Logo
2019 ඔක්තෝම්බර් මස 16 වැනි බදාදා

නව හමුදාපති හා ඇමරිකාවේ කම්පාව

චතුර පමුණුව


2001 සැප්තැම්බර් 11 ප‍්‍රහාරයෙන් පසුව ඔසාමා බින් ලාඩන් හා ඔහුගේ සගයින් සොයා කරන හමුදා මෙහෙයුම් සඳහා ඇමෙරිකානු කොන්ග‍්‍රසයේ අනුමැතිය දින තුනක් ඉක්ම යද්දීම ලැබී තිබිණි. එනම් සැප්තැම්බර් 14 වැනිදා මේ අනුමැතිය ලැබිණි. ජනපති ජෝර්ජ් බුෂ් ජාතිය අමතමින් ඇමෙරිකාව ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය ආරම්භ කර ඇති බව ප‍්‍රකාශ කළේ සැප්තැම්බර් 20 වැනිදාය. ඔක්තෝම්බර් 07 වැනිදා ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ ත‍්‍රස්තයින් විනාශ කිරීමේ මෙහෙයුම් ආරම්භ කරනු ලැබීය. ඔසාමා බින් ලාඩන් ටෝරා බෝරා කඳුයායේ ගුහාවක සැඟවී ඇතැයි සැක කරමින් මේ ත‍්‍රස්තයා විනාශ කිරීමේ මෙහෙයුම් සිදු කෙරුණේ දෙසැම්බර් මාසයේදීය. නමුත් ඇත්තටම බින් ලාඩන් මරා දැමීමට හැකි වූයේ 2011 මැයි 02 වැනිදා පකිස්ථානයේ අබෝටාබාද්හිදීය. ත‍්‍රස්තවාදයට එරෙහි යැයි කියමින් ඇමෙරිකාව පුරා වසර දහයක් තිස්සේ සිදු කළ මෙහෙයුම්වලින් ලොව පුරා දස ලක්ෂයක් ඝාතනය විය. 2003 ජන ඝාතක අවි ඉරාකය විසින් නිපදවා ඇතැයි කියමින් එරට ආක‍්‍රමණය කරන ලදී. එම ආක‍්‍රමණයෙන් ඉරාක වැසියන් හය ලක්ෂයකට වඩා මරණයට පත්විය. එදා ස්ථාවරව තිබූ ඉරාකය අදත් එකම එකම ගිනි ගොඩකි. අබු බකර් බැග්ඩෑඩිගේ අයිසිස් යක්ෂ සේනාව බිහි වුණේ ද මේ ආක‍්‍රමණයේම අතුරුඵලයක් ලෙසය. 2006 සැප්තැම්බර් 30 වැනිදා සදාම් හුසේන් එල්ලා මැරුවද එයින් ඉරාකයට සාමය උදා වූවේද? 2001 සිට මේ දක්වා ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයට මුවා වී ඇමෙරිකාව කළ යුද අපරාධ ප‍්‍රමාණය ගණන් කළ නොහැකිය. ලියා අවසන් කිරීම ද අපහසුය. එහෙත් මේ ඇමෙරිකාව ලංකාවේ 23 වැනි හමුදාපති පත් කළ පසු කලබලයට පත්වන්නේ කවර හේතුව නිසාද? සාංකාවටද? නැත්නම් කම්පාවද?

නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අගෝස්තු 19 වැනිදා පෙරවරුවේ එම තනතුරට පත් කෙරුණේ මෙතෙක් එහි කටයුතු කළ ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක විශ‍්‍රාම යෑම හේතුවෙනි. මේ පත් කිරීම සිදුකර පැය 02ක් ගතවන්නටත් ප‍්‍රථම මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ කුමක්ද? මේ නිවේදනය පෙරවරු 11.41 ට නිකුත්ව තිබිණි. ”ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම තනතුරට පත් කිරීම ගැන එක්සත් ජනපදය දැඩි සැලකිල්ලෙන් පසුවේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් සංවිධාන විසින් ලේඛනගත කර ඇති ඔහුට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා බරපතල සහ විශ්වසනීය වේ. විශේෂයෙන් සංහිඳියාව හා සමාජ සමගිය සඳහා වන අවශ්‍යතාව අතිශය වැදගත් වන අවස්ථාවක, අදාළ පත්වීම ශ‍්‍රී ලංකාවේ කීර්තිනාමය, යුක්තිය සහ වගවීම ප‍්‍රවර්ධනය කිරීම සඳහා වූ කැපවීම් හෑල්ලූවට ලක් කරයි.”

මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ශවේන්ද්‍ර සිල්වා 1984 වසරේ මාර්තු පස්වැනිදා කැඩෙට් නිලධාරියකු ලෙස යුද හමුදා ඇකඩමියට එක්විය. ඔහු සිය 34 වසරක වෘත්තීය ජීවිතය තුළ දෙවන ලූතිතන්වරයකුගේ සිට මේජර් ජෙනරල්වරයකු දක්වා සියලූ තනතුරු හොබවා තිබේ. එක්සත් ජනපදයේ හාවඞ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන නව හමුදාපතිවරයා ඉන්දියාවේ දී දර්ශනවාදය, ආරක්ෂක හා උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ උපාධිධරයෙකි. ඇමරිකා එක්සත් ජනපදය, ඊශ‍්‍රායලය, ග‍්‍රීසිය, ඉතාලිය, ප‍්‍රංශය, පකිස්ථානය මෙන්ම ඉන්දියාව තුළ හමුදා පුහුණු පාඨමාලා සම්පූර්ණ කළ නිලධාරියෙක් වූ ඔහු පසුව ශ‍්‍රී ලංකා යුද හමුදා ඇකඩමියේ අණදෙන නිලධාරියා බවට ද පත්විය. 2009 වසරේ එල්ටීටීඊ සාමාජිකයින්ට එරෙහිව පැවති අවසන් සටනේ ඉදිරි පෙළ හමුදා බල ඇණි මෙහෙයවූ නිලධාරින් කිහිපදෙනාගෙන් අයෙකු වන ශවේන්ද්‍ර සිල්වා එහිදී 58 වැනි සේනාංකයට නායකත්වය දුණි. පසුව තානාපති සේවයට ද යෙදවුණු ඔහු 2010 - 2015 කාලය තුළ එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකාව පිළිබඳ නිත්‍ය නියෝජ්‍ය තානාපති ධුරය හෙබවීය. අනතුරුව දිවයිනට පැමිණි මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නව හමුදාපති ධුරයට පත්වීමට පෙර යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ධුරය හෙබවීය.

සිවු වැනි ඊළාම් යුද්ධයේදී රටේම චිරප‍්‍රසිද්ධියට පත් ශවේන්ද්‍ර සිල්වා ගුවන් සංග‍්‍රාමික බළසේනාධිපති හා කොමාන්ඩෝ බළසේනාධිපති ධුර ද හොබවා ඇත. පළමු වන කාර්ය සාධක බළකායේ (පසුව 58 වැනි සේනාංකය) අණදෙන්නා වූ ඔහු සිය ගමන ඇරඹුවේ වයඹ වෙරළේ වූ මන්නාරමෙනි. වන්නියේ සහල් බඳුන ලෙස ප‍්‍රකටව අති දුෂ්කර විවෘත භූමිය ජය ගැනීම ඔහුගේ මුල් ජයග‍්‍රහණය වූවේය. අනතුරුව වයඹ වෙරළේ මුහුදු කොටි කඳවුරු පිහිටි විඩත්තල්තිව්, වෙල්ලන්කුලම්, නච්චිකුඩා යන ප‍්‍රදේශ මුදාගැනීමට 58 වැනි සේනාංකය සමත් වූවේය. යාපනයට කාලතුවක්කු ප‍්‍රහාර එල්ල කිරීමට කොටි ත‍්‍රස්තයින් යොදා ගත් බිම වූ පුනරින් ද ජයගත් ඔහු පරන්තන් හන්දිය ද අල්ලා ගත්තේය. ඒ අවස්ථාවේදී ඔහුගේ සේනාංකය කොටස් දෙකකට බෙදී අලිමංකඩ හා කිලිනොච්චිය දෙසට ගමන් කර එම නගර අල්ලා ගැනීමට දායකත්වය සැපයීය. අනතුරුව පරන්තන් - මුලතිව් (ඒ -35) පාර දිගේ ගමන් කළ 58 වැනි සේනාංකය විශ්වමඩු හා පුතුක්කුඩිඉරිප්පු නගර අල්ලා ගත්තේය. ලොව විශාලතම ප‍්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමට භූමියේ සිට භට පිරිස් මෙහෙය වූයේ ද වත්මන් යුද හමුදාපතිවරයාය. ප‍්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමෙන් ඉක්බිතිව මුලතිව් දකුණට ගමන් කළ 58 වැනි සේනාංකය අවසාන සටනේදී කොටි නායකයා කොටු කළ සේනාංකය තුනෙන් එකක් බවට පත්විය.

