Helabima

කොටි 142 ක් වටිනා අශ්වයා කාගේද





“මැටිල්ඩා සමඟ තරගයට යන අශ්වයා ලෝකයේ අංක එකේ අශ්වයෙක්. අවුරුදු 12ක් පමණ වයසැති අශ්වයා පිරිමි සතකු නිසා මිල අධිකයි. හොඳම ජවයක් ඇති හයිබ්‍රිඩ්

අශ්වයෙක් සමඟ මැටිල්ඩා ශ්‍රී ලංකා ධජය අතැතිව ටෝකියෝ තරග බිමට පිවිසෙන එක ආඩම්බරයක්”

ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළට ජර්මනියේ සිට ශ්‍රී ලාංකේය ක්‍රීඩිකා මැටිල්ඩා තනූජා කාල්සන් යුරෝ මිලියන 6ක් (ශ්‍රී ලංකා මුදලින් කෝටි 142ක්) වටිනා අශ්වයකු සමඟ පැමිණියේ හිස් අතින් යන්නට නොවන බව පවසයි. අශ්වාරෝහක ඉසව්වෙන් ඔලිම්පික් උලෙළකට ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබූ පළමු ක්‍රීඩිකාව ලෙස ඇය ඉතිහාසයට එක්ව ඇති අතර, මෙවර කෙළින්ම ටෝකියෝ ඔලිම්පික් සරිසාධන මට්ටමට ළඟා වූ පළමු ශ්‍රී ලාංකිකයා ඇය වූවාය.

ඇයගේ සහකරු මැන්ෆ්‍රඩ් වොන් ඇල්වර්ඩන් ජර්මනියේ අශ්වයන් අභිජනනය කරන ධනවත් ව්‍යාපාරිකයකු වන බැවින් මැටිල්ඩා තනූජාට තම තරග ඉසව්ව වෙනුවෙන්ම සුදුසු අශ්වයා තෝරා ගැනීමේ හැකියාව උදා වී ඇත. ඇය මේ අසු පිට නැගී හෙට (3) දිනයේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට ටෝකියෝ නුවර අශ්වාරෝහක ක්‍රීඩා පිටියේ සුදුසුකම් ලැබීමේ මූලික වටයට පිවිසේ. එම වටයට ක්‍රීඩිකාවන් 75ක් ඇතුළත් වන අතර, ඉන් 30ක් තෝරා එයින් වැඩිම ලකුණු ලැබූ තිදෙනාට රන්, රිදී හා ලෝකඩ පදක්කම් පිරිනැමීම සිදු වේ.

ජර්මනියේ පදිංචි වී සිටින මැටිල්ඩා 1984 සැප්තැම්බර් 27 වැනිදා මහනුවරදී උපත ලැබූ අතර, වසර ගණනාවක් තිස්සේ ජර්මනියේ අශ්වාරෝහක ක්‍රීඩා පුහුණුවීම්වල යෙදී සිටින්නීය. ඇයට මාස තුනක් ගතවෙද්දී ඇගේ ශ්‍රී ලාංකේය මව්පියන් යුවළ ආර්ථික අපහසුතා හේතුවෙන් ස්වීඩන යුවලකට දරුකමට හදා ගැනීමට දී ඇති අතර, පසුව මැටිල්ඩා තනූජා කාල්සන් යන නම තබා ඇත. 37 හැවිරිදි මැටිල්ඩා අශ්වයන්ට ඇගේ ආදරය හා කරුණාව දැක්වූ බවත් පසුව එය ක්‍රීඩාවට වර්ධනය කර ගත් බවත් සඳහන් කළාය.

ඇයට ටෝකියෝ ගමන මහත් බාධක සහිත එකක් වූ අතර, පසුගිය වසරේ ජනවාරි මාසයේදී ඔලිම්පික් සුදුසුකම් ලැබූ මැටිල්ඩා කාල්සන්ගේ නම මාස තුනක් පමණ ගතවෙද්දී අන්තර්ජාතික අශ්වාරෝහක සම්මේලනය ඉවත් කළ අතර, ඇය එම අසාධාරණයට එරෙහිව ලූසෑන්හී පිහිටි ක්‍රීඩා බේරුම්කාර මණ්ඩලය හමුවේ නඩුවක් ගොනු කළාය. එහිදී විභාග වූ නඩුවේදී කාල්සන්ගේ නම ඉවත් කිරීම අසාධාරණ නොවන බවට අන්තර්ජාතික අශ්වාරෝහක සම්මේලනයට පක්ෂව තීන්දුව ප්‍රකාශයට පත් විය. එහෙත් පරාජය නොපිළි ගත් ඇය එම නඩු තීන්දුව පිළිබඳ සෑහීමකට පත් නොවී අභියාචනාවක් ඉදිරිපත් කිරීමට පියවර ගත්තාය.

