Logo
2020 නොවැම්බර් මස 28 වැනි සෙනසුරාදා

එජාපයේ ඉතිහාසය (1977 සිට 1989 දක්වා)

ඉසුරු ප්‍රසංග


1977 ජුලි 22 පැවති මහ මැතිවරණය එජාපය ආසන 168න් 140ක් සහිතව ජයග්‍රහණය කළේය.  එතැන් සිට සතියකට වැඩි කාලයක් තිස්සේ කිසිදු බාධාවකින් තොරව විරුද්ධවාදීන් මර්දනය කිරීම සිදුවිය. එහිදී මිනිස් ඝාතන 6ක්, නිවාස ගිනි තැබීම් 37ක්, පහරදීම් හා කොල්ලකෑම් 1400ක්, දේශපාලන පළිගැනීම් ලෙස සේවයෙන් පහකිරීම් 18462ක්, මාරුකිරීම් 72881ක් වාර්තා විය.                                                                                 
යාපනයේ ඇතිවූ සිද්ධියක් මුල් කරගෙන 1977 අගෝස්තු 17 වැනිදා සිදුවූ ජාතිවාදී කෝලාහලවලින් විශාල පිරිසක් පීඩාවට පත් වූහ. එහිදී පුද්ගල ඝාතන 100ක්, ස්ත්‍රී දූෂණ 284ක්, නිවාස ගිනි තැබීම් 8088ක්, දේපල මංකොල්ලකෑම් 20776ක්, පහරදීම් 40000ක් වාර්තා විය.  
බලය හිතුවක්කාරී ලෙස භාවිත කරමින් විධායක ජනාධිපති ධූරය ස්ථාපිත කළ අතර 1978 පෙබරවාරි හතර වැනිදා ජේ.ආර් ජයවර්ධන මහතා මෙරට ප්‍රථම විධායක ජනපති ලෙස දිවුරුම් දුන්නේය. අනතුරුව 1978 සැප්තැම්බර් සිට ක්‍රියාත්මක නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සිදුවිය. 
1978. 11. 20 වැනිදා නව ව්‍යවස්ථාවට ගෙන ආ පළමු ව්‍යවස්ථා සංශෝධනය මගින් අතිශය අයථා අන්දමින් සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කරනු ලැබිණි. එයින් අපේක්ෂා කළේ තම ප්‍රධාන ප්‍රතිවාදියා දේශපාලන වශයෙන් අක්‍රිය කිරීමය.  
එජාප ආණ්ඩුවට එරෙහි සක්‍රිය බලවේගයක් වූ සරසවි සිසුන් මර්දනය සඳහා 1978 වසරේදී “නව විශ්ව විද්‍යාල පනත” සම්මත කර ගැනීම සිදුවිය. මේ කාලයේදී ශිෂ්‍ය මර්දන ක්‍රියා, පාතාල මැර පිරිස් යොදවා කළ පහරදීම් සුලබව වාර්තා වූ අතර, එවකට රැකී රක්ෂා සහ යෞවන කටයුතු ඇමතිවරයා වූ රනිල් වික්‍රමසිංහ ඒ සඳහා සක්‍රියව දායක වූයේය.
1978 මාර්තු 16 වැනිදා කැලණි සරසවියේ ඇතිවූ ගැටුමකින් ක්‍රිස්ටෝපර් ජයතිලක නමැති ප්‍රකට මැරයා මරණයට පත්වූ අතර ජනාධිපතිවරයා ඔහුගේ අවමගුලට පවා සහභාගී විය.  
පඩි වැඩිවීමක් ඉල්ලා 1980 ජුනි 5 වෙනිදා රට පුරා දියත් වූ පිකටින් ව්‍යාපාරයට මැර ප්‍රහාර ගණනාවක් එල්ල කෙරිණි. එහිදී රජයේ සැපයුම් දෙපාර්තුමේන්තුවේ සේවකයකු වූ ඩී. සෝමපාල මහතා ඝාතනයට ලක් විය. 
1980 ජූලි 17 වැනිදා රුපියල් 300ක පඩි වැඩි වීමක් ඉල්ලා පැවති සුප්‍රකට ජූලි වර්ජනයෙන් වර්ජකයන් 40356කට රැකියා අහිමි කරන ලදී. පහරදීම්, සිරගත කිරීම් රාශියක්ද සිදුවූ අතර, සිත් තැවුලට පත් වර්ජකයෝ 39 දෙනෙක් සිය දිවි හානි කොට ගත්හ.
1981 ජනවාරි 21 වැනිදා අධ්‍යාපන ධවල පත්‍රිකාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. සරසවි සිසුන්, ආචාර්යවරුන්, ගුරු සංගම්, භික්ෂූන් ආදී බලවේග රැසක් ඊට එරෙහි වූයේ නිදහස් අධ්‍යාපනයට, බෞද්ධ අධ්‍යාපනයට හා සිංහල බසට එයින් සිදුවන හානිය පෙන්වා දෙමිනි. පනත විවාදයට ගත් දිනයේ රට පුරා සිසු උද්ඝෝෂණ ඇතිවිය. පාර්ලිමේන්තුව වටලා උද්ඝෝෂණයේ නිරත වූ සිසුන්ට මිලේච්ඡ පොලිස් ප්‍රහාරයක් එල්ල වූ අතර අශ්වයන් ලවා පෑගීම නිසා සිසුහු කීප දෙනෙක් සදාකාලික අබ්බගාත තත්ත්වයට පත්වූහ.
