Helabima

වසන්තිට ගෙනිච්ච දිවුල් ගෙඩියෙන් නිළියක් වූ විශාඛා





මෙරට උසම සිනමා නිළිය ඇයයි. ඒ උස 5'9"කි.  උසට සරිලන හැඩති නම්‍යශීලි නාරි දේහයක් ද ඇය සතුවිය. සනසන්න මා", "සුර දුතියෝ" චිත්‍රපටවල ප්‍රධාන චරිත මෙන්ම "සසර චේතනා", "සඳ මඩල", "සත්‍යා දේවි" සහ "ඇහැළේපොළ කුමාරිහාමි" වැනි චිත්‍රපටවල උප ප්‍රධාන චරිත රඟපෑ ඇය සරසවිය සිනමා සම්මාන උළෙලේ නැගී එන නිළිය සම්මානයෙන් ද පිදුම් ලැබුවාය. මේ ලාංකේය සිනමාවේ ආදරණිය ප්‍රවීණ රංගන වේදිනිය විශාඛා සිරිවර්ධනයන්ය. කලක් රංගයෙන් ඈත් වුවත් පසුව නැවත ටෙලි නාට්‍ය කිහිපයකින් දැක ගැනීමට හැකි විය. ලංකේය කලාවට උරුම වූ මේ කලාකරුවන්ගේ විශේෂත්වය වන්නේ ඔවුන් දක්නට නොසිටියත් ඔවුන්ව රසිකයන්ගේ හදවත් හි සදා අමරණිය චරිත බවට පත් වීමට සමත් වීමයි. අද බිහිවන තරු චීන පටස් මෙන් පත්තු වී දවසින් දෙකින් නිවී යද්දී මොවුන්ගේ තරු ගුණ සදාකල්හිම එක හා සාමානව රැඳෙති. දක්‍ෂතාවය, නිර්ලොබීත්වය, මිත්‍රශීලි අවංක බව මේ සියල්ල ඇය තුල වුයේ රුව ගුණ එක සමාන වෙමිනි.   "මම හැම එකම භාර ගන්නේ නැහැ නංගි, අනිවාර්යෙන් තෝරනවා. මට රැල්ලට යන්න ඕනෙත් නැහැ" වරක් ඇය කියූ සැටි මතකය.  

කටුපොත මුල් ගමින් පසු කලගෙඩිහේන ගම කර ගත් විශාඛාගේ පියා පුවත්පත් කතෘවරයෙක් මෙන්ම විදුහල්පතිවරයකි. සිරිවර්ධන මහතාට සහ ලීසි සිරිවර්ධන මියට දාව දරුවන් 9 දෙනෙකුගෙන් යුත් පවුලේ 7වැනියා වූ රූමත් විශාඛා කටුපොත තිස්ස මහ විදුහලෙන් සිප්සතරට මෙන්ම ක්‍රීඩාවෙන් ද කැපී පෙණෙන ශිෂ්‍යාවක් විය. උසස් පෙළ පළමු වරින් විශ්ව විද්‍යාල වරම් නොලැබුණ නිසා නැවත ඒ සඳහා  සුදානම් වීමේ අපේක්‍ෂාවෙන් පංති යන කාලයේදී ප්‍රවීන අධ්‍යක්‍ෂක මිල්ටන් ජයවර්ධනගේ ආරාධනයෙන් නිළියක් වුවාය.

ඇයගේ කලා ගමනේ ආරම්භයද තිර පිටපතක් මෙන් ලස්සනය. "උසස් පෙළට දෙවැනි පාරට පංති යනකොට අපේ ඥාතියෙක් ගෙදර චිත්‍රපටයක් ශුට් කළා. ඕක බලන්න ගියාම එකේ රඟපෑ වසන්ති චතුරාණි මගෙන් ඇහුවා ගෙදර දිවුල් තියෙනවා ද කියලා. අපේ ගෙදර දිවුල් තියා දිවුල් ගහක්වත් නැහැ. පහුවදා කඩෙන් අරන් ගිහින් දිවුල් දීලා වසන්තිව යාලු කර ගත්තා. වසන්ති එක්ක කතා කරකර ඉන්න වෙලාවක තමයි සමාවෙන්න චිත්‍රපටයේ අධ්‍යක්‍ෂක මිල්ටන් ජයවර්ධන රඟ පාන්න කැමති නැත්ද කියලා අහාලා ෆොටෝ එකක් ගෙනත් දෙන්න කිවුවා. ගෙදර එහෙම ෆොටෝ එකක් තිබ්බේ ත් නැහැ දෙන්න. පහුව දා පන්තියනවා කියලා ගිහින් ෆොටෝ එකක් අරන් ගිහින් ඔහුට දුන්නා. එහෙම තමයි ඔහු මාව තෝරා ගත්තේ. පසුව අනුරාධා චිත්‍රපටය ඇතුළු චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබී ඇය රංගන කාර්යයේ දිගටම නියලුනාය.

