Logo
2020 ඔක්තෝම්බර් මස 21 වැනි බදාදා

ජනවරම කැලේ යවන ගෝඨා අනාථ කරන බැසිල්ගේ ඩීල් දේශපාලනය

සුභාෂ් වික්‍රමගේ


බැසිල් සහ ජාතික බලවේග අතර ඇති ආරෝව කුමක්ද? බැසිල්ගේ හෙන්චයියන් මේ දිනවල විමල් වැනි නායකයන්ට පහර දෙන්නේ කුමක් නිසාද? මෙය බොහෝ දෙනාට මතුවන ප්‍රශ්නයකි. ඒ නිසා මේ ප්‍රශ්නයට පටලැවිලි නැති අංග සම්පූර්ණ පිළිතුරක් දීම ඉතාම කාලෝචිතය.  
මෙය කිසිසේත්ම පුද්ගලයෙකු පිළිබඳ ප්‍රශ්නයක් නොවන බව මුලින්ම කිව යුතුය. අපිට ඇත්තේ බැසිල් නම් පුද්ගලයා ගැන තරහක් නොව ඔහුගේ අරමුණු රටේ අරමුණුවලට හානිකර වීම පිළිබඳ දේශපාලන ප්‍රශ්නයක් පමණි.  
මහින්ද, බැසිල්, ගෝඨාභය යන මේ සහෝදර ත්‍රිත්වයේ සම්බන්ධය පුදුමාකාරය. ඔවුන් අතර සහෝදරකම නිසා ඇතිවූ බැදීමක් මෙන්ම බලය නිසා ඇති වූ බෙදීමක්ද ඇති බව අප තේරුම්ගත යුතුය. 
බැසිල්ට නෑදෑකම නිසා ජාතිකවාදී දේශපාලන කඳවුරේ ඉහළ තැනක් හිමිව තිබේ. නමුත් බැසිල්ට ජාතිකත්වය ගැන කිසිදු හැඟීමක් නැත. බැසිල්ගේ දැක්ම සහ ගෝඨාභයගේ දැක්ම අතර විශාල වෙනසක් ඇත. ප්‍රශ්නය වන්නේ බැසිල්ගේ දැක්ම හා ඉලක්කය ජාතිකවාදී ජනවරමේ අපේක්ෂාවන්ට සපුරා පටහැනි එකක් වීමය. 
උදාහරණයක් ලෙස ආණ්ඩුව මෑතකදී ඇති කරගත් ලොකුම අවුල වූ විස්සේ අවුල හා බදුයුදීන්ගේ අවුල යන දෙකටම මූලික හේතුව බැසිල්ය. 
බැසිල්ගේ ඩීල් දේශපාලනය ය. ඒ නිසා මෙය මුල සිට ගැඹුරින් තේරුම් ගත යුතුය. 
2015 මහින්දගේ පරාජයටද බැසිල්ගේ අලුගුත්තේරු වැඩ සෑහෙන බලපෑමක් කළේය. පරාජයෙන් පසු ඔහු පැදුරටත් නොකියා රටෙන් පළාගියේ නැවත රාජපක්ෂලාට කරළියට ඒමට හැකි වනු ඇතැයි මේ ඊනියා දක්ෂ සංවිධායකයා තුන් හිතකින්වත් විශ්වාස නොකළ නිසාය. 
නමුත් විමල්ලා, ගම්මන්පිලලා මැදිහත් වී රාජපක්ෂලාට නැවත කරළිය තනා දුන් පසු ඊනියා දක්ෂ සංවිධායකයා නැවත ලංකාවට ආවේය. ඔහු එදා සිටම කඩදාසි කොළවල සැලසුම් සකස් කරමින් හීන බැලුවේ 2020 ජනාධිපති පට්ටම ඩැහැ ගැනීමටය. ගෝඨාභයට අවස්ථාව දීමට ඔහුගේ කිසිදු කැමැත්තක් තිබුණේ නැත.
