Logo
2020 දෙසැම්බර් මස 4 වැනි සිකුරාදා

ලෝක උරුම හෝර්ටන් තැන්න වැනසීමට අලූත් මඟක්

සජීව චාමිකර


මෙරට රක්ෂිත ප‍්‍රදේශ වාණිජ පරමාර්ථ මත භාවිතයට ගැනීමට නොහැකි සංකීර්ණ නීති පද්ධතියක් යටතේ පාලනය වීම හේතුවෙන් එම රක්ෂිත ප‍්‍රදේශ භාවිත කර ආදායම් ඉපයිය නොහැකි බව ලෝක බැංකුව දිගින් දිගට ම ලංකා රජයට අවධාරණය කරමින් සිටී. ඔවුන් පවසන්නේ අප රටේ රක්ෂිත ප‍්‍රදේශ පාලනය වන සංකීර්ණ නීති පද්ධතිය ලිහිල්ක රණයට ලක් කර රක්ෂිත ප‍්‍රදේශ තුළ සංචාරක ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට වැඩි අවධානයක් ලබා දිය යුතු බව ය. එම තත්ත්වය සනාථ කිරීමට වැදගත් වන ප‍්‍රධාන ලේඛනය වන්නේ පරිසර පද්ධති කළමනාකරණයට අදාළ ව ලෝක බැංකුව මගින් 2016 වර්ෂයේ දී සකස් කළ Ecosystem Conservation and Management Project - ESCAMP නම් වාර්තාව ය. එම වාර්තාව පදනම් කර ගත් ණය ආධාර ව්‍යාපෘතිය යටතේ සිංහරාජ ජාතික උරුම වන භූමිය, නකල්ස් සංරක්ෂණ වනාන්තරය, කන්නෙළිය වන රක්ෂිතය ඇතුළු වනාන්තර ප‍්‍රධාන කර ගෙන මේ වන විට සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහන් මේ වන විට කි‍්‍රයාත්මක වේ. ඒ යටතේ නව සංචාරක පිවිසුම් මාර්ග ඇති කිරීම, දැනට පවතින මාර්ග සංවර්ධනය කිරීම හා සංචාරකයන් සඳහා යටිතල පහසුකම් වර්ධනය කිරීම සිදු කරමින් පවතී. එම ව්‍යාපෘතියේ ප‍්‍රධාන අරමුණු වන්නේ භූ දර්ශන සැළැසුම් හා කළමනාකරණය කිරීම සහ ස්වාභාවික සම්පත් තිරසර ලෙස භාවිත කිරීම හා අලි-මිනිස් සහජීවනය ඇති කිරීම යි. මෙම අරමුණු කෙසේ වුව ද යටි අරමුණ වන්නේ මෙරට රක්ෂිත ප‍්‍රදේශ තුළ මහ පරිමාණ සංචාරක ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම බව අදාළ වාර්තාවෙන් පැහැදිලි වේ.

ලෝක බැංකුව මගින් සකස් කර ඇති වාර්තාවේ සංචාරක කර්මාන්තය කි‍්‍රයාත්මක කිරීම හේතුවෙන් යාල, හෝර්ටන් තැන්න වැනි ජාතික වනෝද්‍යානවල ජෛව ප‍්‍රජාවට තර්ජන එල්ල වී ඇති ආකාරය විස්තර කර ඇති අතර ඒ හේතුවෙන් නිවැරදි දැරුම් සීමාවන් අධ්‍යයනය කර ඒ අනුව සංචාරකයන් ජාතික වනෝද්‍යාන තුළට ඇතුළු කිරීමේ ක‍්‍රමවේදයක් සකස් කළ යුතු බව සඳහන් කර ඇත. එසේ තිබිය දී අද වන විට උත්සහ දරන්නේ පැමිණෙන සංචාරකයන් තවදුරටත් වැඩි කිරීම සඳහා කි‍්‍රයාමාර්ග ගැනීමට ය. ඒ සඳහා හොඳම උදාහරණය සපයන්නේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයයේ නව මාර්ග සංවර්ධන ව්‍යාපෘතියෙනි.

ඉඹුල්පේ ප‍්‍රාදේශීය සභාවේ සභාපති ශී‍්‍ර ලාල් සෙනරත් මහතාගේ යෝජනාවක් අනුව යැයි සඳහන් කරමින් බලංගොඩ නන්පේරියල් වත්ත හරහා විශේෂ පරිසර හිතකාමී මාර්ගයක් හෝර්ටන් තැන්න දක්වා පිවිසීමට අලූතින් විවෘත කිරීමට සූදානම් වේ. මෙම මාර්ගය නැග්රැක් දක්වා වාහනයකින් පිවිසිය හැකි පරිදි සකස් කර එතැන් සිට පා ගමනින් හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය තුළ පිහිටි ලෝකාන්තය දක්වා පිවිසීමට හැකි වන පරිදි සකස් කිරීමට සූදානම් වේ. එය සාධාරනීකරණය කිරීම සඳහා මෙම මාර්ගය ඉංගී‍්‍රසි ජාතික වතු පාලකයකු වන හෝර්ටන් තැන්නේ අලි-ඇතුන් ඝාතනය කිරීමට දායකත්වය ලබා දුන් සැමුවෙල් බේකර්ස් විසින් භාවිත කළ මාර්ගය බව ද සඳහන් කරයි.

දැනට හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට පිවිසීමට පට්ටිපොළ හා ඔහිය ප‍්‍රදේශවල සිට මාර්ග දෙකක් ඇති අතර සති අන්ත දිනවල දී හා රජයේ ප‍්‍රසිද්ධ නිවාඩු දිනවල දී සංචාරකයන් විශාල පිරිසක් හෝර්ටන් තැන්නට පැමිණේ. මේ නිසා එහි පරිසර පද්ධතිවලට හා අධික ලෙස වාහන පැමිණීම හේතුවෙන් වායුගෝලයේ ගුණාත්මක තත්ත්වයට බලපෑම් එල්ල වෙමින් පවතී. ඒ තත්ත්වය පාලනය කර හෝර්ටන් තැන්නේ ජෛව ප‍්‍රජාවගේ හා පරිසර පද්ධතිවල පැවැත්ම තහවුරු කිරීමට කි‍්‍රයාමාර්ග ගැනීම වෙනුවට හෝර්ටන් තැන්නට පැමිණෙන සංචාරකයන් ප‍්‍රමාණය වර්ධනය කිරීමට ව්‍යාපෘති සකස් කිරීම ගැටළු සහගත ය. මෙවන් තීරණ ගැනීමට හා කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථම හෝර්ටන් තැන්නේ ඇති වටිනාකම් නිවැරදි ව අවබෝධ කර ගත යුතු ය.

 

හෝර්ටන් තැන්නේ පිහිටීම

ශ‍්‍රී පාද අඩවියේෙ නැඟෙනහිර කෙළවරේ පිහිටි හෝර්ටන් තැන්න උස් තැනිතලාවන් ගෙන් හා හුදෙකලා කඳුවැටිවලින් සමන්විත සුවිශේෂී භූමියකි. උතුරින් වැලිමඩ සානුවෙන් ද, ගිණිකොනින් කොස්ලන්ද සානුවෙන් ද, නිරිත දිගින් මහවෙළතැන්න සානුව හෙවත් බලංගොඩ සානුවෙන් ද වෙන් වූ මධ්‍ය කඳුකරයේ නැඟෙනහිර කෙළවරේ මේ සුවිශේෂී ප‍්‍රදේශය පිහිටා තිබේ. මෙලෙස හුදෙකලා වූ මධ්‍ය කඳුකරයේ පිහිටි හෝර්ටන් තැන්න ඊට ම ආවේණික ජෛව ප‍්‍රජාවක් දරා සිටින පරිසර පද්ධති සංකීර්ණයකි.

