Helabima





මේ දවස්වල සතියේ දිනවල රාත්‍රී 9.00 ට හිරු ටී වී ඔස්සේ හරි අපූරු ටෙලිසිත්තමක් දිග හැරෙනවා. ඒ තමයි ළංවී. මේ තුළින් ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය කලාව වෙනස්ම පැතිකඩකට අරගෙන යන්නට එහි අධ්‍යක්ෂවරයා උත්සාහ කර තිබෙන අන්දම අපට පැහැදිලිවම පෙනෙනවා.  ඇත්තටම මේ වගෙම උත්සාහයක් මීට කලකට පෙර අපි පොදූ ටෙලිනාට්‍යය තුළින්ද දැක්කා. ඒත් මෙහිදී අප ඉන් එහා ගිය මොකක්දෝ කියාගන්න බැරි ආකර්ෂණීය බවක් දකිනවා. කොහොම වුණත් ඒ වෙනසට ප්‍රේක්ෂකයන් ලොකු කැමැත්තක් දක්වන බව නම් පේන්න තියෙනවා. ලාංකීය ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයේ මෙතෙක් අප දුටු සම්ප්‍රදායට එහා ගිය නවමු අත්දැකීමක් සොයාගෙන යන ගමනක ආරම්භයක් විදියට අපට ළංවී ටෙලිනාට්‍යය හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳව කතා කරන්න හොඳම කෙනා වෙන්නෙ එහි අධ්‍යක්ෂවරයා. ඔහු නවක ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වුණත් වෙනස්ම වුණු පරිකල්පනයක් ඔහු තුළ තිබෙන බව පේනවා. ඉතින් මේ සූදානම ඔහු සමඟින් ඒ පිළිබඳව කතා කරන්න. ඔහු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ඩිල්ෂාන් අමරසිංහ.

මේ දවස්වල හිරු නාලිකාව ඔස්සේ විකාශනය වෙන ” ලංවී”… වෙනස්ම ආරක ගමන් ගන්නා ටෙලිනාට්‍යයක් වගෙයි පේන්නෙ. ඇත්තටම මොකක්ද මේ වෙනස?

ඇත්තටම මට අවශ්‍ය වුණේ රූපවාහිනී කතාමාලා චිත්‍රපටයක අත්දැකීම් ශ්‍රී ලාංකීය රූපවාහිනී ප්‍රේක්ෂකාගාරය වෙත අරගෙන එන්න. එතැනදි ලයිටින්, එඩිටින්, සංස්කාරක රීති මේ හැමදේම පවතින තත්ත්වයට වඩා පොඩ්ඩක් මං වෙනස් කළා. ඇත්තටම මේක ටර්නින් පොයින්ට් එකක් විදියට තමයි මං දකින්නෙ. මොකද මෙච්චර කාලයක් අපේ ටෙලිනාට්‍ය, චිත්‍රපට ටයිප් එකෙන් කළේ නෑනෙ. හැබැයි ළංවී ටෙලිනාට්‍යය තුළින් මං ඒ දේ කරන්න උත්සාහ කළා. ඇත්තටම ටෙලිඩ්‍රාමා ක්ෂේත්‍රයේ කොමර්ෂල් මූවි ටයිප් එකක් හදන්න මට ඕනෙ වුණා. මේ වගේ වෙනසක් යම්තාක් දුරකට කරන්න පොදූ ටෙලිනාට්‍යය ඔස්සේ ශාම් උත්සාහ කළා. 

ඩිල්ෂාන්, ඔබ හිතනවද ඔබට ඒ වෙනස කරන්න පුළුවන් වෙයි කියලා?

මං විශ්වාස කරනවා, මේ ටෙලිනාට්‍යය හරහා ඒ අපේක්ෂිත අරමුණු ඉෂ්ට කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද ළංවී ටෙලිනාට්‍යය විකාශනය වීමත් එක්ක එළිපිට මට  බනින අය පවා රහසේ මාව අනුකරණය කරන තැනට පත්ව තිබෙනවා. ඒ කියන්නෙ ගොඩක් අය මාව ෆලෝ කරනවා කියන එක.  නාලිකා ප්‍රධානීන් පවා අනෙකුත් ටෙලිනාට්‍යය කරන අයට  මගේ විදියට කරන්න කියලා පවසන අවස්ථා තියෙනවා. ඉතින් මං හිතනව දැනටත් ඒ වෙනස ආරම්භ වෙලයි තියෙන්නෙ කියලා. 

