Logo
2020 ඔක්තෝම්බර් මස 21 වැනි බදාදා

පුලස්ති රාවණ මිථ්‍යාවෙන් තොරව ගොඩ නැගුණු අපේ හෙළ වෙදකම

ඩැනිස්ටර් එල්. පෙරේරා


බොහෝ දෙනා සිංහල වෙදකම ගැන අභිමානයෙන් කතා කරන්නේ එහි ආදිකර්තෘ පුලස්ති ඍෂිවරයා බවත් රාවණ රජු සිංහල වෙදකමේ විශාරද දැනුමක් තිබූ වෛද්‍යවරයෙකු බවත් සඳහන් කරමිනි. එය අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ නිවැරැදි ඉතිහාසය මුළුමනින් ම යටපත් කොට එහි නිසි ගෞරවය ලැබිය යුතු අපේ හෙළ රජදරුවන් ගේ සේවාවට නිගරු කරන කුමන්ත්‍රණයක් බව බොහෝ දෙනා නොදනී. හෙළ වෙදකමේ ඉතිහාසය හා එහි අන්තර්ගත විද්‍යාව නොදන්නා බොහෝ දෙනා එහෙන් මෙහෙන් අහුලා ගත් කරුණු පූට්ටු කොට ලියන කසිකබල් ලිපි හා පුරාජේරු පොස්ට්ටු මගින් සිදුවන්නේ සමාජය මුලා කිරීමය. රාවණා ගේ වෙදකම යැයි නොයෙක් ආකාරයේ බොරු පූච්ච්නාම් කියමින් බඩගෝස්තරය රැකගන්නා යූට්යුබ් කාරයින් වරින් වර මතුව වී අතහරින කෙප්ප වලින් ද සිදුවන්නේ එබඳුම හානියකි. ඒවායින් ඔවුන් ගේ මඩිය තරවන්නේ වැඩි දෙනා ඒවා නරඹන විට ලැබෙන ප්‍රචාරය තුළිනි. ඒ සදහා ඔවුන් නොයෙක් ජනතාව මුලා කිරීමේ උපක්‍රම හා රැවටීමේ උප්පරවැට්ටි භාවිතා කරයි. මෙතෙක් නොවූ විරූ සාක්ෂියක්...! ඇඟ කිලිපොලා යන හෙළි කිරීමක්...! හෙළයින් ගේ විශ්මිත වෙදකම්...! ආදී නොයෙක් මාතෘකා වලින් මිනිසුන් මුලා කරමින් රාවණා ගේ නම විකුණන ජාවාරම්කරුවන් මාධ්‍යය හරහා මතුවෙන්නේ තමන් ගේ හිතළු සමාජ ගත කරමින් ය. මෙවැනි බොරු ප්‍රබන්ධ වලින් මුලාවට පත්වනුයේ සාමාන්‍ය මිනිසුන් පමණක් නොව පාරම්පරික වෛද්‍යවරුන් ද ඔවුන් ගේ ගොදුරු බවට පත්වේ. එබැවින් දේශීය වෛද්‍ය ක්‍රමයේ නිවැරැදි ඉතිහාසය ගැන යම් පැහැදිලි කිරීමක් කාලීන අවශ්‍යතාවක් වේ.