අතීතයේ දී මහඑළිය තැන්න හා ගෝනතැන්න ලෙස හැඳින් වූ මේ ප‍්‍රදේශය අද හඳුන්වන්නේ හෝර්ටන් තැන්න නමිනි. යටත් විජිත යුගයේ වර්ෂ 1831 සිට 1837 දක්වා කාලය තුළ ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ බි‍්‍රතාන්‍ය ජාතික ශ‍්‍රීමත් රොබට් විල්මට් හෝර්ටන් නමින් මේ ප‍්‍රදේශය හෝර්ටන් තැන්න ලෙස නම් කර තිබේ. එතැන් සිට බොහෝ දෙනෙක් මහඑළිය තැන්න හා ගෝන තැන්න වෙනුවට හෝර්ටන් තැන්න ලෙස හැඳින්වීම සිදු කරති.

 

හෝර්ටන් තැන්නේ ආදි ජනාවාස

හෝර්ටන් තැන්න මෙරට ආදි මානවයන් ගේ නිජබිමකි. අදින් වසර 18,000 ත් 24,000 ත් අතර කාල වකවානුවේ දී අවසන් ග්ලැසියර අවදියේ දී ප්ලයිස්ටොසීන හා මුල් හොලෝසීන අවධියේ දී මෙම ප‍්‍රදේශය ජනාවාස ව පැවති බවත් එම ආදි මානවයා දඩයමින් හා ගොවිතැනෙන් ජීවත් වන්නට ඇති බවත් ආචාර්ය රත්නසිරි පේ‍්‍රමතිලක මහතාගේ පර්යේෂණ වලින් තහවුරු වී තිබේ. පාංශු ස්ථර මත තැම්පත් වී ඇති ශාක පරාග ඇසුරින් සිදු කරන ලද පර්යේෂණ මගින් සනාථ වී ඇත්තේ මීට වසර 13,000 කට ප‍්‍රථම හෝර්ටන් තැන්නේ ජීවත් වූ ආදි මානවයන් ඕට් හා බාර්ලි ගොවිතැන සිදු කර ඇති බව ය.

හෝර්ටන් තැන්න බි‍්‍රතාන්‍ය යටත් විජිත යුගයේ දී දඩ කෙළි බිමක් ලෙස භාවිත වී ඇත. අලි - ඇතුන් හා ගෝනුන් දඩයම් කරමින් බි‍්‍රතාන්‍ය ජාතිකයන් ගේ ම්ලේච්ඡ වීරත්වය ප‍්‍රදර්ශනය කිරීමට මේ ප‍්‍රදේශය භාවිතයට ගැනිණ. එහි ප‍්‍රතිඵලයක් ලෙස විසිවන සියවසේ මුල් භාගය වන විට හෝර්ටන් තැන්නේ සියලූම අලි - ඇතුන් වෙඩි තබා මරා දැමීමටත්, ගෝනුන් අති බහුතරයක් මරා දැමීමටත් බි‍්‍රතාන්‍යයන්ට හැකි විය. හෝර්ටන් තැන්න වටා පිහිටි තේ වතු වල පාලකයන් ලෙස කටයුතු කළ බොහෝ බි‍්‍රතාන්‍ය ජාතිකයන්ගේ දඩ බිමක් බවට පත් ව තිබූ අතර ඔවුන්ගේ නම් වලින් හෝර්ටන් තැන්නේ දිය ඇලි හා නවාතැන්පොලවල් නම් කර ඇත. ඒ අතුරින් ප‍්‍රධාන වන්නේ 1850 දී ප‍්‍රසිද්ධ දඩයක්කරුවකු ලෙස සැලකෙන සැමුවෙල් බේකර්ස්, 1900 පෙර තේ වතු පාලකයන් ලෙස කටයුතු කළ තෝර්මස් ෆා සහ එච්. ඇන්ඩර්සන් වැනි අය ය.

වර්ෂ 1960 දී හෝර්ටන් තැන්නේ සමහර ප‍්‍රදේශ එළි පෙහෙළි කර අර්තාපල් වගාව සිදු කර තිබේ. මේ හේතුවෙන් සිදු වූ පාරිසරික හානිකර තත්ත්වය අවබෝධ කරගත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව 1969 දෙසැම්බර් 05 වන දින අංක 14883 දරන ගැසට් නිවේදනය මඟින් හෝර්ටන් තැන්න ස්වභාව රක්ෂිතයක් ලෙස නම් කළේ ය. පසුව 1988 මාර්තු 16 වන දින අංක 497/10 දරන ගැසට් නිවේදනය මඟින් හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයක් ලෙස මෙම පනතේ 2(1 වගන්තියට අනුව ප‍්‍රකාශයට පත් කෙරින. එසේ ප‍්‍රකාශයට පත් කළ මුළු භූමි ප‍්‍රමාණය හෙක්ටයාර 3159.8 කි. මේ ප‍්‍රදේශය නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ මීටර 1800 සිට 2395 දක්වා වූ උච්චත්ව පරාසය තුළ ව්‍යාප්ත ව ඇත.

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය තුළ ලංකාවේ උසින් දෙවන හා තෙවන ස්ථාන හිමි කඳුවැටි පිහිටා තිබේ. හෝර්ටන් තැන්නේ බටහිර මායිමේ උසින් දෙවන කන්ද වන කිරිගල්පොත්ත පිහිටා ඇත. මෙහි උස මීටර් 2395 කි. උතුරු මායිමේ උසින් තෙවන ස්ථානය හිමි තොටපල කන්ද පිහිටා තිබේ. එහි උස මීටර් 2357 කි. දකුණු මායිම වන්නේ බලංගොඩ සානුව යි. මීටර් 277 කින් යුත් කුඩා ලෝකාන්තය හා මීටර් 884 කින් යුත් මහ ලෝකාන්තය වනෝද්‍යානයේ දකුණු මායිම ලෙස පිහිටා තිබේ.

අද වන විට හෝර්ටන් තැන්නේ පාරිසරික, ජෛව විද්‍යාත්මක, භූ විද්‍යාත්මක, ජල විද්‍යාත්මක හා පුරා පාරිසරික වටිනාකම අන්තර්ජාතික වශයෙන් ද අවධානයට ලක් වී ඇත. එබැවින් 2010 ජූලි 30 වන දින හෝර්ටන් තැන්න ඇතුළත් මධ්‍ය කඳුකරය ලංකාවේ දෙවන ස්වාභාවික ලෝක උරුම ප‍්‍රදේශය ලෙස යුනෙස්කෝ සංවිධානය (UNESCO - United Nations Educational, Scientific and Cultural Organization) මඟින් ප‍්‍රකාශයට පත් කර තිබේ.

 

හෝර්ටන් තැන්නෙන් පෝෂණය වන ගංඟා

ඉතා වැදගත් දියබෙත්ම කලාපයක් වන හෝර්ටන් තැන්නෙන් ලංකාවේ දිග ම ගංඟාව වන මහවැලි ගඟ ආරම්භ වේ. මීට අමතර ව කැලණි හා වලවේ ගංඟාවල ජල ද්‍රෝණියක් ලෙස ද ක‍්‍රියා කරයි. තොටපල කන්දේ උතුරු බෑවුමෙන් ගලා යන ජල ධාරා දඹගස්තලාව ඔය ඔස්සේ මහවැලි ගඟට එක් වේ. එහි දකුණු බෑවුමෙන් ගලා බසිනා ජල ධාරා බෙලිහුල්ඔය ඔස්සේ වලවේ ගඟට එක් වේ. බෙලිහුල් ඔයේ ආරම්භක දියදහරාවන් එක් වී තැනෙන බේකර්ස් ඇල්ල හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ඉතා ම ප‍්‍රසිද්ධ මීටර 20 ක් පමණ උස දිය ඇල්ලකි. මෙය හෝර්ටන් තැන්නේ අලි-ඇතුන් හා ගෝනුන් දඩයම් කළ ඉංගි‍්‍රසි ජාතික දඩයක්කරුවකු වන සැමුවෙල් බේකර් නමින් නම් කර ඇත. කිරිගල්පොත්තේ උතුරු බෑවුමෙන් ගලායන ජල ධාරා අග‍්‍රා ඔය ඔස්සේ මහවැලි ගඟටත්, නිරිත දිග බෑවුමෙන් ගලායන ජල ධාරා බගවන්තලාව ඔය ඔස්සේ කැලණි ගඟටත් ගලා බසී. මේ හේතුවෙන් හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය ඉතා වටිනා ජල පෝෂක ප‍්‍රදේශයක් බව පැහැදිලි වේ.