ඔබ විදෙස් ගත වීමට කලින් කටයුතු කළේ රූපවාහිනී නාලිකාවක නිෂ්පාදක වරයෙක් විදියට. ඇයි අධ්‍යක්ෂණය පැත්තට යොමු වෙන්න අදහස් කළේ? 

මම රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයෙක් විදියට කටයුතු කළ කාලය ඇතුළත වුණත් මගෙ අතින් සිද්ධ වුණේ අලුත් සංකල්ප ඉස්මතු වෙන එක. ඉතින් විදෙස්ගතව අධ්‍යාපනය ලබද්දි මා එකතු කර ගත් දැනුමත් එක්ක පොඩි වෙනසක් කරන්න ගත්තු උත්සාහයක් තමයි "ලංවී" තුළින් ඔබ මේ දකින්නෙ. කොහොමත් මගෙ ටාර්ගට් අතරෙ තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන එක. එහි ආරම්භක පියවර විදියට මේ ටීවී සීරියස් මූවි එක දක්වන්න පුළුවන්.

ඔබ මේ ටෙලිනාට්‍යය තුළින් අපූරු චරිත සංකලනයක් ගෙන හැර දක්වනවා. එහිදී රංගන ශිල්පීන් ගෙන් ලැබෙන්නෙ මොනවගේ සහයෝගයක් ද?

අපට ඉන්න කුසලතා පූර්ණ රංගන ශිල්පීන් වන ශ්‍රියන්ත මෙන්ඩිස්, සනත් විමලසිරි ඇතුළු ප්‍රවීණ අය වගේම නවක මුහුණු කිහිපයකුත් මේ ටෙලිනාට්‍යයෙන් දැකගන්න පුළුවන්. ඒ හැමෝම බොහොමත් කැමැත්තෙන් තමයි මේ නිර්මාණයට එකතු වුණේ. ඇත්තටම අපේ රංගන ශිල්පීන් ශිල්පිනියන් මේ වගේ චරිත මීට කලින් කරලා තියෙනවා.ඒත් ඒ අයගෙ ඇපියරන්ස් වෙනස් කරන්නෙ කොහොමද කියන කාරණාව පිළිබඳව අපි කල්පනා කළා. ඒ සම්බන්ධයෙන් ඒ නළු නිළියන්ම කියන්නෙ, "අපි මෙච්චර කාලයක් මේ වගේ දේවල් කළා. හැබැයි මේ වගේ ට්‍රීට්මන්ට් එකක් හම්බුනේ පළමු වතාවට" කියලා. මේ වෙනුවෙන් සම්බන්ධ වුණු හැමෝම කැපවෙලා කටයුතු කළා. සාමාන්‍යයෙන් අපි දවසට ෂූට් කරන්නෙ  සීන් 9, 10 ක් වගේ. ඒ වගෙ අඩු ප්‍රමාණයක් ෂූට් කරලත් රෑ 10, 11 වගේ වෙනකල් කැපවීමෙන් වැඩ කරනවා. කොහොමත් මේක මෙගා නාට්‍යයක් වුණත් තියලා ගහලා යන ටයිප් එකේ නාට්‍යයක් නෙවෙයි. ඒ කාර්යය සාර්ථක කර ගන්න මේ හැමෝම උපරිම දායකත්වයක් ලබා දුන්නා.

ඔබ මේ නිර්මාණයට රංගන ශිල්පීන් ශිල්පිනියන් තෝරා ගැනීමේ දී සැලකිලිමත් වුණේ මොනවද ?

පිටපත් රචක තිමිරගෙත් නිෂ්පාදක සඳුන් ගෙත් අදහස් එකතු කරගෙන තමයි නිර්මාණය සඳහා ශිල්පීන් තෝරා ගත්තෙ. ප්‍රධාන චරිතය කරන රංගන ශිල්පිනිය තෝරා ගන්න විතරක් අපට මාස එක හමාරක් ගත වුණා. හැබැයි අන්තිමේදී අපට තේරුම් ගියා හරිම කෙනා තමයි අපි එච්චර කල් අරගෙන තෝරා ගෙන තියෙන්නෙ කියලා. විශේෂයෙන් මේ තෝරා ගැනීම තුළ අපි බලාපොරොත්තු වුණු දෙයක් තමයි රංගනය පැත්තෙන් සාධාරණයක් කරන්න පුළුවන් චරිත අරගෙන එනව හා සමානවම මිනිස්සුන්ගෙ ඇහැට ප්‍රියමනාප අයව අරගෙන එන්න. ඇත්තටම අද අපේ ඩ්‍රාමා එකේ හැමෝම තමන්ගෙ චරිතයට උපරිමය ලබා දෙනව කියන සතුට අප තුළ තියෙනවා. ඒ අපි ඒ ඒ චරිතයට ගැළපෙන හරිම කෙනා අරගෙන ආව නිසා.

