Logo
2020 දෙසැම්බර් මස 4 වැනි සිකුරාදා

ටොයියෝ සහ බයියෝ

ඉසුරු ප්‍රසංග


බොහෝ දෙනා සිතන ආකාරයට බයියන් යනු මහින්ද පාක්ෂිකයන් වන අතර, ටොයියන් යනු යූඇන්පී හෝ ජේවීපී පාක්ෂිකයන්ය. නමුත් ටොයි බයි භේදය වනාහී මේ සරල බෙදීමට වඩා බොහෝ සංකීර්ණ සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික පදනමක් ඇත්තකි.

ටොයි බයි යන යෙදුම සුලබව භාවිතයට ගැනුනේ මෑතකදී වුවද මේ භේදයේ ඉතිහාසය යටත් විජිත යුගය දක්වාම ඈතට දිවෙන්නකි. විජාතිකත්වය හා ජාතිකත්වය අතර වන ඓතිහාසික ගැටුම ටොයි බයි භේදයේ සැබෑ පදනම වෙයි.

ලාංකේය දේශපාලනයේ ප්‍රධාන බල බෙදීම හෙවත් ප්‍රධාන ප්‍රතිවිරෝධය ටොයි බයි භේදයයි. පක්ෂ භේද, ජාති භේද, ආගම් භේද, පන්ති භේද ආදී සියලු බෙදීම් ඇත්තේ මේ මූලික බල බෙදීමට යටිනි.

ලංකාවේ බිහි වූ මුල් කාලීන පුවත්පත්, සඟරා, ප්‍රබන්ධ කතා, නවකතා ආදිය ගැන සලකා බලන්න. මේවා තුළ ටොයි බයි ගැටුම ඉතාම බරපතළ ආකාරයෙන් දක්නට ලැබේ. එකල මේ බොහෝ දේවල් බිහිවූයේ පවා ටොයි බයි ගැටුම මූලික පදනම කරගනිමිනි.

මුල් කාලීන ටොයියන් සම්භවය වූයේ විදේශ ආක්‍රමණිකයන්ට ගැතිකම් කළ පිරිස් අතරිනි. බයියන් වූයේ ඊට එරෙහිව දේශීයත්වය වෙනුවෙන් පෙනී සිටි පිරිසය. පසුව මේ මතවාද, සිරිත් විරිත් පරම්පරාවෙන් පරම්පරාවට ජානවලට, ලේවලට කලවම් වී පෙරට ආවේය.

එදා සිටම ටොයියන්ගේ දේශපාලන නියෝජනය කළේ එක්සත් ජාතික පක්ෂය විසිනි. පසුව එයින් කොටසක් බිඳී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවූයේ රටේ බහුතර බයියන්ගේ හඬට දේශපාලන නියෝජනයක් අවශ්‍ය වීමේ ඓතිහාසික අවශ්‍යතාව පදනම් කරගනිමිනි.

කොළ නිල් පක්ෂ දෙකම එක යැයි ජවිපෙ වැනි පක්ෂවල අය පැවසුවද මේ බලවේග දෙකෙහි ආකල්ප, සිතුම් පැතුම්, දේශපාලන හැසිරීම් අතර විශාල වෙනසක් තිබේ. 1994න් පසු යුගය තුළ ජනතා විමුක්ති පෙරමුණට ඉල්ලුමක් පැවතියේද පාරම්පරික ශ්‍රී ලංකා කාරයන් අතර පමණි. පාරම්පරික යූඇන්පී කාරයෙක් ජවිපෙට සම්බන්ධ වූයේ ඉතා කලාතුරකිනි. එය අහම්බෙන් සිදුවූවක් නොවේ.

මීළඟට ටොයියෝ සහ බයියෝ අතර ඇති මූලික වෙනස්කම් දළ වශයෙන් සලකා බලමු.
========================================

ටොයියෝ බොහෝ විට බටහිර සංස්කෘතිය, බටහිර ශිෂ්ටත්වය, ඉංග්‍රීසිය උසස් කොට සලකති. නමුත් බයියෝ ඒ සම්බන්ධව වෙනස් ආකල්ප දරන, බටහිර වන්දනාකරන මානසිකත්වයෙන් වෙනස් වූවෝ වෙති.