සිංහලයින් ගේ වෙදකම හෙවත් ලංකාවේ පැරැණි දේශීය වෛද්‍ය ක්‍රමය ගැන අපිට බොහෝ ඉතිහාස තොරතුරු තිබේ. එහි අභිවර්ධනය හා උන්නතිය පිණිස නොයෙක් ආකාරයෙන් ආධාර උපකාර අනුග්‍රහ සැලසූ රජවරුන් ගැන අපේ වංශකථා වල සඳහන් ව තිබේ. එසේම අපේ රටේ වෛද්‍ය ක්‍රම ජාතික සෞඛ්‍ය පද්ධතිය තුළ ස්ථාපනය වී තිබූ ආකාරය ගැන පුරාවිද්‍යාත්මක සාක්ෂි වලින් ඉතා මැනවින් සනාථ කළ හැකිය. පැරැණි ආරෝග්‍යශාලා සහ ඒවායේ භාවිතා වූ වෛද්‍ය උපකරණ වල මෙන්ම සෙල්ලිපි ඇසුරෙන් හෙළිවන ඉතිහාසය ලෝකයේ අන් කිසිදු රටකට දෙවැනි නොවන බව අභිමානයෙන් ප්‍රකාශ කළ හැකිය. මහාවංශයට අනුව ක්‍රි.පූ.4 වන සියවසේ පණ්ඩුකාභය රජ සමය තරම් ඈත අතීතයේ දී ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍යය පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූ අතර ආරෝග්‍යශාලා සංකල්පය ද පැවති බව පෙනේ. පැරණි ආරෝග්‍යශාලාවන්හි සහ වෛද්‍ය මෙවලම් හා උපකරණ වල නෂ්ටාවශේෂ මිහින්තලේ, මැදිරිගිරිය, ආළාහණ පිරිවෙණ ආදී ස්ථාන වලින් හමුවී තිබේ. රජ මාළිගාවට යා කොට "බෙහෙත් ගේ " නමින් ස්ථිර වෛද්‍යාගාරයක් හා ඖෂධ ගබඩාවක් පිහිටුවා පොදු ජනතාවගේ ප්‍රයෝජනය පිණිස ආරෝග්‍යශාලා පවත්වා ගෙන යාම රාජානුග්‍රහය මත සිදුවිය. රෝහල් තුළ රෝගීන්ට නැවතී ප්‍රතිකාර ලැබීමට සුදුසු පරිදි සැළසුම් කර තිබූ බව ඒවායේ නටබුන් වලින් මනාව දැකගත හැකිය. නේවාසිකව ප්‍රතිකාර ලබන රොගීන් ගේ කුටි කුටි වලට මැදි වූ මිදුලක් හා ඊට යාබද ව පිහිටි පොදු පහසුකම් සහිත කාමර වලින් වටවූ දෙවන මිදුලක් ද මෙම සැලසුම් වල දක්නට ලැබේ. මෙවැනි නිර්මාණයක් තුළ පුලස්ති හෝ රාවණා ගැන කිසිදු සටහනක් හමු නොවේ.

මැදිරිගිරිය ආරාම සංකීර්ණයේ පිහිටි ආරෝග්‍යශාලාව සම්බන්ධ නීති රීති දක්වන හයවැනි මිහිඳු රජුගේ මැදිරිගිරිය පුවරු ලිපිය මගින් එකල පැවති සෞඛ්‍ය සේවාවේ පරිපාලන ව්‍යුහය කියැවේ. හතරවන දප්පුල රජු විසින් ප්‍රධාන වෛද්‍යවරයෙකු වෙත ගම්වරයක් ප්‍රදානය කිරීම පිළිබඳ ව දැක්වෙන දෙවන දොරබාවිල ටැම් ලිපිය අනුව වෛද්‍යවරුන් වෙත දැක්වූ රාජ්‍යානුග්‍රහය ගැන අදහසක් ලබා ගත හැකිය. සාමාන්‍ය මහජනතාව සහ ආරාමිකයන් සඳහා වන ආරෝග්‍යශාලා වර්ග කිහිපයක් ගැන ඉතිහාස ගත තොරතුරු වලින් සනාථ වේ. බොහෝ සෙයින් ම වංශකථා ගත ව එන තොරතුරු අනුව ජනතාව සඳහා ඉදි කළ ආරෝග්‍යශාලා ගැන ද ශිලා ලේඛන ඇසුරෙන් හෙළි වන තොරතුරු හා නටබුන් අනුව ආරාමිකයන් සඳහා ඉදි කළ ආරෝග්‍යශාලා පිළිබඳ ව ද නිගමන වලට එළඹිය හැකිය. බුද්ධදාස රජු (ක්‍රි.ව. 362-409) ධාතුසේන රජු (ක්‍රි.ව. 460-478) දෙවන උපතිස්ස රජු (ක්‍රි.ව. 522-524) පළමුවන උදය රජ (ක්‍රි.ව. 790-792) යන රජවරුන් ආබාධිත සහ කොර තැනැත්තන් සඳහා වශයෙන් විශේෂ සේවා ආරෝග්‍යශාලා ගණනාවක් ද පැරණි ශ්‍රී ලංකාවෙහි ඉදිකොට තිබිණි. බුද්ධදාස හා දෙවැනි උපතිස්ස යන රජවරුන් අන්ධ තැනැත්තන් සඳහා විශේෂ රෝහල් පිහිටුවා තිබූ අතර මුල්ම මාතෘ නිවාසය ඉදිකරන ලද්දේ දෙවැනි උපතිස්ස රජු විසිනැයි සෙල් ලිපියක සඳහන් වේ. බෝවෙන රෝගීන් වෙනුවෙන් ද වෙනම රෝහල් ඉදිකොට තිබු බව ඉතිහාසය සාක්ෂි දරයි. එසේම බුද්ධදාස රජතුමා ගේ කාලය වන විට සෑම දසගමකට ම වැටුප් ලබන වෛද්‍යවරයෙකු බැගින් පත් කොට තිබිණ. මේ ඉතිහාසයේ පුලස්ති හෝ රාවණ ගැන අකුරක් හෝ සඳහන් නොවේ.