"ලංවී" නිර්මාණයට පෙර මඟ සකස් වෙන්නෙ කොහොමද ?

මං විදෙස්ගතව ඉඳලා ලංකාවට එන්නෙ මා උගත් දේත් එක්ක වෙනස්ම විදියේ රසවින්දනයකින් යුතු චිත්‍රපටයක් කරන්න හිතාගෙන. ඒ වුණත් කොවිඩ් එක්ක පැවැති වාතාවරණයත් එක්ක චිත්‍රපටයකට අතගහන එක පොඩ්ඩක් කල් දාන්න මට සිද්ධ වෙනවා. ඔය අවස්ථාවෙ මට තිමිර උඩලමත්ත කතා කරනවා. ඒ ඔහුගෙ තිර පිටපතක් පිළිබඳව. ඇත්තටම ඒ ස්ක්‍රිප්ට් එක කියවපුවම හොඳ වැඩක් කරන්න පුළුවන් කියලා හිතුණා. ඉතින් ඒක නිෂ්පාදනය කරන්න බාර ගන්නෙ සඳුන් බණ්ඩාර. ඉතින් එහි පළමු කොටස් ටික කරලා හිරු  නාලිකාවට දුන්නා. එයාලා ඒක බලපු ගමන් පොඩි වෙනස් වැඩක් නිසා ඇග්‍රිමන්ට් සයින් කරලා ඊළඟ සතියෙම විකාශන කටයුතු ආරම්භ කරනවා. ඔය විදියට තමයි මේ නිර්මාණයට මග සකස් වෙන්නෙ.

ඔබ සිනමාවට පිවිසීම ගැන කතා කරනවා. සිනමාකරණයත් එක්ක මොනවගේ වෙනසක් ද අපේක්ෂා කරන්නෙ?

මගෙ සිතේ යථාර්ථවාදී සිනමා නිර්මාණයකට අත ගසන්න කිසිම අපේක්ෂාවක් නැහැ. මොකද සිනමාව කියන්නෙ බිස්නස් එකක්. කොලිවුඩ් සිනමාවෙ බොලිවුඩ් සිනමාවෙ කියලා කිසිම වෙනසක් නැතුව ඒ ඕනෙම සිනමාවක අපි දකින්නෙ වානිජ කරනයක්. හැබැයි රටක් විදියට අපට වැරදුනෙත් වානිජ සිනමා කර්මාන්තයෙන් ගැළවිලා අපේ හිතට අපේ මනෝභාවයට එන දේවල් තිරයට ගේන්න ගිය එක. ඒකෙන් සිද්ධ වුණේ අපේ රටේ සිනමා කර්මාන්තය කඩා වැටුණු එක. යථාර්ථවාදී සිනමාව ආවට පස්සෙ මිනිස්සු ටිකෙන් ටික සිනමාශාලා වලින් බැහැර වුණා. අපේ රටේ වානිජ සිනමාව ගැන කතා කරද්දි උදයකාන්ත ගෙ රෝස වසන්තේ, බහුභූතයෝ ඇතුළු ඔහුගෙ නිර්මාණ වෙනස්ම තලයක සනිටුහන් වුණා. ප්‍රේක්ෂකයන් වැලඳගත්තා. ඒත් ඔහුට සිනමා කර්මාන්තය තුළ යථාර්ථවාදී සිනමාකරුවන්ට හමුවෙන තැන හමුවෙනවාද කියන එක ප්‍රශ්නයක්. ඒත් ඉන්දියාවෙ සංජය ලීලා බන්සායි වැනි අධ්‍යක්ෂවරුන්ට කලාත්මක චිත්‍රපට කරන්න කොච්චර හැකියාවක් තිබුණත් ඒ අය කරන්නෙ වානිජ චිත්‍රපට. ඇත්තටම රටක සිනමා කර්මාන්තයක් පවතින්නෙ වානිජ සිනමාවක් තිබුණොත් විතරයි. සංජය ලීලා බන්සායි වගේ නිර්මාණකරුවන් වෙනම ලෝකයක් මවනවා. ඒ කියන්නෙ පැන්ටසියක් ගේනවා. ඒක ලංකාවෙ මිනිස්සු බලනවා. ගංගු බායි ගත්තොත් ඒක ලංකාවෙ නම්බර් වන්. අද ලේබලයක් වැදිලා තියෙන්නෙ ලංකාවෙ මිනිස්සු ෆිල්ම් බලන්නෙ නැහැ කියලා. ඒක එහෙම නෙවෙයි, මිනිස්සුන්ගෙ රසවින්දනය උදෙසා ෆිල්ම් හැදෙන්නෙ නෑ. හැබැයි අපි කරන්න ඕනෙ, අපේ කර්මාන්තය කොහොම හරි එතැනට අරගෙන යන එක.

