Helabima

ශ්‍රී ලාංකීය සිනමාව නවමු මානයකට රැගෙන යන පුබුදුගේ මායා 2





ශ්‍රී ලාංකීය සිනමාව ජාත්‍යන්තර ප්‍රේක්ෂකාගාරය වෙත රැගෙන යාමේ අරමුණ පෙරදැරිව ලාංකීය ප්‍රකට චිත්‍රපට සමාගමක් වන THICO FILMS ඉදිරිපත් කරනු ලබන දැවැන්ත සිනමා නිර්මාණය " මායා 2" ඇරඹීමට සූදානම් වන මොහොතක ඒ ගැන කතා කරන්නට හිතුවා.

 

එහි සමාරම්භක මොහොත පසුගිය 19 වැනි දා රාත්‍රී 7ට කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී පැවැත්වුණා. එහි අධ්‍යක්ෂක ප්‍රවීණ රංගන ශිල්පී පුබුදු චතුරංග, නිෂ්පාදක ආචාර්ය ඉසුරු බණ්ඩාර, Thico Films සභාපතිනි තිලිනි ප්‍රියමාලි ඇතුළු ශ්‍රී ලාංකීය කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

මායා චිත්‍රපටියෙ පළමු කොටස ඔබට මතක ඇති. කළුවරට පණ බය මාලන් ක්‍රීඩාවට ගිය මොහොතක අද්භූත බලවේගයක් නිවසට රැගෙන ඒමත්, එය ඔහුගේ ජීවිතය වෙනස් කරගන්නට හේතු පාදක වුණු අපූරු කතාව ඔබගේ මතකෙන් ගිලිහෙන්න කොහෙත්ම විදිහක් නැහැ.

ඒ චිත්‍රපටියේ අවසානය වනවිට එම බලවේගය සහ මාලන් එකිනෙකා හඳුනා ගන්නවා. දෙදෙනාම එකතුව අයුක්තියට අසාධාරණයට විරුද්ධව ධර්මය මෙහෙයවනවා. ඒ බව අපි මායා චිත්‍රපටයේ පළමු කොටස අවසානයේදී දුටුවා.

කාලය  ගෙවී ගිහින්, අද මාලන් සහ මායා දෙදෙනාම එකතු වෙලා සමාජ විරෝධී බලවේග වලට එරෙහිව සටන් කරමින් සිටියදී ඒ කරන ලද යහපත හේතුවෙන් මායා ගේ ආත්මය නිදහස් වෙනවා. ඒ සමගම කෘර වූ ලෝකයා මැද තනිව අසරණ  වෙන මාලන් සමඟ මායා 2 කතා මාලාව ආරම්භ වෙනවා.

මාලන් ගේ පෙම්වතිය ශයිනි ඔහු හැර දමා රට යනවා. ඒ ආතතීන් හමුවේ මිතුරන් සමග දුක නැති කරන ක්‍රම හොයන මාලන්ට ඉන්ද්‍ර නැමැති  මැජික් ශිල්පියකු හමුවන්නේ අහම්බෙන්. ඔහුගෙන් මැජික් ඉගෙන ගත් මාලන්ට මැජික් සංදර්ශනයක් අතරතුර අමුතුම කෙල්ලක් හමු වෙනවා, ඇය අනුකි.  

 

අනුකි ට මියගිය ආත්ම දැකීමේ පුදුමාකාර වූ හැකියාවක් තියෙනවා. ඔය අතරතුර ඇය පසුපස එක් භයානක ආත්මයක් හඹා එනවා. ඇය වෙත කිසිම පිරිමියෙකු ළං වෙනවාට ඒ ආත්මය කැමති නැහැ. ඒත්  මාලන් අනුකි එක්ක යාළු වෙනවා. ඔහු පසු පසද මේ ආත්මය හඹා එනවා.

ඇත්තටම අනුකි පසුපස එන මේ ආත්මය  කවුද? ඒ සැඟවුණු කතාව මොකක්ද? මේ සියල්ලටම උත්තර මායා  2 අවසානයේ ඔබ ඉදිරියේ විරාජමාන වෙනවා. ත්‍රාසය භීතිය කුතුහලය පිරුණු විනෝදාත්මක පවුලේ කතාවක් විදිහට හඳුන්වා දිය හැකි මායා 2 චිතපටයේ සමාරම්භක මොහොත තමයි පසුගියදා ශ්‍රැංගිලාහි  දී පැවැත් වුණේ.

ලංකාවේ සහ ඉන්දියාවේ රූගත කිරීම සිදු කිරීමට නියමිතව ඇති මෙම සිනමා පටය ලාංකීය සිනමාවට නව ආරම්භයක් අරගෙන එනවා නිසැකයි. මෙහි කතාව දෙබස් තිර රචනය සහ අධ්‍යක්ෂණය සිදු කරනු ලැබුවේ සම්මානනීය රංගන ශිල්පී පුබුදු චතුරංග විසින්.කැමරාකරණය සරවනන් නමරාජන් (ඉන්දියාව) සහ ධම්මික රත්නායක විසින් සිදුකරනු ලබනවා. සහය අධ්‍යක්ෂණය ඩොනල්ඩ් ජයන්ත, වේශ නිරූපණය නලින් ප්‍රේමතිලක, කලා අධ්‍යක්ෂණය ඇහැලියගොඩ සෝමතිලක, නිෂ්පාදන  කළමනාකරණය අශෝක ආරියරත්න, සංගීත අධ්‍යක්ෂණය BNS, ගීත නිර්මාණය චරිත අත්තලගේ,  චින්තක  ජයකොඩි සහ පසන් ලියනගේ විසින් සිදු කරනු ලබනවා.

මෙහි රංගනය වෙනුවෙන් පුබුදු චතුරංග, රංජන් රාමනායක, මාෂි සිරිවර්ධන, මහේන්ද්‍ර පෙරේරා, නිල්මිණි කෝට්ටේගොඩ, ගිරිරාජ් කෞෂල්‍ය, උපේක්ෂා ස්වර්ණමාලි, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ලකී ඩයස්, ජනක රණසිංහ, ශ්‍රීමාල් වෙඩිසිංහ, සංගීතා වීරරත්න, ජීවන් කුමාරණතුංග, ඉෂාන් ගම්මුදලි, ජනිත් වික්‍රමගේ, එරංග ජීවන්ත, දුශේනි සිල්වා, නිලන්ති ඩයස්, රිචඩ් මහමුදලි, සංගීත් ප්‍රභූ, සරත් කොතලාවල, නන්දන හෙට්ටිආරච්චි සමගින් එක් සුපිරි තරුවක් මායා හැඩ කිරීමට එකතු වෙනවා.  

 

 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us