ටොයියෝ දේශීයත්වය, දේශීය දැනුම, අපේ දේවල් හෑල්ලු කොට සලකති. බයියෝ ඊට එරෙහිව දේශීයත්වය, අපේකම, අපේ දේවල් උසස් කොට සලකති.

ටොයියෝ බොහෝ විට සිංහල බෞද්ධ සංස්කෘතියට පහරදීම, සමච්චල් කිරීම හෙළා දැකීම සිදුකරති. බයියෝ ඊට ප්‍රතිපක්ෂව සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිති.

ටොයියෝ අධිරාජ්‍යවාදය කියා දෙයක් නැතැයි කියමින් විදෙස් අතපෙවීම් හා දේශප්‍රේමය විහිළුවට ලක් කරති. බයියෝ ඊට වෙනස්ව රටට අහිතකර විදෙස් මැදිහත්වීම්වලට එරෙහිව පෙනී සිටිති.

ටොයියෝ දෙමළ බෙදුම්වාදය, මුස්ලිම් අන්තවාදය වැනි සුළු ජාතික ජාතිවාදයන් සාධාරණීකරණය කරති. ආරක්ෂා කරති. බයියෝ බොහෝ විට සුළු ජාතික ජාතිවාදයන්ට දැඩිව පහර දෙති.

ටොයියෝ බොහෝ විට බලය බෙදීම වැනි ජාතිවාදී බෙදුම්වාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටිති. බයියෝ ඊට එරෙහිව රටේ ඒකීයභාවය වෙනුවෙන් පෙනී සිටිති.

උතුරේ ප්‍රශ්නය සම්බන්ධව ටොයියෝ බොහෝ විට දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට පක්ෂපාතී මතවාද නියෝජනය කළහ. බයියෝ ඊට එරෙහිව දෙමළ ජාතිවාදය, ත්‍රස්තවාදය පැරදවීම වෙනුවෙන් පෙනී සිටියෝය.

මුස්ලිම් අන්තවාදය සම්බන්ධව ටොයියෝ බොහෝ විට අන්තවාදයට හිතවත් හෝ එය අනියමින් සාධාරණීකරණය කරන ස්ථාවරයක් දැරූහ. බයියෝ ඊට දැඩිව එරෙහි වූහ.

සාමාන්‍යයෙන් ලංකාවේ ජාතිවාදී ආගම්වාදී ලක්ෂණ අඩුවෙන්ම ඇත්තේ සිංහලයන් අතර වුවද ටොයියෝ නිතරම සිංහලයාට පමණක් ජාතිවාදී චෝදනා එල්ල කරති. බයියෝ ඊට වෙනස්ව සැබෑ ජාතිවාදීන්ට ජාතිවාදීන් යැයි කියති.

ටොයියෝ තමන් ජාතිවාදයට විරුද්ධ යැයි නිතර කෑ මොර ගසමින් ක්‍රියාවෙන් අන්ත ජාතිවාදය, ආගම්වාදය ආරක්ෂා කරන පිරිසක් වෙති. බයියෝ තමන් ජාතිවාදයට විරුද්ධ යැයි නිතර කෑ කෝ නොගැසුවද ක්‍රියාවෙන් ජාතිවාදයට විරුද්ධව සැබෑ ජාතික සමගිය ආරක්ෂා කරති.

ටොයියන් අතර සිටින සුපිරිම ජාතිවාදීන් හමුවන්නේ නූගත් ටොයියන් අතරින් නොව උගත් බුද්ධිමත් විචාරශීලී යැයි කියාගන්නා ටොයියන් අතරිනි. නමුත් බයියන් අතර ජාතිවාදීන් හමුවනුයේ උගතුන් අතර නොව සමාජ දේශපාලන අවබෝධය අඩු නූගත් පිරිස් අතරිනි.

ටොයියෝ බොහෝ විට ආර්ථික ලිහිල්කරණය, බහුජාතික සමාගම්, පෞද්ගලීකරණය වැනි විජාතික ගැති නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටිති. බයියෝ ඊට එරෙහිව ශක්තිමත් ජාතික ආර්ථිකයක් වෙනුවෙන් පෙනී සිටිති.