 

හෝර්ටන් තැන්නට ආවේණික දේශගුණය

කඳුකර තෙත් කලාපයේ පිහිටි හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට නිරිත දිග මෝසමෙන් වැඩි වර්ෂාපතනයක් ලැබේ. මෙහි මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 2150 ක් පමණ වේ. හෝර්ටන් තැන්නේ පරිසර උෂ්ණත්වය විශාල පරාසයක උච්ඡාවචනය වේ. සමහර කාලවල දී දහවල් කාලයේ පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 ක් පමණ වන අතර, ජනවාරි හා පෙබරවාරි මාසවල දී රාත‍්‍රී කාලයේ පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 2 ක් දක්වා පහත බසී. මේ කාලයට මල් තුහින දැක ගත හැකි ය. මෙහි මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 15 ක් පමණ වේ. වසරේ බොහෝ කාලයක් මේ වනාන්තර මීදුමින් වැසී පවතී. මේ නිසා මේවා වලාකුළු වනාන්තර ලෙස සැලකේ. මෙහි පරිසර ආර්ද්‍රතාව 98% ක් පමණ වේ. පොදුවේ ගත් කල හෝර්ටන් තැන්නේ වියළි කාලගුණයක් පවතින්නේ ජනවාරි සිට මාර්තු දක්වා මාසවල පමණි. ඒ කාලයට දහවල උෂ්ණත්වය ඉහළ යන අතර, රාතී‍්‍ර කාලයට උෂ්ණත්වය ඉතා පහළ බසී. මේ කාලයට වර්ෂාපතනය අඩු ය. පරිසර ආර්ද්‍රතාවය ද අඩු මට්ටමක පවතී. මේ නිසා හෝර්ටන් තැන්නේ වාර්තා වන බොහෝ ජීවී විශේෂ ශීත දේශගුණයට හොඳින් අනුවර්තනය වූ විශේෂ වෙති.

 

වෘක්ෂලතාදී දර්ශ හා ශාක විවිධත්වය

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ වෘක්ෂලතාදී දර්ශ කිහිපයක් ම දැක ගත හැකි ය. මේ අතුරෙන් ප‍්‍රධාන වන්නේ ජාතික වනෝද්‍යානයේ හෙක්ටයාර 2192 ක් පුරා ව්‍යාප්ත ව ඇති වලාකුළු වනාන්තර ය. මේවා වෘක්ෂලතාදී දර්ශ නාමකරණයට අනුව තෙත් කලාපීය කඳුරට වන බිම්වලට අයත් නුවරඑළිය වනබිම් ලෙස වර්ග කර තිබේ.

වලාකුළු වනාන්තරයේ මීටර 15 ත් 20 ත් අතර උසින් යුත් වියන් ස්ථරයේ ශාක දැක ගත හැකි ය. මෙහි ප‍්‍රමුඛ ලෙස කීන (Calophyllum walkeri), වන සපු (Michelia nilagirica), දඹ (Syzygium rotundifolium, Syzygium revolutum), වෙරළු කුලයට අයත් Elaeocarpus montanus, Elaeocarpus glandulifer, Elaeocarpus coriaceous ශාක විශේෂ, කුරුඳු කුලයට අයත් වල් කුරුඳු (Cinnamomum ovalifolium) සහ Litsea ovalifolia වැනි ශාක විශේෂ වාර්තා වෙයි. මීට අමතර ව ලංකාවට ආවේණික දවුල් කුරුඳු (Neolitsea fuscata), රතු මිහිරිය (Adinandra lasiopetala), පොල්කටු ගස් (Actinodathne speciosa) වැනි විශේෂ වාර්තා වේ. මෙහි ඝන යටි වගාවක් ලෙස නෙළු ශාක (Strobilanthes spp.) දැක ගත හැකි ය. හෝර්ටන් තැන්නේ Acanthaceae කුලයට අයත් නෙළු ශාක විශේෂ 18 ක් පමණ වාර්තා වීම විශේෂත්වයකි.

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ හෙක්ටයාර 574 ක් පුරා ව්‍යාප්ත ව ඇත්තේ තෘණබිම් ය. තෘණබිම් ආකාර දෙකකින් දැක ගත හැකි ය. උසට වැඩෙන තෘණ ශාක සහිත තෘණබිම් හා වැතිරී වැටෙන තෘණ ශාක සහිත බිම් වශයෙනි. උසින් වැඩෙන තෘණබිම්වල ප‍්‍රමුඛ තෘණ ශාක ලෙස ගවර තණ (Chrysopogon zeylanicus) දැක ගත හැකි ය. තරමක් වියළි ප‍්‍රදේශවල මේ විශේෂය වාර්තා වේ. තෘණ බිම්වල දිය පහරවල් ආශ‍්‍රිත ව Garnotia exaristata තෘණ විශේෂය බහුල ව දැක ගත හැකි ය.

තෘණ භූමිවල තැනින් තැන ඉතා අලංකාරවත් රත් පැහැ මල් දරන ලංකාවට ආවේණික උප විශේෂයකට අයත් මහ රත්මල් (Rohododendron arboreum zeylanicum) ශාකය දැක ගත හැකි ය. දහතුන්වන සියවසේ දී ලෝකයේ බොහෝ රටවල සංචාරයේ නිරත වූ මොරොක්කෝ ජාතික දේශ ගවේෂකයකු වන ඉබන් බතුතා (වර්ෂ 1304 - 1368 දක්වා ජීවත් වූ) ලංකාවේ සංචාරය කර ලෝකයේ මල් අතර රැජිණ ලෙස හඳුන්වා ඇත්තේ ද මහ රත්මල් ශාක යයි. මෙය හෝර්ටන් තැන්නට අපූර්ව අලංකාරයක් එක් කරන ප‍්‍රධාන ශාකයකි. මේ තෘණ බිම් ආශ‍්‍රිත ව කුඩා සපුෂ්ප ශාක විශේෂ බොහොමයක් වාර්තා වේ. ඒ අතර වල් කපුරු (Gaultheria rudis), බෝවිටියා (Osbeckia wightiana), සුදු බිනර (Exacum walkeri), නිල් බිනර (Exacum trinervium), මහ සුදනා (Anaphalis brevifolius) වැනි ශාක වෙයි.

හෝර්ටන් තැන්නේ අර්තාපල් වගා කර අතහැර දැමූ ප‍්‍රදේශවල වැතිරී වැඩෙන හඳුන්වාදුන් ආගන්තුක තෘණ ශාකයක් වන Carpet grass (Axonotus fissifolius) විශේෂය දැක ගත හැකි ය. මේ තෘණ බිම් වනෝද්‍යානයේ හෙක්ටයාර 64 ක පමණ ව්‍යාප්ත ව ඇත.

තෘණබිම් හා වලාකුළු වනාන්තර අතර කොටසෙහි පඳුරුමය ශාකවලින් සමන්විත වෘක්ෂලතා දී කලාපයක් දැක ගත හැකි ය. මේ කලාපයේ පඳුරු ශාක ලෙස බෝවිටියා (Osbeckia aspera), දාරුහරිද්‍රා (Berberis aristata). සීතා පේර (Rhodomyrtum tomentosa), Eupatorium inulifolium, Euphorbia rothiana) වැනි ශාක දැක ගත හැකි ය. මේ ශාක තීරය හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ හෙක්ටයාර 45 ක් පුරා ව්‍යාප්ත ව තිබේ.

