Logo
2020 ඔක්තෝම්බර් මස 1 වැනි බ්‍රහස්පතින්දා

සියලු වන බිම් සිංහරාජයට පවරා ලංකාගමට පාර කපන්න

සජීව චාමිකර


වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 2010 වසරේ වාර්තාවලට අනුව පහතරට වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ මෙරට මුළු භූමි ප‍්‍රමාණයෙන් 1.9%ක් බව තහවුරු වී ඇත. එම වන බිම් ප‍්‍රමාණය හෙක්ටයාර 123,302 කකි. ඉහළ කඳුකර වැසි වනාන්තර හා උප කඳුකර වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ 1.1%කකි. එය හෙක්ටයාර 73,271ක වනාන්තර ප‍්‍රමාණයකි. ඒ අනුව මෙරට සමස්ත භූමි ප‍්‍රමාණයෙන් වැසි වනාන්තරවලින් වැසී ඇත්තේ 3% ක් වූ ඉතා ම සුළු බිම් ප‍්‍රමාණයකි. එම වනාන්තර ප‍්‍රමාණය හෙක්ටයාර 196,573ක් පමණ වේ. ඉන් රක්ෂිත බවට ප‍්‍රකාශයට පත් කර ඇත්තේ 65%ක වනාන්තර ප‍්‍රතිශතයකි. ඉතිරි වනාන්තර ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොම්ෂන් සභාව යටතේ පාලනය වේ.

මේ නිසා අද වනවිට මෙරට තෙත් කලාපයද සෘතුමය වර්ෂාපතන රටාවේ වෙනස්කම්වලට හා ජල අර්බුධයන්ට මුහුණ දෙමින් සිටී. ඒ හේතුවෙන් අප විශේෂයෙන් අවධාරණය කරන්නේ සිංහරාජ අඩවියේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් සිංහරාජ ජාතික උරුම වන භූමිය වටා පිහිටි සමස්ත වනාන්තර රක්ෂිත තත්වයට පත් කරන ලෙස ය. එසේ නොමැතිවුවහොත් මාර්ග සංවර්ධනයත් සමඟ ම අනාරක්ෂිත වනාන්තර පද්ධති සීග‍්‍රයෙන් තේ වගාව හා හෝටල් ඉදි කිරීම ඇතුළු බොහෝ සංවර්ධන ක්‍රියාවලීන්ට ගොදුරු වී, මිනිසා ඇතුළු සියලු ජෛව ප‍්‍රජාවට අහිමි වීමට නියමිත ය. අප ලංකාගම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය දෙස බලන්නේ මේ ද්‍රෘෂ්ඨිකෝණයෙනි. එම නිසා ලංකාගම මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට පරිසරවේදීන් විරුද්ධ වන්නේ කුමන පැතිකඩකින්ද යන්න නිවැරදිව අවබෝධ කර ගැනීම වැදගත් වේ.

එය නිවැරදිව අවබෝධ කර ගැනීමකින් තොරව තීන්දු තීරණ ගැනීමෙන් සිදු වන්නේ ජෛව සමතුළිතතාවය බිඳ වැටීමෙන් සිදු වන බොහෝ අභියෝගවලට මුහුණ දීමට සිදු වීම ය. ඊට හොඳම උදාහරණය වර්ෂ 1900ත් 2000ත් අතර සියවසේ දී මෙරට උභයජීවීන්ට අත් වූ ඉරණමෙන් පැහැදිළි කළ හැකි ය. මුළු ලෝකයම ආවරණය වන පරිදි එම සියවස තුළ සිදු කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ පසුගිය සියවසේ දී මුළු ලොවින් ම උභයජීවීන් 34ක් වඳ වී ගොස් ඇති බවත් ඉන් විශේෂ 21ක් වඳ වී ඇත්තේ අපේ මේ කුඩා දිවයිනෙන් බවත් ය. එම වාර්තාවෙන් පසු ව විශේෂ දෙකක් නැවත සොයා ගැනීමට හැකි වූ අතර ඉතිරි උභයජීවී විශේෂ 19ම මේ වනවිට වඳ වී ගොස් ඇති බව තහවුරු වී ඇත. ඊට ප‍්‍රධාන හේතුව තේ වගාව ඇතුළු ක්‍රියාවලීන් සඳහා වැසි වනාන්තර සීග‍්‍රයෙන් විනාශයට ලක් කිරීම ය.