ඔබ ඔය හොයන සිනමාව අපට හුරුපුරුදු අතීත සිනමාවට නෑකම් කියනවද?

ඔව්, ඇත්තටම මං හොයන්නෙ නැවතත් බයිස්කෝප් එකක් බලනව කියන සංස්කෘතිය. එතැනට ප්‍රේක්ෂකයන් රැඟෙන ඒමට නම් 70-80 දශකවලදි අප දුටුව අපේ සිංහල සිනමාව නැවත ප්‍රතිනිර්මාණය විය යුතුයි. ඒ තුළින් අපට පුළුවන් වෙනවා මිනිසුන් නැවත සිනමා ශාලා කරා රැඟෙන එන්න. එතකොට නිෂ්පාදකවරයව රැකගන්න අපට පුළුවන්. නිෂ්පාදකවරයට ලාභයක් ලැබුණොත් තමයි ඔහු ඊළඟ නිර්මාණයට අත ගහන්නෙ. අද ගොඩක් නිෂ්පාදකවරුන් එක ෆිල්ම් එකක් කළාට පස්සෙ ආයෙමත් නිර්මාණයකට අත ගහන්නෙ නැහැ. ඒ ඉන් ලාභයක් ලැබෙයිද කියන කාරණාව අවිනිශ්චිත නිසා. ඉතින් මේ වෙලාවෙ ඒ මඟට පාර කපන එක තමයි අපි කරන්න ඕනෙ.ඒ කියන්නෙ මේ වෙලාවෙ චිත්‍රපට හැදෙන්න ඕනෙ ලාංකික ප්‍රේක්ෂකාගාරය වෙනුවෙන්. එහෙම නැතුව ලෝකෙට නෙවෙයි. ලෝකෙට ෆිල්ම් කරන්න කලින් ලංකාවෙ සිනම කර්මාන්තයක් තියෙන්න ඕනෙ. අද ගොඩක් ෆිල්ම් ඩිරෙක්ටලා කරන්නෙ ටෙලි ඩ්‍රාමා නැත්නම් කොමර්ෂල් කරන එක. මොකද ෆිල්ම් වල වැඩ නැති නිසා.

 ලංවී කියන්නෙ අලුත් වැඩක්, වෙනස් වැඩක්. කොහොමද ලැබෙන ප්‍රතිචාර ?
ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි. හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් එනවා. එහිදී ක්ෂේත්‍රයේ ඉන්න පළපුරුදු  අධ්‍යක්ෂවරු පවා කතා  කරලා "මල්ලි ඔයා හොඳ වැඩක් කළා" කියන ප්‍රශංසාව මට ලබා දෙන්න තරම් නිහතමානී වෙලා තියෙනවා. හැබැයි ඉතාමත් සුළු පිරිසක් නරක විදියට කතා කළා. මොකද මං මේ නිර්මාණය තුළ ලයිටින්, එඩිටින්, සංස්කරණ රීති වෙනස් කරලා තියෙනවා. ඒ වෙනස අපේ ටෙලිනාට්‍යය ක්ෂේත්‍රයට ගැළපෙන්නෙ නැහැ කියලා බනින පිරිසක් ඉන්නවා. හැබැයි මේක ඇවිල්ලා ලස්සන වැඩක් කියලා කියන පිරිස වැඩියි.

ප්‍රේක්ෂක ප්‍රතිචාර කොයි වගේද? 