හෝර්ටන් තැන්නට ආවේණික සුවිශේෂී වනාන්තර දර්ශයක් වන්නේ කුරු උණ ශාකයෙන් සමන්විත වෘක්ෂලතාදී දර්ශයයි. මෙය තෘණ භූමි ලෙස ඈතට දිස් වේ. මෙහි දැක ගත හැක්කේ හෝර්ටන් තැන්නට ආවේණික කුරු උණ (Sinarundinaria densifolia) ශාකයයි. මේ ශාකය දිය දහරාවන් ආශ‍්‍රිත ප‍්‍රදේශවල ඝන ඇතිරිල්ලක් ලෙස ව්‍යාප්ත ව ඇත. මේ වෘක්ෂලතා කලාපය හෝර්ටන් තැන්නේ හෙක්ටයාර 168 ක් පුරා ව්‍යාප්ත ව ඇත.

හෝර්ටන් තැන්නේ නොයිඳුල් දිය පහරවල හා ඒ ආශ‍්‍රිත ව ජලජ ශාක බොහොමයක් දැක ගත හැකි ය. කෙකටිය (Aponogeton jacobsenii) ශාකය බොහෝ දිය පහරවල බහුල වේ. දිය පහරවල් ආශ‍්‍රිත ව කුඩා සපුෂ්ප ශාක වන කොක් මොට (Eriocaulon spp.), කෘමි භක්ෂක ශාක වන අඩසදැස්ස (Drosera peltata), වටැස්ස (Drosera burmannii) වැනි ශාක දැක ගත හැකි ය.

දැනට සිදු කර ඇති අධ්‍යයනවලට අනුව හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ සපුෂ්ප ශාක විශේෂ 188 ක් පමණ හඳුනා ගෙන ඇති අතර, ඉන් විශේෂ 63 ක් ලංකාවට ආවේණික වෙයි. එහි ආවේණිකතා ප‍්‍රතිශතය 34% ක් පමණ වේ.

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ වාර්තා වන, මීවන ශාක විශේෂ ගණන 32 ක් පමණ වේ. ඉන් විශේෂ 5 ක් ලංකාවට ආවේණික වන අතර, විශේෂ 07 ක් ඉතා දුර්ලභ විශේෂ වෙයි. වාර්තා වන මීවන ශාක විශේෂ අතුරෙන් 08 ක් ආශ‍්‍රිත මීවන ශාක වන අතර ඉතිරි බහුතරය සත්‍ය මීවන ශාක විශේෂ වෙති. සත්‍ය මීවන ශාක විශේෂ අතර, විශාල ව වැඩෙන ගිණිහොට (Cyathea crinita), Cyathea walkerae දුර්ලභ හා ආවේණික මීවන ශාක වන Grammitis zeylanica, Ctenopteris epaleata හා Xiphoptleris cornigera විශේෂ වෙයි. ආශ‍්‍රිත මීවන ශාක අතුරෙන් ආවේණික හා දුර්ලභ ශාක ලෙස Huperzia ceylanica හා Osmunda collina වැනි විශේෂ වෙයි. දුර්ලභ ආශ‍්‍රිත මීවන ශාක ලෙස කුඩා හැඩයා හා මහ හැඩයා ශාකවලට රූපීයව සමාන Huperzia hamiltonii, Huperzia subulifolia සහ බඩල්වනස්ස ශාක වන Lycopodium japonicum, Lycopodium wightamum හා Lycopodiella caroliniana විශේෂ වෙයි. මේ ශාක දිය දහරාවන් ආශ‍්‍රිත ව හා තෙත් තෘණ බිම්වල දැක ගත හැකි ය.

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ උඩවැඩියා විශේෂ 40 ක් පමණ වාර්තා වේ. ඒ අතුරෙන් විශේෂ 13 ක් ලංකාවට ආවේණික වෙයි. මෙහි වාර්තාවන උඩවැඩියා විශේෂ අතුරින් 26 ක් අපිශාකීය උඩවැඩියා වන අතර, විශේෂ 14 ක් භෞමක උඩවැඩියා වෙති. අපිශාකීය උඩවැඩියා විශේෂ අතර Bulbophyllum wightii, Coelogyne odoratissima, Dendrobium diodon, Eria bicolor වැනි විශේෂ වලාකුළු වනාන්තරවල ශාක කඳන් මත වැඩෙන අලංකාරවත් මල් දරන ශාක වෙයි. භෞමික උඩවැඩියා විශේෂ අතර නගා මැරූ අල (Ipsea speciosa), තාරකා උඩවැඩියා (Phaius wallichii), Clanthe syvatca වැනි විශේෂ තරමක් සෙවණ සහිත තෙත් භෞමක පරිසරවල හමු වේ. භෞමික උඩවැඩියා ශාකයක් වන Satyrium nepalense වැනි ශාක තෘණ භූමි ආශි‍්‍රත ව දැක ගත හැකි ය.

 

ක්ෂීරපායී විවිධත්වය

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ක්ෂීරපායී සත්ත්ව විශේෂ 27 ක් වාර්තා වේ. ඒ අතුරෙන් විශේෂ 07 ක් ලංකාවට ආවේණික විශේෂ වෙයි. හෝර්ටන් තැන්නේ ක්ෂීරපායී සතුන් අතරින් බොහෝ දෙනා ගේ වැඩි අවදානයට ලක් වන්නේ ගෝනුන් (Cervus unicolor) ය. දහවල් කාලයේ දී කඳුකර වනාන්තර තුළ සැඟවී සිටින ගෝන්නු සවස් කාලයේ දී සිය ගණනින් යුත් රංචු වශයෙන් තණ උලා කෑම සඳහා හෝර්ටන් තැන්න පුරා ව්‍යාප්ත ව ඇති තෙත් පතන තෘණ භූමි වෙත පැමිණෙති. මෙය ඉතා සිත්ගන්නා සුලූ දර්ශනයකි. මීට අමතර ව ප‍්‍රමාණයෙන් විශාල ක්ෂීරපායින් ලෙස දැක ගත හැකි වන්නේ කොටියා (Panthera pardus kotiya), වල් ඌරා (Sus scrofa), ඕලූ මුවා හෙවත් වැලි මුවා (Muntiacus muntjak), වළස් වඳුරා (Semnopithecus vetulus), අඳුන් දිවියා (Prionalurus viierrinus) වැනි ක්ෂිරපායීන් ය.

කඳුකර වනාන්තර ආශ‍්‍රිත ප‍්‍රදේශයේ මහ කැලෑ ලේනා (Funambulus layardi), දඩු ලේනා (Ratufa macroura) හා පඳුරු ආශ‍්‍රිත ව බටු ලේනා (Funambulus sublinieatus) දැක ගත හැකි ය. ලංකාවට ආවේණික ඉතා ම දුර්ලභ කඳුකර උණහපුළුවා ලෙස හඳුන්වන උප විශේෂය (Loris tardigradus nycticeboides) හෝර්ටන් තැන්න ජාතික වනය තුළ ජීවත් වේ. හෝර්ටන් තැන්නේ දිය දහරාවන් හා කුඩා දිය පොකුණු ආශ‍්‍රිත ව දිය බල්ලා (Lutra lutra) දැක ගත හැකි ය. ලංකාවට ආවේණික ක්ෂීරපායීන් ලෙස කෙලාට් ගේ හික්මීයා (Feroculus feroculus), රන් හෝතබුවා (Paradoxurus zeylonersis), ලංකා කඳුකර මීයා (Srilankamys ohiensis), ලංකා නෙළු මීයා (Suncus montanus), ලංකා කටු මීයා (Mus mayori), රිලවා (Macaca sinica opisthomelas) හා වලස් වඳුරා (Semnopithecus vetulus monticola) යන ක්ෂීරපායීහු හෝර්ටන් තැන්න ජාතික වනය තුළ ජීවත් වෙති.