🟢 ලංකාගම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය

සිංහරාජ ජාතික උරුම වන භූමිය ආසන්නයේ පිහිටි ලංකාගම දක්වා වනාන්තර තුළින් විහිදී ඇති මාර්ගය සංවර්ධනය කිරීමේ දී නෙළුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාදුගැටේ, වාරුකන්දෙණිය හා ලංකාගම යන ග‍්‍රාමනිලධාරී වසම් තුන ඔස්සේ කිලෝමීටර 18ක් පමණ දිග අඩි 15ක් පමණ පළල මාර්ගයක් ලෙස සංවර්ධනය කෙරේ.

මෙම මාර්ගය ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර ඉඩම්, පෞද්ගලික ඉඩම්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රජයේ ඉඩම් හා සිංහරාජ ජාතික උරුම වන භූමියට අයත් වනාන්තර ඉඩම් ඔස්සේ විහිදී ඇත. මීට අමතර ව ගිං ගෙඟ් අතු ගංගා හරහාද මෙම මාර්ගය සංවර්ධනය කෙරෙමින් පවතී. සිංහරාජ ජාතික උරුම වන භූමියේ ස්ථාන තුනක් හරහා මීටර 1,320ක් ඔස්සේ මෙම මාර්ගය සංවර්ධනය කරනු ලැබේ.

🟢 මාර්ග සංවර්ධනය නීති විරෝධී වීමට හේතු

1988 අංක 3 දරණ ජාතික උරුම වන භූමි පනතේ 2වන වගන්තියට අනුව සිංහරාජය ජාතික උරුම වන භූමියක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. එසේ ප‍්‍රකාශයට පත් කළ භූමි ප‍්‍රදේශයකට ඇතුළු වීමට පනතේ 3වන වගන්තියට අනුව වන සංරක්ෂණ ජනරාල්වරයාගේ අනුමැතිය ලබා ගත යුතු ය. එසේ නොමැතිව ඇතුළු වීම නීති විරෝධී ක්‍රියාවකි. පනතේ 4වන වගන්තියට අනුව ජාතික උරුම වන භූමියක ශාක කැපීම, අලුතින් වනාන්තර එළි කිරීම, මාර්ග ඉදි කිරීම යන සියලු කාර්යන් තහනම් වේ. එවන් වරදකට මහේස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු වන පුද්ගලයකුට පනතේ 12වන වගන්තියට අනුව රුපියල් දස දහසත් ලක්ෂයත් අතර දඩයකට හෝ වසර එකත් දෙකත් අතර සිරදඩුවමකට හෝ මේ දඩුවම් දෙකට ම ලක් කළ හැකි ය. මේ ආකාරයේ නීතිමය ආවරණයකට සිංහරාජය යටත් කර ඇත්තේ එහි පවතින මිල කළ නොහැකි අගය නිසා ය. මේ තත්වයන් උල්ලංඝනය කරමින් අද වනවිට ලංකාගම දක්වා මාර්ගය ඉදි කරමින් පවතී.

සිංහරාජ ජාතික උරුම වන භූමිය හා ඒ වටා පිහිටි සියලුම වනාන්තර ප‍්‍රදේශ අයත් වන කලාපය 1951 අංක 25 දරන පස සංරක්ෂණ පනතේ 3වන වගන්තියට අනුව 2008 මැයි 22වන දින අංක 1550/9 දරන ගැසට් නිවේදනය මඟින් පස සංරක්ෂණ කලාපයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. ඊට හේතු ව මේ කලාපය කඳුවැටි සහිත නායයාමේ අවධානමක් පවතින කලාපයක් වීම ය. එවන් කලාපයක සංවර්ධන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමේ දී ජාතික පාරිසරික පනතට අනුව අනුමැතිය ලබා ගත යුතු ය. ඒ තුළින් බලාපොරොත්තු වන්නේ සංවර්ධන ව්‍යාපෘතියේ තිරසර පැවැත්ම තහවුරු කිරීම ය.

සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ප‍්‍රදේශයක් එළි කර වනාන්තර නොවන භාවිතාවක් සඳහා යොදා ගැනීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප‍්‍රථම පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගත යුතු ය. ලංකාගම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී විශාල වනාන්තර තීරයක් ඉවත් කිරීමට සිදු වන අතර ඒ සඳහා මේ ආකාරයෙන් අනුමැතිය ලබා ගැනීම අවශ්‍යය. එම ගැසට් නිවේදනයේම දැක්වෙන ලෙස ජාතික උරුම වන භූමියක් ලෙස ප‍්‍රකාශිත ප‍්‍රදේශයක් තුළ හෝ එහි මායිමේ සිට මීටර 100ක් ඇතුළත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් ද පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගත යුතු ය. මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සිංහරාජ ජාතික උරුම වන භූමිය ආන්න බොහෝ ප‍්‍රදේශවලින් විහිදී ඇති බැවින් මේ අයුරින් අනුමැතිය ලබා ගැනීම අත්‍යවශ්‍යය. මීට අමතර ව මෙම ගැසට් නිවේදනයට අනුව පස සංරක්ෂණ පනත යටතේ ප‍්‍රකාශයට පත් කළ යම් ප‍්‍රදේශයක් තුළ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී ද පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු ය.

මේ නීතිමය ප‍්‍රතිපාදනයන් සියල්ල උල්ලංඝනය කරමින් මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සිදු කරන බැවින් නීති විරෝධී සංවර්ධන ව්‍යාපෘතියක් වන අතර ඒ තුළින් නීතියේ ආධිපත්‍යය බිඳ වැටීමට ලක් වී ඇත. එපමණක් නොව ජනතාවට නීතිය පිළිබඳ ව ඇති විශ්වාසය හා එම නීති ක්‍රියාත්මක කරන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය පිළිබඳ ව ඇති විශ්වාසය ද සම්පූර්ණයෙන් ම අහිමි වෙමින් තිබේ.

🟢 සිංහරාජ රක්ෂිතයට අලුතින් වනාන්තර එක් කිරීම

සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය වටා පිහිටන රක්ෂිත නොවන ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර සීග‍්‍රයෙන් එළිපෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කිරීම බහුල ව සිදු වේ. මේ ආකාරයෙන් ජල පෝෂක වනාන්තර හා ආවේණික ජීවීන්ගේ වාසස්ථාන විනාශ කිරිම හේතුවෙන් උද්ගතවන ගැටළු මැඩපැවැත්වීම සඳහා 2004 අගෝස්තු මස 4වන දින කැබිනට් මණ්ඩලය විසින් නිර්දේශ ලබා දී ඇත්තේ සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතයට මායිම් ව හෝ මායිමේ සිට මීටර 500ක් ඇතුළත පිහිටන ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොම්ෂන් සභාව සතු වනාන්තර ඉඩම් සියල්ල ම පසුව වන්දි ගෙවීමේ පදනම මත සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතයට පැවරිය යුතු බව ය. එසේ පැවරීමට ඇස්තමේන්තු කර ඇති වනාන්තර ප‍්‍රමාණය හෙක්ටයාර 2,490කි.

එම වනාන්තර රත්නපුර දිස්ත්‍රික්කයට අයත් මුරකැළේ වත්ත (50.4 ha), ෆැබ් වත්ත (181.3 ha), ඉළුබකන්ද වත්ත (567 ha), මෝර්නිග්සයිඩ් වත්ත (55.4 ha), කැන්ටර් වත්ත (130 ha), ගේස් වත්ත (137.5 ha), ගොන්හෙළ වත්ත (137.9 ha), ඇබරොස් වත්ත (35.4 ha), බැක්වෙයා වත්ත (109.9 ha), කෝදුරුගල වත්ත (99 ha) හා දඹහේන වත්ත (8.6 ha), මාතර දිස්ත‍්‍රික්කයට අයත් එන්සල් වත්ත (436 ha), කුරුලග වත්ත (188 ha), බෙවර්ලි වත්ත (28 ha), හා හේමගිරි වත්ත (40 ha), ගාල්ල දිස්ත‍්‍රික්කයට අයත් හෝමදොළ වත්ත (304 ha) යන ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් වතු සමාගම් වලට ලබා දුන් ඉඩම් වල පිහිටා තිබේ. අද වනවිට මෙම ඉඩම් පවරා ගැනීමට නිර්දේශ ලබා දී වසර 16ක් ගත වී ඇතත් මේ වනාන්තර ඉඩම් පවරා ගැනීමේ කටයුතු අවසන් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වී ඇත. එය පමා වන සෑම මොහොතක ම විශාල වැසි වනාන්තර ප‍්‍රමාණයක් එළි පෙහෙළි කරමින් තේ හා එනසාල් වගා බිම් ව්‍යාප්ත කරනු ලැබේ.