පොදු ජන පෙරමුණ පැත්තක තියා එළිය, වියත් මග වැනි සංවිධාන සමග ගෝඨාභයට වෙනම ගමනක් යාමට සිදුවූයේ බැසිල්ගේ මේ කුළල් කා ගැනීම නිසාය. අවසාන මොහොත වන තෙක් බැසිල්ගේ ගෝලයෝ ගෝඨාභයගේ ගමන කඩාකප්පල් කිරීමට හැකි සෑම උත්සාහයක්ම දැරූහ. ඇතැම් දිස්ත්‍රික්කවල එළිය සංවිධානයේ සම්මන්ත්‍රණයක් හෝ පැවැත්වීමට බැසිල්ගේ ගෝල බාලයන් ඉඩදුන්නේ නැත.
එහෙත් ජාතික බලවේග ඇතුළු රටේ සුවහසක් ජනයාගේ එකම අපේක්ෂාව ගෝඨාභය වීම නිසා බැසිල්ගේ සැලසුම වැරදුනේය. අවසානයේදී ඔහුට සිදුවූයේ කපන්නට බැරි අත සිඹීමටය.
ගෝඨා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළේද බැසිල්ගේ කෙහෙල්මල් සංවිධාන හැකියාවක් නිසා නොව විමල්ලා ගම්මන්පිලලා ප්‍රමුඛ ජාතික බලවේග මැදිහත් වී අන්තවාදයට එරෙහිව සිංහල සමාජය අවදි කිරීම නිසාය. ඇට්ටර පොහොට්ටු කාරයන්ගේ ඡන්ද කුට්ටියෙන් ඔබ්බට ගොස් බහුතර සිංහල ඡන්ද ප්‍රමාණයක් ගෝඨාභයට ලබාගත හැකිවනුයේ ඒ අනුවය.
බැසිල්ලාගේ තියරිය අනුව මුස්ලිම් ඡන්ද අහිමි වේ යැයි බියෙන් අන්තවාදයට එරෙහි සටන අතට නොගෙන සිටියේ නම් සිංහල ඡන්දත්, මුස්ලිම් ඡන්දත් දෙකම නැතිවී ගෝඨාභය නිසැක ලෙසම පරාජයට පත් වනු ඇත.
ජනාධිපතිවරණයෙන් ගෝඨා දිනුවද බැසිල් ගේම අතෑරියේ නැත. ඇමතිකම් දීම ඇතුළු සෑම දෙයකටම අත දාන්නේ බැසිල්ය. අත දමමින් හැම වැඩක්ම අවුල් කරන්නේද බැසිල්ය. 
එසේම පසුගිය පාර්ලිමේන්තු ඡන්දයේදී විමල්ලා, ගම්මන්පිලලා, චන්න ජයසුමනලා ආදී ජාතිකවාදී අපේක්ෂකයන් පැරදවීමට බැසිල් හැකි සෑම උත්සාහයක්ම ගත්තේය. ඔහුගේ අරමුණ වූයේ කිසිදු ජාතික දැක්මක් නැති රෝහිතලා, සනත් නිශාන්තලා වැනි පාදඩ හෙංචයියන්ගෙන් පාර්ලිමේන්තුව පුරවා ගැනීමය. 
බැසිල්ගේ දැන් ඉලක්කය වන්නේ 2025 ජනාධිපති වීම සඳහා දැන් සිටම තමන්ට අවශ්‍ය ආකාරයට පාර කපා ගැනීමය. ඊළඟට අප තේරුම් ගත යුතු වන්නේ බැසිල්ගේ මේ සිහිනය රටට අහිතකර වන්නේ කෙසේද, කුමක් නිසාද කියාය. 
ගෝඨාගේ අපේක්ෂාව ජාතිකත්වය මත පදනම්ව ශිෂ්ට සම්පන්න දියුණු රටක් ගොඩනැගීමය. නමුත් බැසිල්ට අවශ්‍ය ශිෂ්ට සම්පන්න රටක් හැදීමට නොව තමන්ගේ පාදඩ හෙංචයියන්, කැලෑ පාලුවන්, කසිප්පු කාරයන් සමග එක් වී මේ රට තමන්ගේ පරවේණි නින්දගමක් බවට පත් කරගැනීමටය. 