ඇමෙරිකාවේ ප‍්‍රශ්නය වී ඇත්තේද නව හමුදාපතිවරයා 58 වැනි සේනාංකයට අණදීමය. එහෙත් ඔහුට එරෙහිව ඉදිරිපත් වී ඇති යුද අපරාධ කිසිවක් ඔප්පු වී තිබේද? නැත. මේවා සියල්ල කතාන්තර පමණකි. නව යුද හමුදාපතිවරයා කිසිවිටක යුද අපරාධකරුවකු නොවේ. ඔහු සිදු කළේ කවරක්ද? 1983 සිට සෑම මසකම මෙරට සියලූ ජාතීන්ට අයත් පුරවැසියන් දෙසීයක් පමණ මියයන සිවිල් යුද්ධය නතර කිරීමට තම සේනාංකය මෙහෙයවීමය. එයින් සිදු වූයේ මෙරට වැසියන්ගේ ජීවත්වීමේ අයිතිය සුරැකීම නොවේද?

ඇත්තෙන්ම ලංකාවේ ස්වෛරීභාවයට අතපෙවීමට ඇමෙරිකාවට නොහැකිය. හමුදාපති පත්කිරීම ලංකා ජනපතිවරයාගේ තීරණයකි. එයට එරෙහි වීමට කිසිදු රටකට නොහැකිය. ඉන්දියාව කාශ්මීරයේ ස්වයං පාලන බලය අහෝසි කර එහි ඉඩම් හා පොලිස් බලතල දිල්ලි ආණ්ඩුවට පවරා ගත් විට ඇමෙරිකාව වචනයක් ප‍්‍රකාශ කළේ ද? කාශ්මීරයේ යුද අපරාධ සිදුවන්නේ යැයි කියමින් ඉන්දීය හමුදාපති පත්කිරීමට එරෙහිව දිල්ලියේ ඇමෙරිකානු තානාපති නිවේදන නිකුත් කරන්නේද? කිසිසේත් නැත. නමුත් ලංකාවේ හමුදාපති පත් කළ විට කොළඹ සිටින තානාපති මෙනෙවිය කලබල වී ඇත.

සහරාන්ගේ භීෂණයට මුහුණ දුන් මෙරට ප‍්‍රජාව යුද පිටියේ අත්දැකීම් බහුල ශවේන්ද්‍ර සිල්වා නව හමුදාපති වනු දැකීමෙන් බලවත් සතුටට පත්වූ බව රහසක් නොවේ. ජනපතිවරණ සටනෙත් ප‍්‍රමුඛ තැන ජාතික ආරක්ෂාවට හිමිව ඇති සමයක ශවේන්ද්‍ර පත්වීම ගැන දොස් කියන්නේ ඊනියා දෙමළ සන්ධානය පමණි. ඇමෙරිකාව අනුව යමින් අගෝස්තු 19 වැනිදාම ට්විටර් පණිවිඩයක් නිකුත් කළ දෙමළ සන්ධානය පැවසුවේ කුමක්ද? ජනාධිපතිවරයාගේ මෙම පත්කිරීම සම්බන්ධයෙන් තමන් අතිශය කලකිරීමට පත්වන බවය. එමෙන්ම බරපතල චෝදනාවලට ලක්ව සිටින පුද්ගලයකු යුද හමුදාපතිවරයා බවට පත්කිරීම දෙමළ ජනතාවට කළ අපහාසයක් බව ද එහි වැඩිදුරටත් දක්වා තිබිණ. දෙමළ සන්ධානයේ කලකිරීම ඔවුන් විසින්ම සිත්හි තබාගෙන සිටීම වටී. මෙරට සාතිශය බහුතරයට කිසිම කම්පාවක් නම් නැත.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'