අපේ රටේ ආරෝග්‍යශාලා වල භාවිතා කළ අපූර්ව නිර්මාණයක් වන බෙහෙත් ඔරුව ගැන පුරාවිද්‍යාත්මක සාක්ෂියක් 1886 දී ථූපාරාම විහාර භූමිය තුළින් මුල් වරට සොයා ගත්තේ ඉතිහාසඥ එච්. සී. පී.බෙල් මහතා විසිනි. ආයුර්වේදය අනුව රෝගී පුද්ගලයා ඖෂධීය දියර තුළ බහා ගිල්වා කරන ප්‍රතිකාර විධිය "අවගාහන චිකිත්සාව" ලෙස හැඳින්වේ. පසු කාලයේ දී අනුරාධපුර, මිහින්තලේ, මැදිරිගිරිය, දීඝවාපිය ආදී ස්ථාන වලින් ද නව වන සියවස තරම් ඈත අතීතයකට හිමිකම් කියන බෙහෙත් ඔරු හමුවී තිබේ. වෛද්‍යවරයෙකු ලෙස ප්‍රකට වූ බුද්ධදාස රජු (ක්‍රි.ව. 362-409) විසින් ලියන ලද "සාරාර්ථ සංග්‍රහය" නම් වෛද්‍ය ග්‍රන්ථය සංස්කෘත බසින් රචනා වී තිබේ. ඊට අමතරව හත්වන අග්බෝ, මහා පරාක්‍රමබාහු වැනි රජවරුන්ද වෛද්‍යවරුන් ලෙස සිය සේවය මහජනයාට සපයා තිබේ. ශ්‍රී ලංකාවේ මුල්ම වෛද්‍ය ග්‍රන්ථය වන සාරාර්ථ සංග්‍රහය ආයුර්වේදාවතරණ ප්‍රවෘත්තිය හෙවත් මනුෂ්‍ය ලෝකයට ආයුර්වේදය ලැබුණු ආකාරය විස්තර කරන නමුත් පුලස්ති හෝ රාවණ ගැන කිසිදු සටහනක් නොකරයි. එසේම මහාවංශයේ මහා පරාක්‍රමබාහු රජු ගැන කියැවෙනුයේ “ආයුර්වේදයේ නිපුණ” වෛද්‍යවරයෙකු ලෙය. ආයුබේද යන පාලි වචනය යෙදීමෙන් පැහැදිලි වන්නේ ලක්දිව වෛද්‍ය ක්‍රමය ආයුර්වේදය මත සකස් වූ විධිමත් සම්ප්‍රදායක් බවයි. එය පුලස්ති හෝ රාවණ ගෙන් පැවත එන බවට කිසිදු සාක්ෂියක් නොමැත. සිංහලෙන් ලියැවුණු පළමු වෛද්‍ය ග්‍රන්ථය වන යෝගාර්ණවයේ හෝ පාලියෙන් ලියැවුණු එකම වෛද්‍ය ග්‍රන්ථය වන භේසජ්ජ මංජුසාවේ කුමන හෝ ආකාරයකින් පුලස්ති හෝ රාවණ ගැන සඳහනක් නොමැත.