මීට අමතර ව පසුගිය රජය පැවති සමයේ දී පරිසර අමාත්‍යවරයා වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය වටා පිහිටි යෝජිත රක්ෂිත වනාන්තර 13ක් එම රක්ෂිතයට සම්බන්ධ කර වනාන්තර හෙක්ටයාර 30,000ක් දක්වා ජාතික උරුම වන රක්ෂිතයේ භූමි ප‍්‍රමාණය වැඩි කිරීමට අදාළ ගැසට් නිවේදනයකට අත්සන් තබා ඇත. ඒ අනුව දෙල්ලව, තවලම, මොරපිටිය-රූනකන්ඳ, වරතැල්ගොඩ මූකලාන, නෙළුකැටිය මූකලාන, දෙල්මැල්ල-යටගම්පිටිය, අයගම, කරවිට, දෙල්වල, කුඩුමිරිය, මස්ඉඹුල, මගුරුගඟ යන යෝජිත රක්ෂිත සිංහරාජ ජාතික උරුම වන භූමියට පැවරීමට කටයුතු කර ඇත. නමුත් එම ගැසට් නිවේදනයට අත්සන් තබා වසරක් පමණ ගත වී ඇතත් තව ම ප‍්‍රකාශයට පත් කර නැත.

🟢 සිංහරාජ රක්ෂිතයට අලූතින් වනාන්තර එක් කිරීමට බාධා කිරීම

සිංහරාජයට වනාන්තර එක් කරන ගැසට් නිවේදනයට අත්සන් තබා වසරකට ආසන්න කාලයක් ගත වී ඇතත් එය ප‍්‍රකාශයට පත් නොකිරීම හා ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර ඉඩම් සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතයට පැවරීම වෙනුවට එම වනාන්තර තුළින් ගම්මාන වලට පිවිසීමට ඇති මාර්ග පුලුල් කර එම වනාන්තර ඉඩම් විවිධ මහ පරිමාණ වාණිජ භාවිතාවන් වන හෝටල් ඉදි කිරීම හා මහ පරිමාණ තේ වගා බිම් ඇති කිරීම සඳහා ප‍්‍රාදේශීය දේශපාලකයන් හා ඔවුන් හා සම්බන්ධ ව්‍යාපාරිකයන් විසින් සැලැසුම් සකස් කිරීම මේ වනවිට සිදු කෙරෙමින් පවතී. සිංහරාජය අවට ගම්මානවල ජනතාවට මාර්ග පහසුකම් ලබා දෙන බව සඳහන් කරමින් ජනතාව මුලා කර ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර ඉඩම් කොල්ලකෑමට ඔවුන් සැලැසුම් සකස් කරන අතර සිංහරාජ ජාතික උරුම වන භූමියට ඒ වටා පිහිටි වනාන්තර ඉඩම් පැවරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීමට ද බාධා කරයි.

🟢 සිංහරාජයේ සංරක්ෂණ ඉතිහාසය

ශ්‍රී ලංකාවේ පළමු ස්වාභාවික ලෝක උරුමය ලෙස 1989 වසරේ දී යුනෙස්කෝව (UNESCO – United Nations Educational, Scientific and Cultural Organization) මගින් ප‍්‍රකාශයට පත් කළ සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය පාරිසරික, ජෛව විද්‍යාත්මක, ජල විද්‍යාත්මක හා භූ විද්‍යාත්මක වටිනාකම් රාශියකින් සැදුම්ලත් නිවර්තන තෙත් සදාහරිත වනාන්තර පද්ධතියකි. ලෝකයේ ජෛව විවිධත්වයෙන් උච්ච ස්ථාන (Biodiversity Hotspot) 34 අතුරින් එකක් ලෙස ශ්‍රී ලංකාව නම් කිරීමට සිංහරාජ වනාන්තර පද්ධතිය ප‍්‍රධාන දායකත්වයක් ලබා දී ඇත. මේ වනාන්තර පද්ධතියේ මිල කළ නොහැකි වටිනාකම හේතුවෙන් ඈත අතීතයේ සිට ම කිසිදු මානව ක්‍රියාකාරකමකින් තොර කලාපයක් ලෙස පැවතින.

බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී සිංහරාජ වනාන්තර පද්ධතියෙන් කොටසක් Waste Lands Ordinance නම් ආඥා පනත මගින් ආරක්ෂිත ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. එම ආඥා පනතට අනුව 1875 මැයි මස 8 වන දින අංක 4046 දරන ගැසට් නිවේදනය මගින් හෙක්ටයාර 2428 ක් හා 1926 මැයි මස 21 වන දින හෙක්ටයාර 3725 ක් වශයෙන් හෙක්ටයාර 6153 ක වනාන්තර භූමියක් පළමු ව රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

සිංහරාජ වනාන්තර පද්ධතිය හා ඒ අවට ජීවත් වන ජනතාව අතර ඇති මනා සබැදියාව පදනම් කර ගෙන 1978 වසරේ අප්‍රේල් මස දී මිනිසා හා ජෛවගෝල රක්ෂිතයක් ලෙස නම් කර ඇත. ඉන් පසුව 1988 අංක 3 දරන ජාතික උරුම වන භූමි පනත පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පසු ව ශ්‍රී ලංකාවේ ප‍්‍රථම හා එක ම ජාතික උරුම වන භූමිය ලෙස 1988 ඔක්තෝම්බර් 21 වන දින අංක 528/14 දරන ගැසට් නිවේදනය මගින් සිංහරාජ වනාන්තර පද්ධතියේ හෙක්ටයාර 11,187ක වනාන්තර භූමි ප‍්‍රමාණයක් රක්ෂිත භාවයට පත් කරන ලදී.

🟢 සිංහරාජයේ ජෛව විවිධත්වය

වර්ගකිලෝමීටර 65,610ක් පමණ වන ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප‍්‍රමාණයෙන් 0.17%ක් පමණ ආවරණය වන සිංහරාජ අඩවියේ මෙරට ගොඩබිම් පරිසරවල ජීවත් වන සත්ව විශේෂ අතරින් සියයට 38ක් වාර්තා වේ. ශ්‍රී ලංකාවට ආවේණික සත්ව විශේෂ අතරින් 37%ක් හා මෙරටට ආවේණික ශාක විශේෂවලින් 53%ක් සිංහරාජ අඩවියෙන් වාර්තා වෙයි.

මුළු ලොවින් ම සිංහරාජ අඩවියට පමණක් ආවේණික ජීවී විශේෂ 40ක් මේ වනවිට පර්යේෂකයින් විසින් සොයා ගෙන ඇත. ඉන් විශේෂ 15ක් සපුෂ්ප ශාක වන අතර ඉතිරි විශේෂ 25 සත්ව විශේෂ වේ. මේ අතර උරග විශේෂ 11ක්, උභයජීවී විශේෂ 09ක්, මිරිදිය කකුළුවන් විශේෂ 03ක්, මකුලුවන් හා ක්ෂීරපායීන් විශේෂ එක බැගින් වේ.

ශ්‍රී ලංකාවට වැඩි ම වර්ෂාපතනයක් හිමි වන නිරිතදිග මෝසම් සුළං මගින් ගෙන එන වළාකුළුවල ජලය වර්ෂාව ලෙස ලබා ගැනීම හා එම වර්ෂා ජලය භූගත කිරීමේ යාන්ත‍්‍රනය ශක්තිමත් ව ක්‍රියාත්මක කිරීමට විශාල දායකත්වයක් ලබා දෙන සිංහරාජ අඩවිය ඒ අවට ජනතාවගේ ජල අවශ්‍යතාවන් හා පහතරට සුළු පරිමාණ තේ වගාවට අවශ්‍ය ජලය ප‍්‍රමාණවත් ව ලබා ගැනීමට මනා දායකත්වයක් සපයයි.

ලංකාවේ ප‍්‍රධාන ගංගාවක් වන කළු ගඟේ හා ගිං ගඟේ ප‍්‍රධාන ජල පෝෂක අතු ගංගා ජලයෙන් පෝෂණය කරන සිංහරාජ අඩවිය මේ ගංගා ද්‍රෝණිවල ජීවත් වන ජනතාවට අවශ්‍ය පානීය හා දෛනික ජල අවශ්‍යතාවන් ප‍්‍රමාණාත්මක ව හා ගුණාත්මක ව ලබා දේ.