ප්‍රේක්ෂක ප්‍රතිචාර අධ්‍යක්ෂක විදියට මට ලැබෙනව අඩුයි. හැබැයි ප්‍රධාන නළු නිළියන් ඇතුළු රංගනයට සම්බන්ධ වූ අය හරහා එන පීඩ්බැක් එකෙන්  හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් පවතින බව පේනවා. ඇත්තටම ඒකෙන් කියැවෙන්නෙ නිර්මාණකරුවන් විදියට අපි හරි දෙයක් දුන්නොත් ප්‍රේක්ෂකාගාරය ඒක බාර ගන්න බව. ඇත්තටම මේක ලස්සන වැඩක් බව යූටියුබ් ප්‍රතිචාර වලින් පවා කියැවෙනවා. ඒ හැම කමෙන්ට් එකකින්ම කියැවෙන්නෙ මේ කතාව හරියට හින්දි ෆිල්ම් එකක්, දමිළ ෆිල්ම් එකක් වගේ කියලා. මට ඕනෙ වුණේ අන්න එතැනට මේ ඩ්‍රාමා එක යොමු කරන්න. ඒ තැනට ප්‍රේක්ෂකාගාරය ඇවිත් තියෙනව කියන්නෙ මගෙ අරමුණ සාර්ථක වෙලා කියන එක. 

අලුතෙන් නිර්මාණයක් කරන්න ආරාධනා ලැබුනෙ නැද්ද?

හිරු නාලිකාන්ම තවත් නාට්‍යයක් කරන්න කියන ඉල්ලීම මේ වෙනකොට ඇවිත් තියෙනවා. ඒ වගෙම තවත් නාලිකා තුනකින් මට නිර්මාණ සඳහා ආරාධනා ආවා. එක් නාලිකාවක් නිෂ්පාදනය කිරීමේ වගකීමත් ඒ අය අරගෙන කතා කළා. ඒත් මං මේ වෙලාවෙ මුල් තැන දෙන්නෙ මේ ඩ්‍රාමා එකට. තවත් මෙගා නිර්මාණයක් එක්ක මේක සාර්ථකව කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේක අතර තුර කෙටි නාට්‍යයක් කරන්න පොඩි සූදානමක් තියෙනවා.

ඔබ රූපවාහිනියෙ වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ලෙස කටයුතු කළේ. ඒත් අද ඔබ  ඩ්‍රාමා පැත්තට ඇවිත් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන්න බලාපොරොත්තු වෙනවා. ආයෙමත් රූපවාහිනී නාලිකාවකට එකතු වෙන්න අදහසක් නැද්ද?

මම ටීවී දෙරණෙ වෙනස්ම විදියෙ අලුත් දේවල් කරපු කෙනෙක්. අලුතෙන් දෙයක් හිතලා අලුත් වැඩසටහන් කරලා තමයි අද මේ තැනට ඇවිත් ඉන්නෙ. ඒ අවස්ථවෙ මට මගේ ගමන යන්න සහයෝගය ලබා දුන්නු ශර්මිලා ධර්මදාසා ඇතුළු ටීවී දෙරණෙ හැමෝටම ස්තුතියි. හැබැයි ඉතින් ආයෙමත් මං නිෂ්පාදකවරයෙක් විදියට නාලිකාවකට සම්බන්ධ වීමේ බලාපොරොත්තුවක් නැහැ. වැඩසටහන් අධ්‍යක්ෂණය පැත්තෙන් වෙනස්ම රූපවාහිනී අත්දැකීමක් ඔස්සේ  යූත් එකට, අලුත් දෙයක් කරන්න, වෙනස් විදියෙ නිර්මාණාත්මක වැඩසටහන් ටිකක් කරන්න හැකියාව මට තියෙනවා. එහෙම අවස්ථාවක් ලැබුණොත් වෙනම ටීවී සංස්කෘතියක්, රසවින්දනයක් ප්‍රේක්ෂකාගාරයට ලබා දීලා වෙනමම ස්ටෑන්ඩ් එකක් හදන්න මට පුළුවන් කම තියෙනවා. කොහොම වුණත් වානිජ සිනමාකරුවෙක් ලෙස ලාංකීය සිනමා ලෝලීන් සිනමා ශාලා තුළට නැවත අරගෙන ඒමේ උවමනාව තදබල ලෙස මගෙ හිතේ තියෙනවා. ඒක මගෙ හීනයක්. අනිවාර්යයෙන්ම ඒ හීනයට මං යනවා. ඒ යන පාර තමයි මං මේ "ලංවී" තුළින් කපාගෙන යන්නෙ.




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us