රාමායණය අනුව ලංකාපුරයේ රාවණ ගේ සීයා පුලස්ති ලෙස සඳහන් වන පුවත හා චරක සංහිතාවේ ආයුර්වේද හිමවත සම්මේලනයට සහභාගී වූ පුලස්ති නම් ඍෂිවරයා ගේ නම එකට සම්බන්ධ කොට ගොතන ලද ප්‍රබන්ධ කතාව නිසා බොහෝ දෙනා සිතන්නේ ලංකාවේ දෙශීය වෛද්‍ය ක්‍රමයේ පියා පුලස්ති බවත් එහි විස්කම් දස්කම් කළ වෛද්‍යවරයා රාවණ බවත් ය. යම් හෙයකින් පුලස්ති හිමාලයේ පැවති ඍෂි සම්මේලනය නියෝජනය කළා නම් ඔහුත් රැගෙන ආවේ ආයුර්වේදය මිස අන් කිසිවක් නොවේ. ඔහු එම සම්මේලනයේ සභාපති වූ බවත් ඔහු ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය අනිත් සියලු ඍෂිවරුන් හට ඉගැන්වූ බවත් කියන්නේ පට්ටපල් බොරු මිස කිසිදු සාක්ෂි සහිත ශාස්ත්‍රීය ප්‍රකාශයක් නොවේ. පුලස්ති හා අගස්ති යනු සිද්ධ වෛද්‍ය ක්‍රමයේ සිද්ධයින් අතරට වැටෙන නම් දෙකකි. අපේ රටේ වෛද්‍ය ක්‍රමයේ උරුමය දකුණු ඉන්දියානු පුලස්ති හට පවරා දීම ද්‍රෝහී කමක් බව නොවැටහෙන මෝඩයින් පුලස්ති කරේ තබා ගෙන වැටේ දුවති. කුමන හෝ වෛද්‍යමය දැනුමක් නොතිබුණු මෙලෝ වෙදකමක් නොකළ රාවණ හට අපේ වෙදකමේ වීරයා ලෙස පෙන්වමින් ක‍රන විගඩම නිසා අපේ සැබෑ ඉතිහාසය වසන් කරන්නට දත කන උන් ද භයානකය. මට නම් පුලස්ති බුද්ධදාස රජුගේ මයිලක් හෝ නොවටියි. රාවණ යනු මහා පරාක්‍රමබාහු රජුගේ පයට පෑගෙන දුහුවිල්ලක් තරම් නොවටියි. මේ නම් දෙකට වඩා අපේ රටේ වෙදකම ඔපවත් කළ මහා වෙදැදුරන් ගේ නම් ඉතා ශ්‍රේෂ්ඨ බව අමතක නොකළ යුතුය. රාවණ ගේ පිළිම වලට වඳින මෝඩයින් සිහියට ගත යුත්තේ බුද්ධදාස රජුගේ පිළිමයක් තනවා ඊට උපහාර කිරීම උතුම් බවයි. අපේ වට්ටෝරු අතර “අගස්ති බුද්ධරාජ” ගුලියක් තිබුණත් “පුලස්ති බුද්ධරාජ” ගුලියක් නැති බව මේ ගොබ්බයින් නොදනී.

වටිකාප්‍රකරණය නමින් හැඳින්වෙන දේශීය ගුලි කල්ක පොත තුළ අපේ රටේ වෛද්‍යවරුන් විසින් නිර්මාණය කළ වට්ටෝරු සිය ගණනක් තිබේ. මෙම ග්‍රන්ථය ද රාවණ ගේ කෘතියක් බව සමහර ගොබ්බ ලේඛකයින් ගේ ලිපි වල සඳහන්ව තිබෙනු දුටුවෙමි. එහෙත් එම වට්ටෝරු බොහොමයක් කෝට්ටේ යුගයෙන් මෙපිට නිර්මාණය වූ ඒවා බව ඒවායේ අන්තර්ගත ද්‍රව්‍ය ගැන සාමාන්‍ය දැනීමක් ඇති වෛද්‍ය සිසුවෙකුට වුව අවබෝධ වේ. එබැවින් අපේ වෙද මහතුන් ගේ පාරම්පරික බුද්ධිමය උරුමය රාවණ හට පාවා දීම අපේ වෙදකමට නිගරුවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. දඹදෙණි යුගයේ දී ලියැවුණු භේසජ්ජ මංජුසාව නම් පාලි වෙද පොත තුළ ඒ කාලය වන විට හෝ ඊට පෙර කාලයේ පැවති වෙද පොත් 60 ක පමණ නම් සඳහන් වේ. එහෙත් ඒ අතර රාවණ ලියූ වෙදපොත් ගැන හෝ එබඳු නමක් හෝ සඳහන් නොවේ. එසේම යෝගාර්ණවය, වරයෝගසාරය, ප්‍රයෝගරත්නාවලිය වැනි වෙද පොත් වල පවා දේශීය වෛද්‍ය ක්‍රමය බිහි කළේ පුලස්ති විසින් බවට වන සඳහනක් නොවේ. ඔහු විසින් නිපදවන ලද හෝ හෙළි කරන ලද කිසිදු වට්ටෝරුවක් නොමැත. එසේම රාවණා විසින් සොයා ගන්නා ලද කිසිදු ඖෂධ වට්ටෝරුවක් හෝ ඔහුගේ නමින් නම් කළ වට්ටෝරුවක් නොමැත. එසේ නම් රාවණ නමින් වෛද්‍ය විශාරදයෙකු මවා ඔහු ගේ නම අපේ වෙදකම තුළට රිංගවීමට මාන බලන්නේ ජාවාරම්කාර යූටියුබ් කරුවන් මිස වෙනත් ශාස්ත්‍රීය දැනුමක් ඇති විද්වතුන් නොවේ. ඉන්දියාවේ රාවණ සංහිතා නමින් මෑත කාලයේ දී ලියන ලද පොත් කිහිපයක් තිබේ. ඒවා සියල්ලම මෑත යුගයේ සංස්කෘත බසින් ලියූ ග්‍රන්ථ වන අතර කිසිම ආකාරයකින් ඒවා රාවණ සිටි බව කියන යුගයේ ඉතිහාසය හා සමපාත නොවේ.

