රස්තයින්ගේ උත්සාහය ව්‍යර්ථ කළ කතාවත් ඔබ දන්නවා ඇතැයි සිතමි.

ඔහු විසින් මූලිකත්වය ගෙන නිපදවන ලද නිර්මාණ බොහෝ වෙයි.

නමුත් ඉතා අවාසනාවන්ත ලෙස මෙම කීර්තිමත් ලංකා පුත්‍රයා වයස අවුරුදු 47ක් වැනි අඩු වයසකින් මියැදුණේ නිව්මෝනියා රෝගයට ගොදුරු වීමෙනි. ඒ ඔහුගේ අවසන් ඊශ්‍රායල සංචාරයෙන් පසුවය.

ඕනෑම මිනියකින් වාසි ගන්නට කැසකවනා කාලකණ්නින් විසින් මෑතක පටන් ඔහුගේ අකල් මරණයෙන්ද දේශපාලන වාසි ගැනීමේ අටියෙන් එම මරණයද ගෝඨාභය රාජපක්ෂගේ උවමනාව මත සිද්දවූවක් යන්න සමාජගත කරමින් සිටින බව දුටිමු. එබැවින් මා ආචාර්‍ය මුනීන්ද්‍රදාසයන්, ගෝඨාභය රාජපක්ෂ සහ ඔවුන් දෙදෙනා අතර වූ සම්බන්ධය ගැන දන්නා මේ කාරණා කිහිපය මෙලෙස ලියා තබමි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ලංකාවේදීම නියමුවන් රහිත ගුවන් යානයක් (UAV) නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළේ 2006දී පමණය. එයට සමගාමීව මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨය විසින්ද එවැනිම UAV යානයක් නිෂ්පාදනය කිරීමේ කටයුත්තට අතගසා තිබිණි. ගුවන් හමුදාව ගුවන් යානා තාක්ෂණය අතින් ඉහළින් සිටි අතර ඉලෙක්ට්‍රොනික දැණුම අතින් එතරම් සවිසම්පන්නව සිටියේ නැත. ඉලෙක්ට්‍රොනික දැණුම අතින් ඉතා ඉහළින් සිටි මොරටුව සරසවියට ගුවන් යානා තාක්ෂණය ගැන දැනුම අල්ප විය. නියමුවන් රහිත ගුවන් යානයක් නිෂ්පාදනය කිරීමේ සාර්ථකත්වයට ගුවන් යානා තාක්ෂණය මෙන්ම ඉලෙක්ට්‍රොනික තාක්ෂණයද එක හා සමානව අත්‍යවශ්‍යය.

මෙම හිඩැස මනාව වටහාගත් එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිදුකළේ මොරටුව සරසවිය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර එකඟතාවයක් ඇතිකොට මෙය එක් ව්‍යාපෘතියක් බවට පත්කිරීමයි. ඒ ගැන ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ මොරටුව සරසවිය අතර අත්සන් කෙරුණ අවබෝධතා ගිවිසුමක්ද (MOU) ඇත. පසු කලෙක මේ සම්බන්ධ විශේෂඥයින් කිහිපදෙනෙකු ගෞරවාන්විත සේවා (honorary service) පදනම මත ගුවන් හමුදාවට බඳවාගැනීමද සිදුවිය.

ආරක්ෂක ලේකම්ගේ පූර්ණ සහයෝගය සහිතව මෙම ව්‍යාපෘතිය එක්ව ගමනක් යන්නට යෙදුණ අතර ආචාර්‍ය මුනීන්ද්‍රදාසයන් අවාසනාවන්ත ලෙස මියැදුණේද ඒ අතරමය.