 

උභයජීවී විවිධත්වය

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ උභයජීවී විශේෂ 20 ක් වාර්තා වන අතර, ඉන් විශේෂ 19 ක් ලංකාවට ආවේණික වේ. හෝර්ටන් තැන්නේ පඳුරු ආශ‍්‍රිත ව ජීවත්වන පඳුරු මැඩියන් ගේ විවිධත්වය ඉතා අධික ය.

හෝර්ටන් තැන්නට පමණක් ආවේණික උභයජීවී විශේෂ ද සිටියි. මහඑළිය පඳුරු මැඩියා (Pseudophilautus alto) හෝර්ටන් තැන්නට ආවේණික විශේෂයකි. මීට අමතර ව හෝර්ටන් තැන්නේ ෆ්රැන්කර්බර්ග් ගේ පඳුරු මැඩියා (Pseudophilautus frankenbergi) වාර්තා වන අනෙක් කඳුවැටිය වන්නේ නමුණුකුල කඳුවැටියයි. එබැවින් මේ විශේෂය හොර්ටන් තැන්නට හා නමුණුකුල කඳුවැටියට ආවේණික වේ.

හෝර්ටන් තැන්නේ දියකඩිතිවල හා ඒ ආශ‍්‍රිත ව ලංකාවට ආවේණික ලංකා මුව පටු මැඩියා (Microhyla zeylanica), ලංකා කඳුකර මැඩියා (Fejervarya greenii), තබවන් දිය මැඩියා (Indosylvirana temporalis), කීර්තිසිංහගේ මැඩියා (Fejervarya kirtisinghei), දුඹුරු හිරි දණ්ඩියා (Ichthyophis orthoplicatus) වැනි විශේෂ දැක ගත හැකි ය.

මීට අමතර ව ලංකාවට ආවේණික පාර්කර් ගේ මොට හොඹු මැඩියා (Ramanella palmata), පලා පඳුරු මැඩියා (Pseudophilautus femoralis), කුඩාකන් මැඩියා (Pseudophilautus microtympanum), ගොරහැඩි පඳුරු මැඩියා (Pseudophilautus schmarda), කඳුකර ගස් මැඩියා (Taruga eques) වැනි ඉතා දුර්ලභ විශේෂ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ජීවත් වේ.

 

උරගය විවිධත්වය

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ උරග විශේෂ 10 ක් වාර්තා වන අතර ඉන් විශේෂ 9 ක් ම ලංකාවට ආවේණික වේ. මීට අමතර ව ලංකාවට ආවේණික ගණ 4 කට අයත් උරග විශේෂ හෝර්ටන් තැන්නේ වාර්තා වීම විශේෂත්වයකි. එසේ ආවේණික ගණ නම් සිවුපා උරගුන් අයත්වන Ceratophora, Cophotis, Lankascincus සහ පාංශුවාසී සර්පයන් අයත් වන Aspidura යන ගනයන් ය.

හෝර්ටන් තැන්නේ උරගයන් පිළිබඳ ව සඳහන් කිරීමේ දී බොහෝ දෙනා ගේ අවධානයට ලක් වන්නේ ලංකාවට ආවේණික මධ්‍ය කඳුකරයේ පමණක් ජීවත්වන රයිනෝ අඟ කටුස්සා (Ceraophora stoddartii) පිළිබඳ ව ය. මේ විශේෂය කඳුකර වනාන්තර ආශ‍්‍රිත ප‍්‍රදේශයේ වාර්තා වේ. නෙළු පඳුරු ආශ‍්‍රිත ව මෙන් ම කඳුකර වනාන්තරයේ ලයිකන ශාක බහුල ශාක කඳන් මත ද මේ සතුන් නිතර දැක ගත හැකි ය.

හෝර්ටන් තැන්නේ පිහිටි පඳුරු ශාක ආශ‍්‍රිත ව විශේෂයෙන් කටු සහිත පඳුරු ශාක ආශ‍්‍රිත ව ලංකාවට ආවේණික කට කළු කටුස්සා (Calotes nigrilabris) දැක ගත හැකි ය. මීට අමතර ව පඳුරු ශාක ආශ‍්‍රිත ව, ලංකාවට ආවේණික ඉතා ම දුර්ලභ කඳුකර වලාකුළු වනාන්තර ආශ‍්‍රිත ව පමණක් දැක ගත හැකි නිශාචර කටුසු විශේෂයක් වන කුරු බෝදිලිමා (Cophotis ceylonica) ජීවත් වේ.

ලංකාවට ආවේණික තෙල් හීරලූවා (Lankascincus taprobanensis) වැනි සිවුපා උරගුන්ට අමතර ව ලේ මැඩිල්ලා (Aspidura brachyorrhos), දලව මැඩිල්ලා (Aspidura trachyprocta) වැනි පාංශු වාසී සර්ප විශේෂ ද හොර්ටන් තැන්නේ දැක ගත හැකි ය.

 

පක්ෂි විවිධත්වය

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ පක්ෂි විශේෂ 82 ක් වාර්තා වේ. ඉන් විශේෂ 13 ක් ආවේණික වන අතර 14 ක් පමණ සංක‍්‍රමණික පක්ෂි විශේෂ වෙති. ශී‍්‍ර ලංකාවට ආවේණික ඉතා ම සුළු ව්‍යාප්තියක් සහිත දුර්ලභ මෙන් ම දැක ගැනීමට අපහසු කුලෑටි පක්ෂියකු වන අරංගයා (Sri Lanka Whistling Trush) හෝර්ටන් තැන්නේ වාර්තා වන විශේෂ පක්ෂියෙකි.

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ පක්ෂි විශේෂ විවිධත්වය බහුල වන්නේ කඳුුකර වනාන්තර ආශ‍්‍රිතව ය. තෙත් පතන තෘණභූමි ආශ‍්‍රිත ව අඩු පක්ෂි විවිධත්වයක් දැක ගත හැකි ය. තෙත් පතන තෘණ භූමි ආශ‍්‍රිත ව දැක ගත හැකි වන්නේ කළුබෙට්ටි කුරුල්ලා (Pied Bush Chat), ගොමරිට්ටා (Indian Pipit), කොණ්ඩ ගොමරිට්ටා (Oriental Skylark), උල්පෙඳ කැස්වටුවා (Pintail Snipe), කඳු කැස්වටුවා (Wood Sandpiper) වැනි පක්ෂීන් ය.

හෝර්ටන් තැන්නේ කඳුකර වනාන්තර ආශ‍්‍රිත ව පක්ෂීන් බහුල ව දැක ගත හැකි ය. කුඩා කණ්ඩායම් ලෙස සකස් වූ ලංකාවට ආවේණික රතු දෙමලිච්චා ගේ (Ranforce Babbler) මූලිකත්වයෙන් යුත් පක්ෂි නඩ හා, ලංකාවට ආවේණික කඳුකර මල් කුරුල්ලන් ගේ (Sri Lanka Hill White eye) මූලිකත්වයෙන් යුත් කුඩා පක්ෂි නඩ කඳුකර වනාන්තර පුරා නිතර දැක ගත හැකි ය. කඳුකර වනාන්තර ආශ‍්‍රිත පක්ෂීන් අතර ලංකාවට ආවේණික මයිල ගොයා (Sri Lanka Wood Pigeon) කැහිබෙල්ලා (Sri Lanka Blue Magpie), ගුරු කොණ්ඩයා (Sri Lanka Yellow eared Bulbul), දෑ දෙමලිච්චා (Sri Lanka Scimitar Babbler), අඳුරු නිල් මැසිමාරා(Sri Lannka Dusky blue Flycatcher) වැනි පක්ෂීන් මෙන් ම ලංකාවට ආවේණික නොවන හිස අළු මැසිමාරා (Gey - headed Flycatcher), නිල් පණු කුරුල්ලා (Velvet - fronted Blue Nuthatch) වැනි පක්ෂීන් දැක ගත හැකි ය.