රාවණ විසින් ලියූ බව කියන වෙදපොත් ගැන බොරුව නිර්මාණය කරන්නේ ද ඉන්දියානුවන් විසින් මය. රාමායණය අනුව ලක්ෂමණ ගේ දිවි බේරා ගන්නේ සුෂේණ විසින්ය. එහෙත් රාවණ ගේ හෝ ඔහු ගේ සෙන්පතියන් ගේ දිවි බේරාගන්නට සමත් වෛද්‍යවරයෙක් රාවණ ගේ හමුදාවේ නොසිටීම ලැජ්ජාවට කරුණකි. මහා වෛද්‍ය ඥානයකින් හෙබි රාවණ කළ කිසිදු වෙදකමක් ගැන රාමායණයේ ද සඳහනක් නොමැත. මේ සියල්ල ඉන්දියානු ප්‍රබන්ධයේ එල්ලී සිටින අපේ මෝඩයින් ගේ හිතළු කතා මිස සත්‍යය නොවේ. පසු කාලයේ කිරිඇල්ලේ ඥානවිමල හාමුදුරුවන් වැනි සමහර පඬිවරුන් අපේ වෙදකමට යම් අනන්‍යතාවක් ලබා දීමේ අටියෙන් රාවණ නම ඊට එල්ලා කළ හානිය සුළුපටු නොවේ. අර්ක ප්‍රකාශය නම් ග්‍රන්ථය තුළ තිබෙන ඖෂධ නිස්සාරණය කරන ආසවන ක්‍රමය ක්‍රිස්තු පූර්ව යුගයේ හෝ පසු කාලයක අපේ රටේ කිසිදු මූලාශ්‍රයක සඳහන් නොවේ. එය අපේ රටට තුළ භාවිතා වූයේ රසවෛද්‍ය ක්‍රමය හා සමගාමීව මෑත කාලීන ඉතිහාසය තුළය. එසේම ඉතා ඉහළින් කතා කරන නාඩි පරීක්ෂාව ගැන රාවණ විසින් ලියූ බව කියන නාඩි ප්‍රකාශ නම් ග්‍රන්ථය ද මෑත කාලීන කෘතියකි. එය පැරැණි වුවත් එහි ඇත්තේ ආයුර්වේද ක්‍රමය මිස අපේ රටට පමණක් ආවේණික ක්‍රමයක් නොවේ. අපේ රටේ නාඩි පරීක්ෂාව ගැන මුලින්ම සඳහන් වන්නේ කෝට්ටේ යුගයේ ලියැවුණු සිංහල යෝගරත්නාකරය නම් ග්‍රන්ථයේ වේ. අනුරාධපුර යුගයේ සිට නිරන්තරයෙන් එල්ල වූ චෝල, පාණ්ඩ වැනි දකුණු ඉන්දියානු බලපෑම් ඔස්සේ වර්ධනය වූ ද්‍රවිඩ සම්ප්‍රදායේ සෙවනැලි විසින් මෙහෙයවන මෙවැනි මිථ්‍යාවන් නිසා අපේ සැබෑ ඉතිහාසය වසන් කරන්නට ඉඩ නොතබමු.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

(මේ ලිපිය කියවා මට නින්දා අවමන් කිරීමෙන් හෝ බැන වැදීමෙන් පලක් නොවේ. හැකිනම් පුලස්ති හෝ රාවණ ගැන යම් සාක්ෂියක් අපේ වෛද්‍ය ග්‍රන්ථ වලින් හෝ පුස්කොළ පොතකින් හෝ උපුටා දක්වන්න.)

 





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'