Helabima

ඉදිරි අවුරුදු තුන තුල රැකියා ගැටලුවට තිත





මෙරට 28% ක්  පමන  විරකියා ගැටලුවකින් පෙලෙන අතර ඉදිරි තෙවසර තුල ඒ අගය 12% දක්වා අඩු කරගත හැකි බව වෘත්තීය මාර්ගෝපදේශ සතිය  වෙනුවෙන් මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව  මෙහෙය වූ   උත්සවයකදී  මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ දී තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ  ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේය 


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා 


අද තරුණයා නූතනත්වය සමග නව්‍යකරණය විය යුතු බව මම විශ්වාස කරනවා. මෙම නූතනත්වය හා නව්‍යකරණය කරා යන ගමනේදී අපේ රටේ තරුණයාගේ අනාගතය ගොඩනගා ගන්නේ කෙසේද, අනාගතය සැළසුම්කරගත යුත්තේ කෙසේද යන කාරණා පිළිබදව අපි වැඩි අවධානයක් යොමු කළා.

ඉතිහාසයේ තුළ ඒ සඳහා අවධානයක් යොමු නොවීම නිසා නොයෙක් අවස්ථාවල විරැකියා ප්‍රශ්නය, රැකියා වෙළඳපොළට සරිළන ශ්‍රමිකයින් නොමැතිකම, රට තුළ ව්‍යවසායකයින් අඩු වීම, පවතින ව්‍යවසායකයින්ට වෙළඳපොළ නොමැතිවීම වැනි විවිධ අභියෝගවලට මුහුණපාන්න සිදු වී තිබෙනවා.

ගමේ එක දරුවෙක් දොස්තර කෙනෙක් වුණාම ගමේ හැමෝම උත්සහා කරන්නේ තමන්ගේ දරුවා දොස්තර කෙනෙක් කරන්න. එක ළමයෙක් ක්‍රිකට් ගහලා ජාතික කණ්ඩායමට තේරුණොත් මුලු ගම ම ක්‍රිකට් ගහන්න ගන්නවා. මේ ක්‍රමය වෙනස් කර එක් එක් පුද්ගලයාගේ දක්ෂතාවය මත තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්න අවශ්‍යයි.

මීට පෙර බොහෝදුරට මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවෙන් සිදු වුණේ තරුණයන්ව රැකියාගත කිරීම සදහා සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමයි. මම අමාත්‍යාංශය භාර ගත්තාට පසු මෙම ක්‍රමවේදය වෙනස් කර මේ ආයතනයෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපි තීන්දු කළා. මෙම දෙපාර්තමේන්තුවට අනුබද්ධ නිළධාරියෙක් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට ම ඉන්නවා.

දරුවන්ට, පාසල් අවධියේ සිට ජීවිතය ගොඩනගා ගන්නේ කෙසේද තම තමන්ගේ හැකියාවන් මොනවාද ඒ තුළ තමාට ගොඩනගා ගත හැකි අනාගතය කුමක්ද කියන කාරණය පිළිබදවත් අදහසක්, බලාපොරොත්තුවක් ලබා දිය යුතුයි.

එලෙස පැවැත්වූ එක් වැඩසටහනක ජයග්‍රහණ ලැබූ සියලු දෙනා අද ඇගයීමට ලක් වුණා. ඔවුන්ට සුබ පැතුම් එක් කරන ගමන් අධ්‍යක්ෂතුමියටත් ස්තූතිවන්ත වෙනවා මේ සදහා තමාගේ කාර්‍යමණ්ඩලය සමගින් උපරිමයෙන් කටයුතු කිරීම සම්බන්ධව. ඒ හරහා අපේ ඉලක්කයන් වෙත යන්න මෙම ආයතනය හැඩ ගැසී තිබෙනවා.

එක් කණ්ඩායමක් ලෙස මේ සියලු වැඩ කටයුතු සාර්ථක කරගන්න නොයෙක් ක්ෂේත්‍රයන් වල 40,000 කට වැඩි පිරිසක් සම්බන්ධ වුණා. කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා නව තාක්ෂණය උපයෝගී කර‍ගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක වුණා. මේ සදහා කැපවූ සියලුදෙනාට මම ස්තූතිවන්න වෙනවා.

මේ ආයතනය හරහා ඉදිරියේදී වැදගත් වැඩසටහන් රාශියක් දියත් කිරීමට බලාපොරොත්තු වෙනවා. තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, යෞවන සමාජ ව්‍යාපාරය, යොවුන් පාර්ලිමේන්තුව, තරුණ සේවා සභාව, යොවුන් සේනාංකය වැනි මේ සියලුම ආයතන එකට එකතු කරගෙන මේ ගමන අපි ඉදිරියට යා යුතු බව මා දැඩි සේ විස්වාශ කරනවා.

අපේ රටේ දැනට රැකියා ප්‍රශ්නය 28% පමණ ඉක්මවා ගිහින් තිබෙන බව දැනට ලැබී තිබෙන සංඛ්‍යා ලේඛනවලින් වාර්තාවෙනවා. මෙය ඉදිරි අවුරුදු තුන, හතර තුළ 12% කටවත් අවම කරගැනීමට හැකිවුණොත් 2030 වසර වනවිට 5% ක වැනි අඩු මට්ටමකට ගෙනියන්න පුලුවන් වෙයි කියා අපි විස්වාශ කරනවා.

එවැනි ඉලක්කයන් වෙත යාමට අපි වැඩ කටයුතු සිදු කරගෙන යනවා. ඒ සදහා සැවොම කැපවෙමු. දෙපාර්තමේන්තුවක් ලෙස ඔබ සියලුදෙනාගේ වැඩ කටයුතු අපි අගය කරනවා‘‘ යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන් මහතා, මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය ඇතුළු දෙපාර්තමේන්තුවේ නිලධාරි මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි වූහ.

– මාධ්‍ය ඒකකය‘


  




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us