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ මාංශ භක්ෂක ගොදුරු කුරුල්ලන් වන උකුස්සන් ගේ බහුල විවිධත්වයක් දැක ගත හැකි ය. පතන උකුස්සා (Black winged kite), මහ කොණ්ඩ රාජාලියා (Mountain Hawk Eagle), කළු රාජාලියා (Black Eagle), බඩ රතු රාජාලියා (Rufous - bellied Eagle), ගෝමර බිම් උකුස්සා (Pied Harrier), අළු බිම් උකුස්සා (Montague’s Harrier), කොණ්ඩ උකුස්සා (Jerdon’s Baza), බඩ රතු කොබෙයි උකුස්සා (Shaheen Falcon) වැනි ගොදුරු කුරුලූ විශේෂ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ වනාන්තර හා විවෘත තණ බිම් ආශ‍්‍රිත ව දැක ගත හැකි ය.

සංක‍්‍රමණික පක්ෂීන් ලෙස නිල් බෙට්ටි කුරුල්ලා (Indian Blue Robin), දුඹුරු ඇස් පැටියා (Brown Shrike), අළු හලන්පෙන්දා (Grey Wagtail), උස් ගොමරිට්ටා (Richard’s Pipit), උල් පෙඳ කැස්වටුවා (Pintail Snipe), පලාවන් හම්බු කුරුල්ලා (Greenish tree Warbler), නිල් කුරුමිණි කුරුල්ලා (Blue tail Bee - eater) වැනි පක්ෂීන් හොර්ටන් තැන්නේ වාර්තා වේ.

 

සමනළ විවිධත්වය

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ සමනළ විශේෂ 57 ක් වාර්තා වන අතර, ඉන් විශේෂ 6 ක් ලංකාවට ආවේණික වේ. ඉතා ශීත හා මල් තුහින සහිත දේශගුණයක් මෙහි පැවතිය ද, මෙතරම් සමනළ විශේ්ෂ ප‍්‍රමාණයක් වාර්තා වීම සතුටට කරුණකි. මීට ප‍්‍රධාන සාධකය නම් හෝරටන් තැන්නේ කඳුකර වනාන්තරය තුළ ආවේණික ශාක විවිධත්වය යි. මීට අමතර ව කඳුකර ආශ‍්‍රිත ව තෙත් පතන තෘණභූමි ආශ‍්‍රිත ව දක්නට ලැබෙන සපුෂ්ප ශාකවල විවිධත්වය මේ සමනළ විවිධත්වයට හේතු සාධක වේ.

මීට දසකයකට පමණ ප‍්‍රථම ලංකාවෙන් වඳ වී ගොස් ඇතැයි විශ්වාස කළ මෙරටට ආවේණික ඉතා ම දුර්ලභ Sri Lanka Green’s Silverline සමනළ විශේෂය වසර 110 කට පසුව වාර්තා කිරීමට හැකි වූයේ හෝර්ටන් තැන්න වනෝද්‍යානයෙනි. මීට අමතර ව සුවිශේෂි සමනළ විශේෂ කීපයක් ම හොර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය තුළ දැක ගත හැකි ය. ඒ අතර මහ කැලෑ පැපිලියා (Red Helen), රතු සෙනෙවියා (Indian Red Admiral), ඉන්දියානු අලංකාරිකයා (Indian Fritillary), නිල් කැලෑ කොළයා (Blue Oakleaf), ලංකා නිල් කොටිතියා (Ceylon Tiger), ලංකා ගස් දුඹුරුවා (Ceylon Tree Brown), නිල් සෙනෙවියා (Blue Admiral), විචිත‍්‍ර අලංකාරිකයා (Painted Lady) වැනි විශේෂ වෙයි.

 

ජලජීවී විවිධත්වය

හෝර්ටන් තැන්නේ දියපහරවල දේශිය මත්ස්‍ය විශේෂ දැක ගත නො හැකි ය. මේ දියපහරවල වාර්තා වන්නේ යටත් විජිත සමයේ වර්ෂ 1882 දී බි‍්‍රතාන්‍යයන් විසින් දඩයම පිණිස හදුන්වා දුන් දේදුනු මත්ස්‍යයා (Rainbow Trout - Oncorhynchus mykiss) පමණි. හෝර්ටන් තැන්නේ දියපහරවල මිරිදිය කකුළුවන් හා ඉස්සන් විශේෂ ජීවත් වේ. ඒ අතරින් ලංකාවට ආවේණික ඉතා දුර්ලභ මිරිදිය ඉස්සන් විශේෂයක් වන Lancaris singhalensis හෝර්ටන් තැන්නේ දියපහරවල පමණක් ජීවත් වේ.

මීට අමතර ව ලංකාවට ආවේණික මිරිදිය කකුළුවන් වන Ceylonthelphusa sorror, Ceylonthelphusa rugosa, Perbrinckia punctata, Perbrinckia glabra වැනි විශේෂ හෝර්ටන් තැන්නේ නොඉදුල් දියපහරවල ජීවත් වේ.

 

හෝර්ටන් තැන්නට ආරක්ෂාව ලබා දෙන නීති පද්ධතිය

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ප‍්‍රකාශයට පත් කර ඇති හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට මෙම පනත යටතේ ඉතා හොඳ ආරක්ෂාවක් ලබා දී ඇත. ඒ අනුව පනතේ 3(1)ආ සහ 5(1) හා (2) උප වගන්ති අනුව හෝර්ටන් තැන්නට ඇතුළු විය හැකි වන්නේ වන සතුන් හා වෘක්ෂලතා නැරඹීමේ කාර්යය සඳහා පමණි. ඒ සඳහා අවසර පත‍්‍රයක් ලබා ගත යුතු ය.

පනතේ 6(1) උප වගන්තියට අනුව හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ශාක කපා ඉවත් කිරීම, වනජීවී වාසස්ථාන වලට කුමන ආකාරයේ හෝ හානි සිදු කිරීම, විනාශ කිරීම, පාරක් හෝ අඩි පාරක් තැනීම හෝ තනන ලද මාර්ගයක් භාවිත කිරීම යන සියලූ ම කි‍්‍රයා තහනම් වේ. එම තහනම් කි‍්‍රයාවක නිරත වන පුද්ගලයකු වරෙන්තුවක් නොමැති ව අත් අඩංගුවට ගත හැකි වන අතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරදකරුවකු කරනු ලැබූ විට පනතේ 6(4) උප වගන්තියට අනුව රුපියල් 20,000 ත් ලක්ෂයත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර සිරදඩුවමක් හෝ මේ දෙකට ම ලක් කළ හැකි ය. එම වරද ම පසු අවස්ථාවක සිදු කර වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 40,000 ත් ලක්ෂ දෙකත් අතර දඩයකට හෝ වසර 5 ත් 10 ත් අතර සිර දඩුවමකට හෝ මේ දෙකට ම ලක් කළ හැකි ය. මේ ආකාරයෙන් හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය තුළ සිදු කරන සියලූ හානිකර කි‍්‍රයා පාලනයට නීතිමය ආවරණය ලබා දී ඇත.

ජාතික වනෝද්‍යානය තුළ සිදු කරන හානිකර කි‍්‍රයා පමණක් නොව ඒ වටා සිදු වන හානිකර සංවර්ධන කි‍්‍රයා පාලනය තුළින් වනෝද්‍යානයට බාහිරින් ඇති වන හානිකර බලපෑම් පාලනයට ද මෙම පනතින් නීතිමය ආවරණය ලබා දී ඇත.