එසේම බලය බෙදීම, උතුරේ ප්‍රශ්නය, සුළු ජාතික ප්‍රශ්න ආදිය ගැන බැසිල්ගේ ස්ථාවරයන්ද රටට අතිශයින් හානිකරය. ඒ පිළිබඳ බැසිල්ගේ ස්ථාවරයන් ඇමරිකාවේ ඉන්දියාවේ හා බටහිර වුවමනාවන් සමගද මනාව සමානුපාත වෙයි.
අනෙක් අතින් බැසිල් ජාතික බලවේග සලකන්නේ කරදරකාරයන් ලෙසය. බැසිල්ගේ අරමුණ විමල්ලා, දිනේෂ්ලා, ගම්මන්පිලලා, පැත්තකට දමා එයින් අඩුවන ඡන්ද ප්‍රමාණය දෙමළ මුස්ලිම් අයගෙන් ලබාගෙන ජනාධිපති වීමය. ඒ සඳහා බැසිල්ගේ තේරීම වන්නේ බදුයුදීන් වැනි අන්තවාදීන්ට කප්පම් ලබාදීමය. අද බදුයුදීන්ගේ සහෝදරයන් හිටි හැටියේ නිදහස් වන්නේ මේ අනුව විය හැකිය.
මීළඟට බැසිල්ට 2025 අවස්ථාව ලබාගැනීමට නම් ගෝඨා නන්නත්තාර විය යුතුය. සිංහල බෞද්ධ ඡන්දදායකයා තුළ ගෝඨා ගැන ඇති විශ්වාසය, ගරුත්වය පළුදු විය යුතුය. දෙමළ මුස්ලිම් අන්තවාදීන්ට කප්පම් දී බැසිල්ට ජනාධිපති වීමට අවස්ථාව උදා වනුයේ එවිටය. 
ඒ අනුව වර්තමානයේ බැසිල්ගේ අරමුණ ගෝඨා සාර්ථක වනු දැකීම නොව අසාර්ථක වනු දැකීමය. ඔහු  හිතාමතාම ජනවරමට පටහැනිව ආණ්ඩුව කැලේ ගෙනයාමට, ගෝඨා ඇන්නවීමට කටයුතු කරන්නේ ඒ අනුවය. ආණ්ඩුව මේ වනවිට ජනතා අප්‍රසාදයට පත්වීමට බලපෑ සෑම සිදුවීමක් පසුපසම සිටින්නේ වෙන කවුරුත් නොව බැසිල්ය.
රටට ආදරය කරන කවුරුත් ඉදිරියේදී මේ අනතුර තේරුම් ගෙන මෙය පරාජය කිරීමට කටයුතු කළ යුතුය. 
ඒ සඳහා හැකි තාක් විමල්ලා, ගම්මන්පිලලා වැනි ජාතික බලවේග බිම් මට්ටමේ සිට ශක්තිමත්ව බල ගැන්විය යුතුය. 
ජනවරම නිසි මග ගෙන යාම සඳහා නිරතුරුව හඬ නඟමින් ඊට එරෙහි කුමන්ත්‍රණකරුවන් පරාජය කළ යුතුය. 
2025 දී ගෝඨාභය මහතාටම නැවත ජනාධිපති වීමේ අවස්ථාව ලබා දී බැසිල්ගේ හෙංචයියන් වෙනුවට  ජාතිකවාදීන් වැඩි වැඩියෙන් පාර්ලිමේන්තුවට යැවිය යුතුය. 
ඒ අභියෝගය ජය ගැනීමට අප අසමත් වේ නම් සිදුවන්නේ ඉතා අසීරුවෙන් දිනාගත් සිංහල බහුතරය සහිත 69 ලක්ෂයේ ජනවරමේ අපේක්ෂා බොඳවී රට නන්නත්තාර වීමය. 





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'