සිංහරාජ අඩවිය යනු සුවිශේෂී ජෛව කලාපයකි. නිවර්තන තෙත් සදාහරිත වනාන්තර වැස්මක් සහිත මේ ප‍්‍රදේශයේ හොර ශාක ප‍්‍රජාව, නා-දුන් ප‍්‍රජාව සහ මිල්ල-දියපර-හෙදවක-වැලිපැන්න ප‍්‍රජාව වශයෙන් සුවිශේෂී ශාක ප‍්‍රජා ත‍්‍රිත්වයක් පවතී. මීට අමතර ව සිංහරාජ අඩවියට අයත් නමුත්, රක්ෂිත ප‍්‍රදේශයට ඇතුළත් ව නොමැති සිංහරාජවත්ත හා එන්සල්වත්ත ලෙස හඳුන්වන වතු සමාගම් දෙකට අයත් නොයිඳුල් තෙත් සදාහරිත විශාල වනාන්තර ප‍්‍රදේශයේ ලංකාවට ආවේණික ශාක විශේෂ දෙකක් වන රත්දුන් (Shorea gardneri) හා යකහලු දුන් (Shorea trapezifolla) යන ශාක විශේෂ දෙකෙන් සමන්විත සුවිශේෂී ශාක ප‍්‍රජාවක් දැක ගත හැකි ය. මේ අනාරක්ෂිත ශාක ප‍්‍රජාව වත්මන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සැබෑ ස්වරූපය මනා ව විද්‍යමාන කරන කැටපතක් බඳු ය. මේ අනාරක්ෂිත වනාන්තර ප‍්‍රදේශ දිනෙන් දින එළිපෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කැරේ. එකී වනාන්තර පවරා ගැනීමට සැලැසුම් සකස් වන විට මේ සියල්ල වැනැසී ගොස් අවසාන වීමට ඉඩ ඇත.

ලංකාවට ආවේණික සපුෂ්ප ශාක විශේෂ 926 අතුරෙන් විශේෂ 495ක් සිංහරාජ අඩවියෙන් වාර්තා වේ. ලංකාවට ආවේණික ශාක ගණ 25 අතුරෙන් 13ක් ම සිංහරාජ අඩවියෙන් වාර්තා වන අතර, මුළු ලොවින් ම සිංහරාජ අඩවියේ පමණක් දැක ගත හැකි ශාක විශේෂ 15ක් පමණ වෙයි. දැවමය ශාක විශේෂ 340ක් පමණ සිංහරාජ අඩවියෙන් හඳුනාගෙන ඇති අතර, ඉන් විශේෂ 192ක් පමණ ලංකාවට ආවේණික වේ.

දැනට ඇති වාර්තාවලට අනුව සිංහරාජ අඩවියේ මීවන හෙවත් පර්ණාංග ශාක විශේෂ 42ක් පමණ හඳුනාගෙන ඇති අතර ඉන් විශේෂ 10ක් පමණ ලංකාවට ආවේණික වෙයි. පාත‍්‍රා කොකු (Cyathea crinita), ගිනි හොට (Cyathea spp), වල් මැඩ (Angiopteris evecta), බරු කොකු (Blechnum orientale), කුරුලූ කූඩු මීවන (Asplenium nidus), මහ හැඩයා (Huperzia phlegmaria) වැනි මීවන ශාක අති බහුතරයක් සිංහරාජ අඩවියේ වාර්තා වේ. ලංකාවේ කුඩා ම මීවන ශාකය වන අපිශාකීය Microgonium motleyi ශාකය ද සිංහරාජයේ දැකගත හැකි වේ.

ලංකාවේ වාර්තා වන උඩවැඩියා ශාක විශේෂ 173 අතුරෙන් 80කට වැඩි ප‍්‍රමාණයක් සිංහරාජ අඩවියෙන් වාර්තා වේ. වනරාජ (Anoectochilus setaceus), ඉරුරාජ (Zeuxine regia), මහාපද්ම (Podochilus malabaricus), කුඩාපද්ම (Podochilus saxatilis), ජටාමකුට (Flickingeria macraei), වෙසක් මල් (Dendrobium maccarthiae) අතුළු ආවේණික හා ඉතා දුර්ලභ උඩවැඩියා විශේෂ රාශියක් සිංහරාජ අඩවියේ දැකගත හැකි ය.