1981 මැයි මස පැවති දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දයේදී ඇතිවූ යාපනයේ ගැටුම් අතරතුර ආණ්ඩුවේ මැර පිරිස් නිවාස හා කඩසාප්පු ගිනි තැබූ අතර, ඔවුහු දකුණු ආසියාවේ විශාලතම පුස්තකාලය වූ යාපනය පුස්තකාලයට ගිනිතැබූහ. වටිනා පොත් 90000ක් පමණ එහිදී විනාශයට පත්විය. 
1981 දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දය පවත්වන ලද්දේ ඡන්ද පෙට්ටි අතුරුදන්වීම්, හොර ඡන්ද දැමීම්, බිය ගැන්වීම්, මැර ප්‍රහාර ආදී සාහසික ක්‍රියා රාශියක් යටතේය. මෙය මහා පරිමාණයෙන් අයථා ක්‍රියා සිදුවූ ලංකාවේ පළමු මැතිවරණය ලෙස ඉතිහාසයට එක් වෙයි.
ස්ත්‍රී දූෂණයක් නිසා දස වසක සිර දඬුවමක් ලැබ සිටි ගෝනවල සුනිල්ට ජනාධිපති සමාවක් ලබා දී සාම විනිසුරු පදවියක් පිරිනමන ලද්දේ 1981 වසරට යෙදී තිබූ සර්ව ජන ඡන්ද බලයේ 50 වන සංවත්සරය නිමිත්තෙනි. ගෝනවල සුනිල් රනිල් වික්‍රමසිංහ සමීපව ඇසුරු කළ මිත්‍රයෙක් බව බටලන්ද කොමිසම් වාර්තාවේ දැක්වෙයි. 
විරුද්ධ පක්ෂ නායිකාවගේ ප්‍රජා අයිතිය අහෝසි කොට, නියමිත කාලයට පෙර 1982 ඔක්තෝබර් 21 වැනිදා ලංකාවේ පළමු ජනාධිපතිවරණය පැවැත්වීම සිදුවිය. මෙහිදී අයථා ක්‍රියා මහා පරිමාණයෙන් සිදුවූ අතර, ප්‍රධාන විරුද්ධ අපේක්ෂකයා වූ කොබ්බෑකඩුවගේ ජන්දය පවා වංචනික ලෙස භාවිතා කර තිබිණි.
1982 ජූලි 22 වැනිදා බෞද්ධ සම්මේලන ශ්‍රවණාගාරයේ “ශ්‍රී ලංකාවේ සංස්කෘතියේ පිරිහීම” මැයෙන් පැවති දේශනයකදී මහාචාර්ය සරත්චන්ද්‍ර ඇතුළු පිරිසකට මැර ප්‍රහාරයක් එල්ල විය. 
ලසසපයේ මන්ත්‍රීවරියක වූ විවියන් ගුණවර්ධනට කොල්ලුපිටිය පොලීසියේදී බිම දමා පහර දුන් අතර, ඊට අදාළව උසාවියෙන් වරදකරු වූ පොලිස් පරීක්ෂකවරයාට උසස්වීමක් පිරිනමන ලදී. නඩු තීන්දුව දුන් විනිසුරන්ගේ නිවෙස් ඉදිරිපිට මැර කණ්ඩායම් උද්ඝෝෂණවල නිරත වූහ.
හතරවැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් තමාට හයෙන් පහක බලයක් තිබූ පාර්ලිමේන්තු නිල කාලය මැතිවරණයකින් තොරව දීර්ඝ කර ගැනීමට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන කටයුතු කළේය. 
නක්සලයිට් කුමන්ත්‍රණ කතාවක් නිර්මාණය කොට ඒ යටතේ විජය කුමාරතුංග, හෙක්ටර් කොබ්බෑකඩුව, රත්නසිරි වික්‍රමනායක ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සිදුවිය. මහ මැතිවරණ කල් දැමීමට හේතුව ලෙස එජාපය භාවිතා කළේද මේ නක්සලයිට් කතාවය. 
මහ මැතිවරණයක් අවශ්‍යද නැද්ද යන්න විමසීමට 1982 දෙසැම්බර් 22 වැනිදා ජනමත විචාරණයක් පවත්වා ඡන්ද කල් දැමීම සිදුවිය. 