මේ සුරදුතයෝ චිත්‍රපටයට ඇයගේ කලාවේ සුවිශේෂී සංධිස්ථානයක් විය. කාලයක් පුරාවටම තිබූ ප්‍රේමයට ගෙදරින් අකමැති වුණත් ඇය ඔහු සමඟ විවාහ වුවාය. ජනප්‍රියත්වය මත විවිධ යෝජනා ලැබුණිද සියල්ල ප්‍රතික්ෂේප කරමින් විශාඛා තනි තීරණයක් ගෙන ඔහු සමඟ විවාහ වී රංගන ද පසෙකලා පුද්ගලික ජිවිතයටම වෙන් වී ජීවිතය ගත කළ දහිරිය සම්පන්න ආදරණිය බිරිඳක් වුවාය. රිය අනතුරකට ලක් වීම එසේ දෙමව්පියන් ඔවුන්ගේ කසාදයට විරුද්ධ වීමේ මුලික කරුණ බවට පත් වුවත් කාලයත් ගෙවෙද්දී ඔවුන්ට දෙමව්පියන්ගේ ආශීර්වාදය නොමඳව ලැබුනේය. විවාහයට කැප වෙන ඇය සුරදුතියෝ චිත්‍රපටයෙන් පසු වසර 13ක් පමණ ඇය රංගනයෙන් ඉවත්වී පසුව මාලනී ෆොන්සේකාගේ ආරාධනයෙන් සඳ මඩල චිත්‍රපටයෙන් නවන රංගනයට පිවිසුණාය. රංගන ශිල්පිනියක් මෙන්ම ගායිකාවක් ලෙසට ද බෙහෙවින්ම ජනප්‍රිය වූ මැයට මුළු දිවයිනටම සාමවිනිසරු තනතුරක් ද ඇත. එමෙන්ම පසුගිය කාලයේදී වේදිකා නාට්‍ය නිෂ්පාදනයට ද අත ගසා තිබිණි. බහුවිධ දක්ෂතා රැසකින් පිරිපුන් විශාඛා බෙහෙවින්ම රසික ආදරය දිනා ගත් රුවත්තියකි. 

1982 වසරේ සිනමා දිවියට පිවිසි විශාඛා සිරිවර්ධන මේවන විට අප අතර නැත. ඇය ඊයේ 23වන දා (ඔක්තෝම්බර් 2021) ජිවන රඟමඩලට සමු දුන්නාය.
ඒ දරුණු කාලකන්ණි පිළිකා මාරයාට බිලි වෙමිනි. සිනමාව පමණක් නොව ටෙලිනාට්‍ය බොහොමයකට තම දායකත්වය ලබා දුන් ඇයගේ භාෂා හැසිරවීම, කටහඬහි ඇති විශේෂත්වයක් ද විය. ඇයටම අවේනික වූ රඟ කෞශල්‍යක් නිරන්තරයෙන් ප්‍රගුණ කරමින් මැය ලාංකේය කලාවට ඉටු කල සේවාව අතිමහත්ය. චිත්‍රපට ගැන කතා කිරීමේදී අනුරාධා, සුරදූතියෝ, රන්දම්වැල්, සඳමඩල ආදීය සුවිශේෂී විය. සිනමාවේදී චිත්‍රපට 30කට වැඩි සංඛ්‍යාවකට ඇය රංගනයෙන් දායක වී තිබේ. 

සිංහල සිනමාවේ දැවැන්ත චරිතයක් මෙලෙස අපෙන් වෙන් වුවත් ඔබ මැවූ ඒ රටා සදා අමරණිය වනු ඇත.
හෙළබිම අපි ඔබට නිවන් සුව පතන්නෙමු.. 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us