ලංකාවේ වාර්තා වන වේවැල් ශාක විශේෂ දහය අතුරෙන් නවයක් ම සිංහරාජ අඩවියෙන් හමු වේ. වඳවීමේ තර්ජනයට දැඩි ලෙස පාත‍්‍ර වූ ලංකාවට ආවේණික කුකුළුවැල් (Calamus pachystemonus) ශාකයේ සිට ලංකාවට ආවේණික තම්බොටුවැල් (Calamus zeylanicus), තුඩරෑන (Calamus ovoideus), නරවැල් (Calamus delicatulus), මා වේවැල් (Calamus thwaitesii) වැනි දුර්ලභ වේවැල් විශේෂ සිංහරාජයෙන් වාර්තා වේ.

සිංහරාජයේ දියපහරවල ලංකාවට ආවේණික ඉතා දුර්ලභ අති උඩයන් විශේෂ පහක්, කෙටල විශේෂ තුනක් වෙයි. ලංකාවට ආවේණික දුර්ලභ කෙකටිය ශාක විශේෂයක් වන Aponogeton rigidifolius, ලංකාවට ආවේණික දුර්ලභ කෙටල ශාක විශේෂ වන Lagenandra praetermissa, Lagenandra lancifolia, Lagenandra koenigii, Lagenandra thwaitesii, Lagenandra bogneri ශාක ද මෙහි වෙයි. මීට අමතර ව ලංකාවට ආවේණික දුර්ලභ අති උඩයන් විශේෂ වන Cryptocoryne beckettii, Cryptocoryne thwaitesii, Cryptocoryne bogneri දියපහරවල දැකගත හැකි වේ. මේ දැනට සිංහරාජ අඩවියෙන් හඳුනාගත් අති විශාල ශාක විවිධත්වයෙන් ස්වල්පයක් පමණි.

සිංහරාජයේ සත්ව විවිධත්වයද මීට නොදෙවැනි තත්වයක පවතී. මත්ස්‍යයන්, උභයජිවීන්, උරගයන්, පක්ෂීන්, ක්ෂීරපායීන් හා සමනළුන් යන සත්ව කාණ්ඩ හයට අයත් සත්ව විශේෂ 455ක් සිංහරාජයේ වාර්තා වන අතර, ඉන් විශේෂ 144ක් නැතහොත් 32%ක් ලංකාවට ආවේණික වෙයි.

ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 33 එක ම කලාපයක දී වාර්තා වන්නේ සිංහරාජ අඩවියේ හා ශ‍්‍රී පාද අඩවියේ පමණි. මෙපමණක් නො ව සිංහරාජයේ වාර්තා වන උභයජීවී විශේෂ අතුරෙන් නවයක් සිංහරාජ අඩවියට ආවේණික වෙයි. උරගයන් අතුරෙන් විශේෂ 11ක් මුළු ලොවින් ම දැක ගත හැක්කේ සිංහරාජ අඩවියෙන් පමණි. ක්ෂීරපායී සතුන් අතුරෙන් එක් විශේෂයක් (කුණු හික් මීයා – Crocidura hikmiya) හා ලංකාවේ මිරිදිය කකුළුවන් අතුරෙන් විශේෂ තුනක් (Ceylonthelphusa savitriae, Perbrinckia quaratus හා Perbrinckia rosae) සිංහරාජ අඩවියට පමණක් සීමා වී ඇත. මීට අමතරව Onomustus nigricauds නම් මකුළු විශේෂය සිංහරාජ අඩවියට ආවේණික වේ. මේ අනුව දැනට හඳුනාගත් හා පර්යේෂණයන්ට ලක් කර ඇති සත්ව කාණ්ඩ අතුරෙන් විශේෂ 25ක් මුළු ලොවින් ම සිංහරාජ අඩවියට පමණක් සීමා වී තිබීම සිංහරාජ අඩවියේ අද්විතීය වූ ද අමිල වූ ද ජෛවීය වටිනාකම විද්‍යමාන කිරීමට ඇති ප‍්‍රධාන සාක්ෂි අතුරෙන් එකකි.