2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනතේ 9අ(1) උප වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතැපුම් එකක සීමාවේ පිහිටි රජයේ හෝ පෞද්ගලික ඉඩමක වන ජීවී අධ්‍යක්ෂ ජනරාල්ගේ ලිඛිත අනුමැතියකින් තොර ව කවර ආකාරයක හෝ සංවර්ධන කි‍්‍රයාකාරකමක් සිදු කළ නොහැකිය. පනතේ 9අ(2) උප වගන්තියට අනුව අදාළ ලිඛිත අනුමැතිය ලබා ගැනීම සඳහා 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත් ව අනුමැතිය ලබා ගත යුතු ය. එහි දී සකස් කරන පරිසර බලපෑම් තක්සේරු වාර්තාව දින 30 ක කාලයක් මහජන අදහස් සඳහා ද දින 60 ක කාලයක් වනජීවී උපදේශක කමිටුවේ අදහස් සඳහා ද විවෘත කර තැබිය යුතු ය. එම සියලු තත්ත්වයන් සැලැකිල්ලට ගෙන වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාළ ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දීමට තීරණය කරණු ලැබේ. මෙම නීතිමය තත්ත්වය උල්ලංඝනය කරමින් ජාතික වනෝද්‍යානයක මායිමේ අනවසර සංවර්ධන කටයුතු වල නිරත වන පුද්ගලයකු අධිකරණයෙන් වැරදිකරුවකු කරණු ලැබූ විට පනතේ 10(ඈ) උප වගන්තියට අනුව රුපියල් පහළොස් දහසකට නොඅඩු හා රුපියල් පනස් දහසකට නොවැඩි දඩ මුදලකට හෝ අවුරුදු දෙකත් පහත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ දඩ මුදල හා බන්ධනාගාර ගත කිරීම යන දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අමතර ව වෙනත් පනත් වල සඳහන් නීතිමය ප‍්‍රතිපාදනයන් ද හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය වටා ප‍්‍රදේශ ආරක්ෂා කරමින් වනෝද්‍යානයට බාහිරින් ඇති වන හානිකර බලපෑම් පාලනය කිරීම සඳහා කි‍්‍රයාත්මක විය හැකි ය. ඒ අනුව පස සංරක්ෂණ පනත හා ජාතික පාරිසරික පනත වැදගත් වේ. හෝර්ටන් තැන්න අයත් වන සමස්ත කලාපය 1951 අංක 25 දරන පස සංරක්ෂණ පනතේ 3 වන වගන්තියට අනුව 2008 මැයි 22 වන දින අංක 1550/9 දරන ගැසට් නිවේදනය මඟින් පස සංරක්ෂණ කලාපයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. ඊට හේතු ව මේ කලාපය කඳුවැටි සහිත නායයාමේ අවධානමක් පවතින කලාපයක් වීම ය. එවන් කලාපයක සංවර්ධන කි‍්‍රයාවලියක් කි‍්‍රයාත්මක කිරීමේ දී ජාතික පාරිසරික පනතට අනුව අනුමැතිය ලබා ගත යුතු ය. එම අනුමැතිය ලබා ගත යුතු බවට සඳහන් වන්නේ සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව ය. මෙම ගැසට් නිවේදනයට අනුව පස සංරක්ෂණ පනත යටතේ ප‍්‍රකාශයට පත් කළ යම් ප‍්‍රදේශයක් තුළ සංවර්ධන ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමේ දී පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට අනුව අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු ය. එම නීතිමය ප‍්‍රතිපාදන උල්ලංඝනය කරමින් කටයුතු කරන අයට එරෙහි ව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට මධ්‍යම පරිසර අධිකාරියට හැකියාව ඇත.

 

ගෝන තැන්නට ඇති තර්ජන

අද්විතීය ජෛව විවිධත්වයක් දරා සිටින හෝර්ටන් තැන්නට අද සිදුවෙමින් පවතින අභාග්‍යසම්පන්න ඉරණම පිළිබඳ ව පරිසරවේදීන් වන අප තුළ ඇත්තේ කණගාටුවකි. විශේෂයෙන් ගෝන තැන්නෙහි කඳුකර වනාන්තරවල ”වනාන්තර ප‍්‍රතිමාරය” (forest die back) ලෙස හඳුන්වන ක‍්‍රියාවලිය දරුණු ලෙස සිදු වෙමින් පවතී. මෙහි දී සිදු වන්නේ නෙරු ස්ථරයේ ශාක මැරී යාම ය. මේ සඳහා නිවැරදි ම හේතු සාධක මේ වන විට සොයා ගෙන නොමැති මුත් විශ්වාස කරන්නේ වායු දූෂණය ඒ සඳහා හේතු සාධක වන බව ය. කාබන්ඩයොක්සයිඩ් හා සල්ෆර් ඩයොක්සයිඩ් අඩංගු වාතය ජල වාෂ්ප සමඟ ගැටීම හේතුවෙන් ඇතිවන අම්ල සහිත පිනි පොඳ මීදුම් ලෙස නෙරු ස්ථරයේ ශාකවල නිරන්තර ව ගැටීමෙන් මෙලෙස ශාක මරණයට පත් වේ යැයි විශ්වාස කෙරේ. තව ද ඒ සඳහා දිලීරවල බලපෑමක් ඇති බව ද හඳුනා ගෙන ඇත. ඒ තත්ත්වයට ද වායු දූෂණය නිසා ඇතිවන ආම්ලිකතාවේ වෙනස්වීම හේතුවක්වනු ඇතැයි විශ්වාස කැරේ. මේ ක‍්‍රියාවලිය හෝර්ටන් තැන්නේ කඳුකර වනාන්තර පුරා ම තැනින් තැන දක්නට ලැබේ.

හෝර්ටන් තැන්නට අධික සංචාරක ආකර්ෂණය හේතුවෙන් සිදුවන හානිය ඉතා වැඩි ය. බොහෝ දෙනෙක් මේ පරිසර පද්ධතියට පැමිණෙන්නේ ලෝකාන්තය සහ බේකස් ඇල්ල නැරඹීමට ය. සංචාරකයින් ලෙස මෙහි පැමිණෙන ජනතාවට මේ පරිසරයේ වැදගත්කම පිළිබඳ කිසිඳු අවබෝධයක් නොමැත. ඔවුන් මේ පරිසරයේ ඉතා දුර්ලභ සහ ආවේණික ශාකවල මල් කැඩීම, විසිතුරු පැළෑටි එකතු කිරීම පමණක් නො ව තෘණ බිම්වල නව මාර්ග තනමින් ඇවිදයාම හේතුවෙන් ඉතා දුර්ලභ ශාක විශේෂවල වාසස්ථාන හා එම ශාක විශේෂ විනාශ වී යාම සිදු වේ. මේ තත්වය ලෝකාන්තය සහ බේකස් ඇල්ල පිවිසුම් මාර්ග පුරා ම දැක ගත හැකි වීම කණගාටුවට කරුණකි.

අදින් වසර කිහිපයකට ප‍්‍රථම සංචාරකයින් ඉවත දමන අපද්‍රව්‍ය නිසා දැවැන්ත ලෙස බැට කෑ ගෝන තැන්න අද වන විට දූරදර්ශී නිලධාරීන් ගේ කැපවීම මත කැළි කසළවලින් බොහෝ දුරට තොර කලාපයක් බවට පත් කිරීමට හැකි වී ඇත. එමෙන් ම ගෝන තැන්නට පැමිණෙන සංචාරකයින් නිසි මඟ ගැන්වීම තුළින් ස්වාභාවික පරිසරයට සිදුවන හානි අවම කර ගැනීමට ද එවන් වූ සැලසුම්සහගත වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කළ යුතු ය.