ටොයියෝ නිතර නූතනවාදී ලිබරල්වාදී වටිනාකම් ගැන කතා කරති. බයියෝ ඒ පිළිබඳ දරන ආකල්ප ඊට තරමක් වෙනස් වුවද ප්‍රායෝගිකව ලංකාවේ එම වටිනාකම් ආරක්ෂා කර ඇත්තේ ටොයි කඳවුරට වඩා බයි කඳවුර විසිනි. ලංකාවේ ලිබරල් යැයි කියන එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය දෙස බලන්න. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍යය, නීතියේ ආධිපත්‍යය, සහජීවනය, ජාතිවාද ආගම්වාද පිටුදැකීම ආදී නූතනවාදී ලිබරල් වටිනාකම් ඉතිහාසය පුරා වැඩියෙන්ම උල්ලංඝනය කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය විසින් නොවේද?

සමහර ටොයි මතවාද බැලූ බැල්මට ලස්සන හා ප්‍රගතිශීලී බව ඇත්තකි. එහෙත් අපට අදාළ සන්දර්භය නොතකා අවිචාරයෙන් ඒවා භාවිතා කරන්නට යාම හානිකරය. අනාගමික රාජ්‍ය සංකල්පය යුරෝපය තුළ ඓතිහාසිකව මතු වූයේ ප්‍රගතිශීලී අදහසක් වශයෙනි. නමුත් ලංකාවේ ඊනියා රැඩිකල් නිරාගමිකයන් එය ආගමික අන්තවාදයේ ආයුධයක් ලෙස භාවිතා කිරීම මීට උදාහරණයකි.

ටොයියන් නිතරම අනෙක් අයට වහලුන්, වහලුන් යැයි කෑ මොර දුන්නද දේශපාලනයේදී සුපිරිතම වහලුන් හමුවන්නේ ටොයියන් අතරිනි. විචාරශීලීව මොන තරම් ඇත්ත කරුණු පෙන්වා දුන්නද ටොයියෙක් වෙනස් කිරීම ඉබ්බෙක්ගෙන් පිහාටු ඉල්ලා ගැනීමටත් වඩා අසීරුය.

අපේ රටේ වාමාංශිකයෝ ඉතිහාසය පුරා වරින් වර මේ කඳවුරු දෙකම නියෝජනය කර ඇත. බයි කඳවුර නියෝජනය කිරීම වමේ පක්ෂවල සාර්ථකත්වයට හේතු වූ අතර, ටොයි කඳවුර නියෝජනය කරන්නට යාම ඒවායේ අන්ත පරාජයට හේතුවී ඇත.

ජනතා විමුක්ති පෙරමුණ එදා බයි කඳවුර නියෝජනය කිරීම ඔස්සේ ජය පිට ජය ලබමින් පෙරට ගිය අතර, ටොයි කඳවුර හා සමපාත වූ දා සිට වේගයෙන් පල්ලම් බැස සීයට තුනේ ජය කණුව කරා සම්ප්‍රාප්ත විය.

ඕනෑම රටක් දියුණු කළ හැක්කේ ප්‍රධාන වශයෙන්ම බයිකම හෙවත් ජාතිකත්වය ආරක්ෂා කරගනිමින් ඒ මත පදනම්ව පෙරට යාමෙනි. එහෙත් බයිකමේ අනිසි අන්තයන්ට යාමද වැරදිය. අප මුහුණ දෙන අනාගත අභියෝගයන්ට හා නූතන ලෝකයට ගැලපෙන සේ ටොයි බයි මතවාද දෙකම තැනට සුදුසු ලෙස විචාරශීලීව භාවිතයට ගැනීමෙන් රටක් වශයෙන් අපට අපේ මාවත පාදා ගත හැකි වනු ඇත.

ඉසුරු ප්‍රසංග

(ඡායාරූපයේ වම් පස සිටින්නේ ඇල්. අයිසෙක් සිල්වාය. ඔහු ටොයි අදහස් දරමින් ලේඛනයේ නිරත වූ මුල් කාලීන ප්‍රබන්ධ කතා රචකයෙක් වන අතර දකුණු පස සිටින්නේ බයි අදහස් දැරූ රචකයෙක් වන පියදාස සිරිසේනය.)





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'