සිංහරාජ අඩවියට ආවේණික උභයජීවීන් විශේෂ නවය 2012 රතු දත්ත ලේඛනයට අනුව වඳවීමේ තර්ජනයට දැඩි ලෙස ලක් වූ විශේෂ වෙයි. එනම් සිංහරාජ පඳුරු මැඬියා (Pseudophilautus simba), කම්මුලේ පැල්ලමැති පඳුරු මැඬියා (Pseudophilautus procax), පොපී ගේ පඳුරු මැඬියා (Pseudophilautus poppiae), දිවේ ගැටිති පඳුරු මැඬියා (Pseudophilautus papillosus), හඳපාන් ඇල්ල පඳුරු මැඬියා (Pseudophilautus lunatus), රන්වන් ඇස් ඇති පඳුරු මැඬියා (Pseudophilautus ocularis), භූෂණ පඳුරු මැඬියා (Pseudophilautus decoris), කරුණාරත්නගේ මුව පටු මැඩියා (Microhyla karunaratnei) හා එන්සල්වත්ත පඳුරු මැඬියා (Taruga fastigo) ය.

සිංහරාජ අඩවියට ආවේණික උරග විශේෂ 11ම වඳවීමේ තර්ජනයට දැඩි ලෙස ලක් වූ විශේෂ වෙයි. ඒ අතුරෙන් පාංශුවාසී සර්ප විශේෂයන් වන දැරණියගල ගේ වල්ගා ඇඹයා (Rhinophis tricoloratus), එරංග විරාජ්ගේ තුඩුල්ලා (Rhinophis erangaviraji), රුක්වාසී සර්ප විශේෂයක් වන සිංහරාජ පදුරු හාල්දණ්ඩා (Dendrelaphis sinharajensis), සිව්පා උරගුන් වන අර්ඩලන් ගේ අඟ කටුස්සා (Ceratophora erdeleni), කරු ගේ අඟ කටුස්සා (Ceratophora karu), මෝර්නින් සයිඩ් සිව්රුවන්ලන කටුස්සා (Calotes dersilvai), මෝර්නින්සයිඩ් මහකැළෑ හූනා (Cyrtodactylus subsolanus), සිහින් මහකැළෑ හූනා (Cyrtodactylus cresenes), ගොඩගෙදරගේ දිවාසැරි හූනා (Cnemaspis godagedarai), අලංකාර දිවාසැරි හූනා (Cnemaspis pulchra), මෙරිල්ගේ සිගිති හිකනලා (Lankascincus merrill) හා සමීරගේ සිගිති හිකනලා (Lanakascincus sameerai) යන විශේෂ වේ. නවතම පර්යේෂණ වාර්තාවකට අනුව මෙතෙක් කලක් සබරගමු කඳුවැටියට ආවේණික විශේෂයක් ලෙස හඳුනාගෙන සිටි රළු අඟ කටුස්සා (Ceratophora aspera) සිංහරාජයට පමණක් ආවේණික විශේෂයක් ලෙසත් සබරගමුව කඳු වැටියේ අනෙක් ප‍්‍රදේශවලින් වාර්තා වන විශේෂය නව විශේෂයක් ලෙසත් හඳුනාගෙන ඇත. මීට අමතර ව සිංහරාජ අඩවියට ආවේණික ඍයසබදචයසි ගණයට අයත් පාංශුවාසී තුඩුල්ලන් විශේෂ දෙකක් අලුතින් සොයා ගෙන ඇති අතර මෑතක දීම එම විශේෂ නාමකරණයට ලක් කළ පර්යේෂණ වාර්තාව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

මෙවන් වූ මිල කළ නොහැකි වටිනාකම් වලින් හෙබි ලංකාවේ සුවිශේෂී ම වැසි වනාන්තර පද්ධතිය වන සිංහරාජ අඩවිය ආරක්ෂා කිරීමට මැදිහත්වීම මෙරට පුරවැසියන් සතු යුතුකමකි. ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඩස වන පරිච්ජේදයේ රාජ්‍ය ප‍්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ 28 (ඊ) උප ව්‍යවස්ථාවට අනුව ස්වභාවධර්මය සහ ස්වාභාවික සම්පත් රැකගැනීම පුරවැසියෙකු සතු යුතුකමක් ලෙස දක්වා ඇත. වර්තමාන හා අනාගත පරපුරේ යහ පැවැත්ම වෙනුවෙන් එම යුතුකම ඉටු කිරීමට සිංහරාජ අඩවියේ සියලු වනාන්තර රක්ෂිත බවට පත් කිරීමේ බලපෑම් කි‍්‍රයාවලියට දායක වීම හා වන විනාශය වැළැක්වීමට මැදිහත් වීම මෙරට සෑම පුරවැසියෙකු ම සතු වගකීමක් බව අවසන් වශයෙන් අවධාරණය කර සිටිමු.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'