Logo
2020 සැප්තැම්බර් මස 30 වැනි බදාදා

වෘත්තීය ඊර්ෂ්‍යාව, විද්වත් කුහකත්වය හා සෝමදේවට ගල් ගැසීම

ඩැනිස්ටර් එල්. පෙරේරා


ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව යනු මේ රටේ පුරාවිද්‍යාව සම්බන්ධයෙන් පර්යේෂණ වල නියැලෙන ප්‍රාමාණික විද්වතෙකි. ඔහු මෑතක සිට මාධ්‍යයෙන් සිය පර්යේෂණ හා සොයාගැනීම් පිළිබඳ රටට කියමින් සිටී. ඔහු ගේ පර්යේෂණ ක්ෂේත්‍රය යොමු වී ඇත්තේ මෙ රට ඉතිහාසයේ තරමක් අපැහැදිලි පූර්වඓතිහාසික යුගයේ පුරාවිද්‍යාත්මක සාක්ෂි මතු කර ගැනීම කෙරෙහිය. එහිදී ඔහු සිය පර්යේෂණ වඩාත් සාක්ෂ්‍ය-පාදක කරගැනීමේ ලා වංශකථා, අටුවා සහ වෙනත් සාහිත්‍ය මූලාශ්‍ර ද යොදා ගනී. එහෙත් ඔහු ගේ උපුටා දැක්වීම් ගැන විවිධ සැකමුසු, නොගැලපෙන හා නොපැහැදිලි තැන් සම්බන්ධයෙන් අභියෝග කරන කණ්ඩායමක් අපිට දක්නට ලැබේ. ඇත්ත වශයෙන්ම යම් විද්වත් පර්යේෂණයක් ගැන තවත් විද්වත් මතයක් ඉදිරිපත් වීම හෝ විවේචනාත්මක ලෙස ඒ දෙස බැලීම යනු ඉතා ප්‍රගතිශීලී හා උන්නතිගාමී ශාස්ත්‍රීය ප්‍රවණතාවක් වේ. යම් ශාස්ත්‍රීය කරුණක් ගැන වාද විවාද කිරීම හා ඒවාට ඉදිරිපත් වීම ශාස්ත්‍රවන්තයින් ගේ ද ඉතා වටිනා විද්වත් ලක්ෂණයක් වේ. අපේ රටේ බොහෝ විද්වතුන් මීට දශක කිහිපයකට පෙර එබඳු වටිනා ශාස්ත්‍රීය වාද විවාද වල නියැලීමෙන් විද්‍යාර්ථීන් හට පමණක් නොව විද්වතුන් හට ද ප්‍රයෝජනවත් බොහෝ කරුණු හෙළි කොට තිබේ. ඒවා හුදු පෞද්ගලික වෛරයකින් හෝ ද්වේෂයකින් හෝ එක පුද්ගලයෙකු විනාශ කිරීමේ අවමන්සහගත චේතනා පෙරදැරිව කළ වාද විවාද නොවේ.

එහෙත් සෝමදේව සම්බන්ධයෙන් පසුගිය දිනවල පළ වූ සමහර විවේචන දෙස බලන විට ඒවා සද්භාවයෙන් කරනු ලබන ශාස්ත්‍රීය විවේචන දැයි තරමක් සැකසහිතය. ඒවායේ ශාස්ත්‍රීය පදනම හා භාෂා ශෛලිය ගැන සලකන විට ඒවා තුළ යම් අවමන්සහගත බවක් පෙනෙන්නට තිබේ. සෝමදේව ගේ පර්යේෂණ වලින් රිදෙන කණ්ඩායම් කිහිපයක් සිටින බව මම නිරීක්ෂණය කර ඇත්තෙමි. බුදුන් උපන් ජම්බුදීපය හෙළබිම යැයි බොරු මතයක් සමාජ ගත කරන ආගමික කල්ලි සෝමදේව මහතා ගේ පර්යේෂණ වලින් ඔවුන් ගේ මතය ඔප්පු වේ යැයි සිතා කලක් ඔහුව අගය කළ කණ්ඩායමකි. එහෙත් සෝමදේව මහතා කිසි විටෙක බුදුන්වහන්සේ ලංකාවේ ඉපදුණු බව හෝ ලංකාව ජම්බුද්වීපය යැයි පිළිගන්නේ නැති බව ඔවුන්ට පෙනී ගිය දා පටන් ඔවුහු සෝමදේව පතුරු ගසන්නට පටන් ගත්තෝය. දැන් ඔවුන්ට අනුව සෝමදේව රස්සාව බේරා ගැනීමට ඉන්දියාවට කත් අදින පුරාවිද්‍යාඥයෙකි. රාමායණයේ චරිතයක් වන මහා බලැති රාවණා රජු ගේ නම විකුණා ජාවාරම් කරන යූටියුබ් කාරයින් සිතා සිටියේ සෝමදේව කෙදිනක හෝ සිය මතයට පක්ෂව ඇඟ කිලිපොලා යන හෙළිදරව්වක් කරනු ඇතැයි යනුවෙනි. එහෙත් සෝමදේව ගේ ස්වදේශික යක්ෂ සංකල්පය තුළ එවැනි රජෙක් සොයාගන්නට නැති ඔවුන් දැන් සෝමදේව ගේ දෙමළ සම්භවයක් ඇතැයි පහර ගසයි. දැන් මේ දෙගොල්ලම සෝමදේව ද්‍රෝහියෙක් බවට පත් කර අවසන් ය.