ජනමත විචාරණය පවත්වන ලද්දේ අතිශය දූෂිත ආකාරයෙනි. රට පුරා හදිසි නීතිය පැනවීම, ශ්‍රිලනිප සංවිධායකවරුන් ඇතුළු විසිදෙනෙක් අත්අඩංගුවට ගැනීම, ඇත්ත පුවත්පතට සහ යාපනයේ පළවූ සුදන්ධිරන් පුවත්පතට සීල් තැබීම, ශ්‍රිලනිප පක්ෂ මූලස්ථානයට සීල් තැබීම, මැර බලය යෙදවීම, ඡන්ද මංකොල්ලකෑම්, බිය ගැන්වීම් ආදී ක්‍රියා මෙහිදී විශාල ලෙස වාර්තා විය. 
1983 ජූලි 24 වැනිදා එජාපයේ අනුග්‍රහයෙන් දෙමළ ජනයාට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකෙරුණු අතර මේ සිදුවීම කළු ජූලිය ලෙස හැඳින්වෙයි.  නිවාස ගිනි තැබීම්, කොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, පහරදීම්, මිනීමැරුම් රාශියක් මෙහිදී වාර්තා විය. 
1983 ජූලි 30 වැනිදා කළු ජූලියේ වගකීම වමේ පක්ෂ මත පැටවූ එජාප රජය ජවිපෙ, කොමියුනිට්ස් පක්ෂය, නව සමසමාජ පක්ෂය සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තහනම් කළේය.   
1983 දෙසැම්බර් 27 වැනිදා පේරාදෙණිය සරසවිය තුළ පොලීසියක් ස්ථාපිත කෙරිණි. ඊට එරෙහිව පැවති උද්ඝෝෂණවලදී  පද්මසිරි අබේසේකර (ජුනි 19) සහ රෝහණ රත්නායක (ජුනි 21) යන සිසුන් දෙදෙනා ඝාතනයට ලක්විය. 
1987 ඉන්දු ලංකා ගිවිසුමට අත්සන් තබමින් ලංකාව පෙඩරල් රාජ්‍යයක් කිරීමට පසුබිම සැකසීම සිදුවිය. මේ දේශද්‍රෝහී ගිවිසුම අත්සන් තැබීමට පෙර සරසවි සිසුන් 88ක් ඇතුළු ඊට විරෝධය පළ කළ පිරිස් විශාල වශයෙන් අත්අඩංගුවට ගනු ලැබිණි.
1987 ජූලි 28 වැනිදා ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව කොටුවේ පැවති උද්ඝෝෂණයට වෙඩි තැබීමෙන් 121 දෙනෙක් මහ මග ඝාතනයට ලක්විය. අනතුරුව රට පුරා ඇතිවූ කලබලවලින් 132ක් මරණයට පත්වූ අතර, 712ක් අත්අඩංගුවට පත්විය. ජූලි 29 වැනිදා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් තැබිණි. 
රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීමෙන් මේ භීෂණ සමයේදී බටලන්දේ වධකාගාරයක් පවත්වාගෙන ගිය අතර, ඒ තුළ පුද්ගලයන් 100කට අධික ප්‍රමාණයක් ඝාතනයට ලක්ව ඇත.
1988 පළාත් සභා මැතිවරණය, 1988 ජනාධිපතිවරණය, 1989 පාර්ලිමේන්තු මැතිවරණය යන මැතිවරණ තුනම පවත්වන ලද්දේ භීෂණ සමයේ දැඩි ප්‍රජාතන්ත්‍ර විරෝධී පසුබිමක් යටතේය. ගිනි අවි රැගත් මැරයන් ඡන්ද පත්‍රිකා සියල්ල රැගෙන පෙට්ටි පිරවීමේ සිදුවීම් ගණනාවක් වාර්තා විය.
1977 සිට එජාපය ආ මේ ගමන දකුණේ දැවැන්ත සන්නද්ධ අරගලයකට පවා පසුබිම සකසමින් රට මහා ඛේදවාචකයට ගොදුරු කළේය. 1988 - 1989 කාලය තුළ ඇතිවූ සන්නද්ධ කැරුල්ල හේතුවෙන් පුද්ගලයන් 67652ක් ඝාතනයට ලක්විය. 
         මේ ලිබරල් යැයි කියන එජාපයේ කතාවෙන් බිඳකි. සිවිල් සමාජ අම්බරුවන් ප්‍රජාතන්තවාදය, යහපාලනය ඉල්ලා සරණ යන මහ දෙවොලේ  කතාවෙන් බිඳකි. ඒකාධිපති පාලකයන් ගැන හසරක් නොදැන බොරුවෙන් මුලාවූ නොදරුවන් 2015 රට ගොදුරු කළ රකුසාගේ කතාවෙන් බිඳකි. සර්ව සාධාරණ පාලකයන් ලෝකයේ සිටිය නොහැකිය. එසේ වුවද මේ සිදුවූ ම්ලේච්ඡ ක්‍රියාවලින් දාහෙන් එකක්වත් ඒකාධිපති යැයි කියන රාජපක්ෂ පාලනය තුළ සිදුවූයේදැයි කල්පනා කර බැලීම ඔබට භාරය. 





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'