මැටිල්ඩා කාල්සන් වෙනුවෙන් ස්වීඩනයේ නීතිඥයන් පිරිසක් මේ නඩුව ඉතා සාර්ථක ලෙස ගොනු කිරීමෙන් අන්තර්ජාතික අශ්වාරෝහක සම්මේලනයේ තර්ක සියල්ල පුස්සක් බවට පත් වී ඇයට ඔලිම්පික් දොරටු විවර විය. මේ නඩුව සඳහා ද ඇය කෝටියකට අධික මුදලක් වැය කළ බව සඳහන් වේ.

අන්තර්ජාතික අශ්වාරෝහක සම්මේලනය හදිසියේම ශ්‍රේණිගත කිරීම් අනුපිළිවෙළ වෙනස් කිරීමෙන් මැටිල්ඩා කාල්සන්ගේ නම පහළට ඇද වැටුණු අතර, එමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවට බලවත් අසාධාරණයක් සිදුව ඇති බවට නීතිඥවරුන්ගේ තර්කය වූහ. අවසානයේ මැටිල්ඩා එම සියලු බාධක මැඩ ටෝකියෝ නුවරට පැමිණ ඇත.

“ශ්‍රී ලංකාවේ ඉපදී මාස තුනකින් පසු මේ දක්වා මා ස්වීඩනයේ ඉතා ආදරණීය පවුලක හැදී වැඩීමට වාසනාවන්ත වුණා. මා හදාවඩා ගත් මව හා පියා දරුවකුට ලැබිය යුතු ආදරය සෙනෙහස හා සියලු සහයෝගය මට දුන්නා. මම අද ඔලිම්පික් වරම් ලැබීම දක්වා විශාල ගමණක් පැමිණියේ මගේ ස්වීඩන් පවුලේ අය මට දුන් අවස්ථාව හා සහයෝගය නිසයි. ඒ වුණත් අවසානයේ මා තෝරා ගත්තේ හැදුණ වැඩුණ රට නොවෙයි. මා ඉපැදුන රටේ සිංහ කොඩියයි” මැටිල්ඩා සඳහන් කළාය.

“මගේ හදවතේ විශාල කොටසක් සැමවිටම ස්වීඩනයට අයත් වෙනවා. මොකද මා හැදී වැඩුණේ එතැන. මා සියලු දේ ඉගෙන ගත්තේ ස්වීඩනයෙන්. ඒ වුණත් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම ගැන මා ආඩම්බර වෙනවා” මැටිල්ඩා පැවසුවාය.

අශ්වාරෝහක ඉසව්වලින් ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළට ඉන්දියාව හා පාකිස්තානය වැනි දකුණු ආසියා රටවලින් ද ක්‍රීඩකයකු බැගින් සුදුසුකම් හිමි කර ගෙන ඇති අතර, රටවල් 200කින් රටවල් 50ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මේ වන විට අශ්වාරෝහක ඉසව්වලට සුදුස්සන් වී සිටිති.

“ඉදිරියේදී තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අශ්වාරෝහක ක්‍රීඩාවෙන් අන්තර්ජාතික තරගවලට යැවිය යුතුයි. දැනට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ‍ෙදහසක් පමණ මේ ක්‍රීඩාව කිරීමට අපේ සංගමයට බැදී සිටිනවා. නමුත් ක්‍රීඩා පිටියක් නෑ. දියගම ක්‍රීඩා සංකීර්ණය ආශ්‍රිතව අපට ඉඩමක් ලැබුණා. එහි ඉදිකිරීම සිදු කළා. එහෙත් එය තාවකාලිකව නැවැතුණා. ඒ ඉඩම යළි ක්‍රීඩා ඇමැතිතුමා දුන් පසුව අශ්වාරෝහක ක්‍රීඩාව දියුණු කළ හැකියි” අශ්වාරෝහකයන්ගේ සංගමයේ සභාපති සුරංජිත් ප්‍රේමදාස මහතා ටෝකියෝ නුවරදී ‘දිනමිණ’ට පැවසීය.

“මැටිල්ඩා සමඟ තරගයට යන අශ්වයා ලෝකයේ අංක එකේ අශ්වයෙක්. අවුරුදු 12ක් පමණ වයසැති අශ්වයා පිරිමි සතකු නිසා මිල අධිකයි. හොඳම ජවයක් ඇති හයිබ්‍රිඩ් අශ්වයෙක් සමඟ මැටිල්ඩා ශ්‍රී ලංකා ධජය අතැතිව ටෝකියෝ තරග බිමට පිවිසෙන එක ආඩම්බරයක්” ප්‍රේමදාස මහතා පැවසීය.
       උපුටා ගැනීම දිනමිණ පුවත්පත  







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us