ලෝකයේ විශිෂ්ඨතම UAV නිෂ්පාදනය කරන්නේ ඊශ්‍රායලය වන අතර ආචාර්‍ය මුනීන්ද්‍රදාසයන්ද මින්පෙර ඊශ්‍රායලයේ එවන් ව්‍යාපෘතීන්හි වැඩකර පළපුරුද්ද ඇති අයෙක් විය. මුනීද්‍රදාසයන්ගේ හැකියාවන් ගැන ඔවුන් දැනසිටියා මෙන්ම ඔහුද හවුල් වන මෙම ලංකාවේ නව ව්‍යාපෘතිය ගැන පැහැදීමක් ඊශ්‍රායලයට නොවීය. කෙසේ වුවත් ආචාර්‍ය මුනීන්ද්‍රදාසයන් හට අත්වූයේ ඉතාමත් ස්වභාවික මරණයෙකි. ඒ නියුමෝනියාව වැළඳීමෙනි. ඔහුද කිසිම ලෙඩකට පැනඩෝල් පෙත්තක්වත් බොන්නේ නැති ජාතියේ මිනිසෙකි. එහි ඇති එකම කුකුස දනවන කාරණාව නම් ඔහුගේ මරණය ඊශ්‍රායෙල සංචාරයෙන් පසුව සිදුවීමයි. මන්ද යත්, තමනට නුරුස්නා හෝ තමනට පාලනය කළ නොහැකි පුද්ගලයින් හට මෙවන් ස්වභාවික මරණ අත්කර දීම ඊශ්‍රායෙල ජාතික ඔත්තු සේවය වන මොසාඩ් ආයතනයට ඉතා හුරුපුරුදු උපක්‍රමයකි. කලක් ඔවුන්ගේ ප්‍රමුඛතම එදිරිවාදියා වූ පලස්තීන නායක යසර් අරපත්ගේ විශ්වාසවන්තම රියැදුරා වූයේද මොසාඩ් ඒජන්තයෙකි. එවන් හැකියාවක් ඇති බුද්ධි සේවාවකට ආචාර්‍ය මුනීන්ද්‍රදාස යනු මහ ලොකු ඉලක්කයක් නොවේ.

ගෝඨාභයගෙ ඍජු සහයෝගය මත ආරම්භ වූ ගුවන් හමුදා - මොරටු සරසවි ව්‍යාපෘතිය එක්ව ඉදිරියට යාම නැවතුණේ මුනීන්ද්‍රදාසයන්ගේ මරණය මෙන්ම දෙපාර්ශවයේම වූ ලකුණු තරඟය නිසාය. ගුවන් හමුදාව විසින් මේ වන විට නියමුවන් රහිතා යානා (UAV Models) කිහිපයක්ම නිෂ්පාදනය කර ඇති නමුත් ඉලෙක්ට්‍රොනික පද්ධතීන්හි විශාල දුර්වලතා ඇත. මොරටුව සරසවියෙන්ද වෙනම යානයක් ගුවන්ගත කර සාර්ථකව සජීවී රූපරාමු ලබාගත්තද වැඩි බරක් (payload) ගෙනයා හැකි යානාවක් තනාගැනීමට ඔවුන්ට නොහැකි වී ඇත.

මේ ගැටළුව සමථයකට පත්කොට රටට ඵලදායී ව්‍යාපෘතියක් කරවන්නට තරම් දැක්මක් ඇත්තෙකු ආරක්ෂක ලේකම් හෝ වෙනත් පුටුවකද නැත. එබැවින් අප රටක් ලෙස එක තැන පල් වෙමින් ඉන්නා අතරම ආචාර්‍ය මුනීන්ද්‍රදාසයන්ගේ මරණයද රටට වැඩක් කළ මිනිසුන්ගේ ප්‍රතිරූපය විනාශ කිරීමට ගන්නා තරම් පහත් තත්වයකට වැටී ඇත.

ආචාර්‍ය අමිත් මුනීන්ද්‍රදාසයන්ව මොසාඩ් ආයතනයේ ගොදුරක් වුණා යැයි මා ඉඳුරාම කියන්නේ නැත. එය සැබවින්ම ස්වභාවික මරණයක් විය හැක. නමුත් කිසිවිටෙකත් ගෝඨාභය රාජපක්ෂ නම් එයට සම්බන්ධ නැත; එය මට ප්‍රත්‍යක්ෂවම ප්‍රකාශ කළ හැකිය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'