ඒ අතර සෝමදේවට එරෙහිව ඔහුගේම කුලකයේ විද්වතුන් අවි අමෝරා ගෙන සිටිනුයේ ඔහු වංශකථා, ටීකා, අටුවා ආදිය විකෘති කොට උපුටන බව කියමිනි. ඉතිහාසය නූගත් ඉහත කල්ලි වල සිටින මෝඩ අනුගාමිකයින් සෝමදේවට නින්දා අපහාස අවමන් කිරීම සාධාරණය. ඔවුන් ට ශාස්ත්‍රීය ශික්ෂණයක් නොමැති නිසාය. එහෙත් ඉතිහාසය, පුරාවිද්‍යාව හා ආශ්‍රිත විෂයන් හි ප්‍රාමාණික දැනුම් ඇති විද්වත් සමාජයේ ඇතැමුන් සෝමදේව ගේ මතය හා ගැටෙනු වෙනුවට ඔහු හා පෞද්ගලිකව ගැටෙන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරනු පෙනේ. ඔහුට එරෙහිව පෙත්සම් ලියනු පෙනේ. ඔහුගේ දැනුම ගැන අපාහාසාත්මක පෝස්ට් පළ කරනු පෙනේ. එය යම් මතවාදී ගැටුමක විද්වත් ප්‍රවේශයකට නොගැලපෙන අශික්ෂිත අශිෂ්ට ක්‍රමයක් බව කියන්නට බිය නොවෙමි. සෝමදේව ගේ ප්‍රයත්නය මේ රටේ ස්වදේශික සංස්කෘතිය වංශකථා වෙන් ඔබ්බට ගවේෂණය කොට අපේ ඉතිහාසය තුළ වඩා අනන්‍ය ශිෂ්ටාචාරයක් මතු කර ගැනීමට ය. විජයට පෙර මේ රටේ මිනිසුන් සිටියේ නැත යන මිථ්‍යාවෙන් වැසුණු ශාස්ත්‍රාලෝකය නුදුටු අන්තවාදීන් සිය පොත තුළම කිමිදී කූප මණ්ඩුක න්‍යායෙන් හඬ නගති. එයින් නොනැවතී සෝමදේව ගේ මතවාදය විවේචනය කරනු වෙනුවට ඔහුට පහර දීමේ ගෝත්‍රික උපක්‍රමය භාවිතා කරමින් සිටියි.

මේ ප්‍රශ්නයේ දී අපි බලා සිටිනුයේ ශාස්ත්‍රීය වශයෙන් ඉතා උසස් මට්ටමේ සංවාදයක් ඇසුරෙන් සත්‍යය වටහා ගැනීමට මිස සම්ප්‍රාදය හෝ ගතානුගතික පොතේ ගුරන් ආරක්ෂා කිරීමට නොවේ. ඉතිහාසය යනු ඕනෑම මොහොතක අළුත් විය හැකි වෙනස් විය හැකි සන්දර්භයක් සහිත විෂයක් නිසා අපි සියලු දෙනාම ඊට අදාළව නිවැරැදි තොරතුර කුමක් දැයි අපේක්ෂාවෙන් සිටිමු. ඒ සඳහා නිසි පරිදි විද්වත් සංවාදයක් හෝ පැහැදිලි කිරීමක් සිදු කරමින් ලිපි ලේඛන සැපයීමට තරම් ප්‍රතිවාදීන් සමත් විය යුතුය. දෙපසින්ම කරුණු ඉදිරිපත් වන්නේ එවිටය. මේ කාලයේ දී යම් මතභේදාත්මක ශාස්ත්‍රීය කරුණක් නිරාකරණය කිරීම සඳහා මුහුණට මුහුණ වාද කරන්නට අවශ්‍ය වන්නේ නැත. ඒවා ඉතා පහසුවෙන් සිය ප්‍රතිවාදීන් වෙත සංනිවේදනය කිරීම නවීන මාධ්‍ය භාවිතය හරහා සිදු කළ හැකිය. ඉතිහාසය ගැන සාක්ෂ්‍ය පාදක කරුණු මත සංවාද කළ යුතුය. මේ විද්වතුන් අද වන විට කිසිම පදනමකින් තොරව ඉතිහාසය විකෘති කරන බොහෝ පිරිස් වලට එරෙහි වන බවක් පෙනෙන්නට නැත. එහෙත් සෝමදේවට ගල්ගසන්නට නම් ඔවුහු පෝලිමේ එති. එනිසා අපි මේ ගැටලුව විද්වත් ශික්ෂණයෙන් විසඳා ගැනීමේ තලයෙන් ඔබ්බට ගමන් කරමින් සිටිමු. සෝමදේව ජන මාධ්‍යය හරහා සිය මතය ඉදිරිපත් කරන විට ප්‍රතිවාදීන් ද ඊට සරිලන පරිදි සාවද්‍ය තොරතුරු නිරවද්‍ය කරමින් ඊට පිළිතුරු දිය යුතුය.

(මම සෝමදේව භක්තිකයෙක් හෝ ඔහුගේ අනුගාමිකයෙක් නොවේ. සත්‍ය ගවේෂණය අරමුණු කොට ලියන්නෙමි.)

ඩැනිස්ටර් පෙරේරා





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'