මානව හිමිකම් රකිමින් ලෝකයේ දරුණුම ත්රස්තවාදීන් පිරිසක් පුනරුත්ථාපනය කළ රට ලෙස ශ්‍රී ලංකාවට පිළිගැනීමක් ලැබුණා - අග්‍රාමාත්‍යතුමා
මානව හිමිකම් රකිමින් ලොව දරුණුම ත්රස්තවාදීන් පිරිසක් කිසිඳු ගැටළුකාරී තත්ත්වයකින් තොරව පුනරුත්ථාපනය කළ රට ලෙස ශ්‍රී ලංකාවට ලොව ඉදිරියේ පිළිගැනීමක් ලබා ගැනීමට හැකියාව ලැබුණු බවත්, ඒ සියල්ල සඳහා හිටපු අමාත්‍ය දිවංගත චන්ද්‍රසිරි ගජධීර මහතාගේ දේශපාලන උගත්කම, මහත්මා ගුණය සහ නායකත්වය හේතු වූ බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (06-09) දින දිවංගත චන්ද්‍රසිරි ගජධීර මහතාගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණ උත්සවයට සහභාගී වෙමින් ප්‍රකාශ කළේය.
“ යුද්දේ ඉවරවෙන කාලෙ වෙන කොට චන්ද්‍රසිරි ගජධීර මහතා බන්ධනාගාර පුනරුත්ථාපන ඇමැති. එතුමාට භාර වුණා මේ රටේ දහතුන්දාහක් පමණ වන එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පුනරුත්ථාපනය කරන්න. ඒක ඉතාම වගකීමක් ඇතිව කළ යුතු රාජකාරියක් වුණා. එතුමාගේ කාලය තුළ කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැති විධියට දහතුන්දාහක් එල්ටීටීඊ සාමාජිකයින් පුනරුත්ථාපනය කරලා නිදහස් කළා. “ යැයි ද අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේය.
මාතර උයන්වත්ත එච්. කේ. ධර්මදාස ක්‍රීඩාංගනයේ පැවති මෙම වර්ෂ පූර්ණ ගුණානුස්මරණයට එක් වෙමින් අග්‍රාමාත්‍යතුමා චන්ද්‍රසිරි ගජධීර මහතාගේ රුව සහිත ඡායාරූපයකට පුෂ්පෝපාහාර දැක්වීය.
මෙම අවස්ථාව සඳහා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ, නිපුන රණවක, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර, වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහත්වරුන්, චන්ද්‍රසිරි ගජධීර මහතාගේ පවුලේ සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
06-09-2020
Copyright © 2014-2022 Helabima. All rights Reserved.