ගෝන තැන්නේ හීලෑ ගෝනුන් ඇති වීම ඉදිරියේ දී එම ගහනයේ පැවැත්මට හානිකර ලෙස බලපෑ හැකි ය. සංචාරකයින් ඉවත දමන ආහාර කෑමට හුරු වී ඇති සමහර ගෝනුන් සංචාරකයින් සොයා පැමිණෙන්නේ ආහාර ලබා ගැනීම සඳහා ය. උන් සංචාරකයින්ට බියක් නො දක්වයි. නමුත් මෙහි හානි දායක තත්ත්වය වන්නේ මේ ආහාර සමඟ සමහර රෝගකාරක විෂබීජ ගෝනුන් ගේ ශරීර ගත වුවහොත් ගෝන තැන්නේ අනෙක් ගෝනුන්ට ද රෝග බෝවීමෙන් ගහනයේ පැවැත්මට ඒ තත්වය දරුණු ලෙස බලපෑ හැකි ය. මේ පිළිබඳ ව වැඩි අවධානයක් යොමු කිරීම බලධාරීන් ගේ මෙන් ම සංචාරකයින් ගේ ද වගකීමකි. ඒ සඳහා දැනට කසළ තාවකාලික ව රැදවීමේ යාන්ත‍්‍රණය වෙනස්කම්වලට භාජනය කිරීම තුළින් ගෝනුන්ට එම භාජනවලින් අපද්‍රව්‍ය ආහාරයට ගැනීමේ හැකියාව නැති කළ යුතු අතර සංචාරකයින් විසින් ගෝනුන්ට ආහාර ලබාදීම නතර කිරීමට ද කඩිනම් ක‍්‍රියාමාර්ග ගත යුතු ය.

ගෝන තැන්නේ සිට ගලා බසිනා අග‍්‍රා ඔයේ ඔහිය ප‍්‍රදේශයෙන් ඩයගම, ආගරපතන, බෝපත්තලාව වැනි බගවන්තලාවට ප‍්‍රදේශයට බෑවුම්වන හෝර්ටන් තැන්නේ මායිම් ගම්මාන ආශ‍්‍රිත ව මැණික් ගැරීම ඉතා බහුල ලෙස සිදු වේ. එය හෝර්ටන් තැන්නේ පැවැත්මට මෙන් ම ඒ ආශ‍්‍රිත දුර්ලභ ජලජ ජීවී ප‍්‍රජාවට හානිකර ලෙස බලපා තිබේ. ගෝන තැන්න වටා පිහිටි මේ ප‍්‍රදේශවලින් ඉතා දුර්ලභ උභයජීවී හා මිරිදිය කකුළුවන් විශේෂ රැසක් වාර්තා වී ඇති අතර එම සතුන් ගේ පැවැත්මට මේ නීති විරෝධී හා හානිකර මැණික් ගැරීම් ඉතා දරුණු ලෙස බලපෑ හැකි ය.

හෝර්ටන් තැන්නට මායිම්වන බෝපත්තලාව ගොවිපල, ටර්බට් ගොවිපොළ ආශ‍්‍රිත ව ”මදු” යොදා සිදු කරන සත්ත්ව දඩයම හා විදුලිය යොදා සිදු කරන සත්ත්ව දඩයම නිරන්තර ව සිදු වේ. එපමණක් නොව ගෝන තැන්න දක්වා විහි දී ඇති ඩයගම මාර්ගයෙන් කිසිදු බාධාවකින් තොර ව ජාතික වනෝද්‍යානයට ඇතුළුවන දඩයක්කරුවන් ගෝන දඩයමේ යෙදෙති. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ ප‍්‍රදේශය ආශ‍්‍රිත ව ස්ථාන ගත කිරීම අත්‍යාවශ්‍ය ව ඇත. එමඟින් දඩයම මෙන් ම නීති විරෝධී මැණික් ගැරීමේ කටයුතු ද පාලනය කිරීමට ක‍්‍රියාමාර්ග ගත හැකි වනු ඇත.

වසර ගණනාවක් පුරා මේ ජාතික වනෝද්‍යානයට මහ පිළිලයක් බවට පත් ව තිබූ Fabaceae කුලයට අයත් ආගන්තුක ආක‍්‍රමණික ශාකයක් ලෙස පැතිර ගිය යුලෙක්ස් (Gorse Plant - Ulex europaeus) ශාකය අද වන විට බොහෝ දුරට පාලනය කර ගත හැකි වී ඇත. බොහෝ ස්වේච්ඡා පරිසර සංවිධානවල ක‍්‍රියාකාරීන් හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක් වී මේ ආක‍්‍රමණික ශාකය ගෝන තැන්නේ ස්වාභාවික පරිසරවලින් ගලවා ඉවත් කිරීම සඳහා ව්‍යාපෘති ගණනාවක් ක‍්‍රියාත්මක කළේ ය. එහි ප‍්‍රතිඵලයක් ලෙස මේ ශාකය අද වන විට ගෝන තැන්නේ සැලකිය යුතු මට්ටමකින් පාලනය කර ගත හැකි වුවත් අද වන විට තෘණ භූමිවල තැනින් තැන නැවත කුඩා පැල දහස් ගණනින් වර්ධනය වනු අප ගේ නිරීක්ෂණයට ලක් විය. එය තර්ජනයක් මට්ටමට වර්ධනය වීමට ප‍්‍රථම නැවත වරක් ගලවා ඉවත් කිරීම සඳහා ක‍්‍රියාත්මක විය යුතු ව ඇත.

ලෝකයේ දරුණුත ම ආක‍්‍රමණික ශාක සියය අතුරින් එකක්වන යූලෙක්ස් ශාකයේ බීජවලට පසේ ජීවීතාව පවත්වා ගනිමින් නො නැසී බොහෝ කාලයක් රැඳී සිටීමේ හැකියාව ඇත. මේ නිසා දැනට වර්ධනය වෙමින් පවතින පැල, බීජ නිෂ්පාදනය කරන අවස්ථාව දක්වා එළැඹීමට ප‍්‍රථමයෙන් ගලවා ඉවත් කිරීම ද දූරදර්ශී ක‍්‍රියාවකි. එසේ නොවුනහොත් නැවත පසට ජීවී බීජ එක්වීමෙන් නැවත වසර කිහිපයකින් මෙය ආක‍්‍රමණික මට්ටමට වර්ධනය විය හැකි ය. දැනට පසේ ඉතිරි වී තිබූ බීජ සියල්ල ම කුඩා යුලෙක්ස් පැල ලෙස වර්ධනය වෙමින් පවතින නිසා එය කඩිනමින් ඉවත් කළහොත් තෘණ බිම පුරා පැතිර තිබූ යූලෙක්ස් බීජ බැංකුව සහමුලින් ම ඉවත් කළ හැකි ය. මෙය ආක‍්‍රමණික ශාක පැලයට ගනු ලබන ඉතා වැදගත් ක‍්‍රියාමාර්ගයකි.

මෙවන් දෑ පිළිබඳ ව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හා පරිසර අමාත්‍යංශයේ අවධානය කඩිනමින් යොමු වනු ඇතැ යි අප බලාපොරොත්තුවන අතර ම ස්වේච්ඡා පරිසර සංවිධානවල ක‍්‍රියාකාරීන් ගේ සහයෝගය ද මේ සඳහා ලබා දිය යුතු ය. එවිට හෝර්ටන් තැන්නේ අනන්‍ය දුර්ලභ ජෛව ප‍්‍රජාව තව බොහෝ කලක් නො නැසී පවතිනු ඇත. මෙවන් කි‍්‍රයා මාර්ග වලට පිවිසීම වෙනුවට ලෝක බැංකු උපදෙස් මත තවදුරටත් හෝර්ටන් තැන්නට පිවිසීමට මාර්ග ඉදි කර සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය කර හෝර්ටන් තැන්නට ස්විශේෂී වූ පරිසර පද්ධති හා ජෛව ප‍්‍රජාව පටු වාණිජ පරමාර්ථ මත වනසා දැමීමට කි‍්‍රයාමාර්ග නොගත යුතු ය.

 





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'